මාකට් නීතිය අහෝසි කිරීමත් සමග නගර මධ්‍යයේ මහා පරිමාණ එළවඵ වෙළෙඳ සැල් ආරම්භ කිරීම නිසා, දිවයින පුරා ඇති සතිපොළවල් මේ වන විට වැසී යමින් පවතින බව සතිපොළ වෙළෙන්දෝ පවසති. නගර සභා සහ ප්‍රාදේශීය සභාවල ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ සතිපොළ ආදායම මේ වන විට විශාල ලෙස අඩුවෙමින් පවතින බවත්, එම පොළවල්වල ටෙන්ඩර මිලදී ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බවත් එම වෙ⁣ළෙඳුන් පෙන්වා දෙති. 

මාකට් නීති නැති කරපු නිසා තමයි මෙහෙම වුණේ - සමස්ත ලංකා සතිපොළ සංගමයේ ලේකම් අයි. ඒ චන්ද්‍රපාල මහතා අදහස් දක්වමින් කියා සිටියේ,   

 "මේ බලධාරීන්ගේ අමනෝඥ ක්‍රියා නිසා අද වෙද්දි සතිපොළවල් වැසීගෙන යනවා. නගරවල විශාල එළවළු කඩ වැඩි වශයෙන් ආරම්භ කිරීම තමයි මේකට හේතුව. එදා ගමේ ගොවියා එළවළු ටිකක් වවලා, පොළට ගෙනැත් දීලා, ඒ සල්ලිවලින් ඔහුගේ ගෙදරට අවශ්‍ය තුනපහ, කරවල, මාළු ටික අරගෙන සරුවත් එකකුත් බීලා ගෙදර ගියේ. දම්වැලක පුරුක් වගේ මේ ඔක්කොම එකට සම්බන්ධවෙලා තිබුණේ.

අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙස් වෙලා. ගමේ ගොවියත් නැතිවෙලා. පොළේ වෙළෙන්දත් නැත්තටම නැතිවෙලා. මාකට් නීති නැති කරපු නිසා තමයි මෙහෙම වුණේ. නගරයේ අඩි පහෙන් දහයෙන් මහා පරිමාණයේ එළවළු කඩ. ඒ කඩ දාන්න අවසර දෙනකොට බලධාරීන් හිතුවෙ නැහැ පොළේ ඉන්න වෙළෙන්දට මොකද වෙන්නේ කියලා. අපි කියන්නේ පොළ ආසන්නයේ නැතුව නගරයෙන් බැහැරව ඒ කඩ කරගෙන යන්න කියලා." යනුවෙනි.

සමස්ත ලංකාවෙම පොළවල්වල වෙළෙඳුන්ට වෙළෙඳාම් කරන්න බැරිවෙලා  - ගිරිඋල්ල, සතිපොළ බදුකරු එම්.එම්.ඒ දුමින්ද ශාමල් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීයය.                                                                      
 "මේ ගිරිඋල්ල සතිපොළ තමයි ලංකාවෙම තියෙන සතිපොළවලින් තුන්වෙනි තැනට තේරුණේ. වයඹ පළාතේ දෙවනි තැන. මේ පොළ 2014 අවුරුද්දේ මම ගන්නකොට වෙළෙඳ කඩ විතරක් 327ක් තිබුණා. 87 දෙනයි අද මේ කඩ කාමරවල ඉන්නේ. මේ වෙද්දි ගිරිඋල්ලේ සතිපොළ විතරක් නෙමෙයි, සමස්ත ලංකාවෙම පොළවල්වල වෙළෙඳුන්ට වෙළෙඳාම් කරන්න බැරිවෙලා.

ගේන එළවළුවලින් බාගෙට බාගයක් විසිකරනවා. 2015 අවුරුද්දේ ගිරිඋල්ල නගරයේ මහා පරිමාණයෙන් එළවළු වෙළෙඳ සැල් ස්ථාපිත කළා. ඒ නිසා පොළවල්වල වෙළෙඳාම් කරන අහිංසක වෙළෙඳ මහතුන් දසදහසකට වැඩි සංඛ්‍යාවක්, ලංකාව පුරාම ගත්තොත් ලක්ෂ සංඛ්‍යාත වෙළෙඳුන් පිරිසක් අන්ත අසරණ වෙලා.

මොකද මේ මහා පරිමාණ වෙළෙඳුන් කිහිපදෙනෙක් බැහැල වෙළෙඳාම් කරන නිසා. අපි කියන්නේ ඒ ගොල්ලන්ට වෙළෙඳාම් කරන්න එපා කියල නෙමෙයි. ඒවා සීමා කරන්න මාකට් නීති ප්‍රඥප්තිය ගේන්න කියලයි. අද වෙද්දි පන්නල ප්‍රාදේශීය සභාවේ කිසිම පොළක් බදු අරගෙන නැහැ. වෙළෙන්දන්ට ඇවිත් මේ පොළවල්වල වෙළෙඳාම් කරලා, තමන්ගේ දරු පවුල ජීවත් කරවන්න අවශ්‍ය වටපිටාව සකස් කරලා දෙන්න කියලා අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා."

පන්නල-හේමා රාජපක්ෂ

0 comments

Leave a Reply

Post Comment