තෙල් කීවම බොහෝ දෙනෙක් එකපාරටම හිතන්නේ පොල් තෙල් ගැන වුණත්, ඕනෑම තෙල් වර්ගයක් ආහාරයට ගන්න කලින් සහ පාවිච්චි කරන්න කලින් දෙපාරක් නෙවෙයි ඊට වැඩිය වුණත් හිතන්න කාරණා දැන් දැන් ඕනතරම් තියෙනවා. ආහාර සඳහා තෙල් පාවිච්චි කරනකොට තෙම්පරාදු කරන්න තෙල් යොදා ගන්නවා වගේම ගැඹුරු තෙලේ බදින්න පාවිච්චි කරන තෙල් ගැනත් හොඳ හැටි දැනගෙන ඉන්න කියල ඔබට මතක් කරන්නේ මේ උත්සව සමයේ බොහෝ විට ඔබට වැඩිපුර තෙල් කෑම කැවෙන්න තියෙන ඉඩකඩ බොහෝ නිසා.


බොහෝ දෙනා සිතන්නේ කෑම වර්ගවල කොලෙස්ටරෝල් අඩංගුව තියෙන බවකි. මේ හැරෙන්නට ආහාර බලපෑමක් නැතත් ශරීරයේ හිතකර කොලෙස්ටරෝල් මෙන්ම අහිතකර කොලෙස්ටරෝල් යනුවෙන් කොටස් දෙකක් කොහොමත් තිබෙන බව අප දැන සිටිය යුතුයි.  මේ උදාවෙන උත්සව සමයේ බොහෝ ආහාර තෙල් ආශ්‍රිතව සැකසෙන නිසා අපි මේ සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරන්නට අදහස් කරනුයේ, සෑම උත්සව සමයකින් පසුවම බෝ නොවෙන රෝගීන්ගේ රෝග තත්ත්වයන් උත්සන්න වීම සාමාන්‍යයෙන් සුලභ වන නිසයි.

ආහාර රසවත්ව පිසගැනීම සඳහා තෙල් යොදා ගැනීම අද ඊයේ ඇති වුණ ක්‍රියාවක් නෙවෙයි. එයට දිගු ඉතිහාසයක් පැවතියත්, හදිසියේම පොල් තෙල් ගැන ඇති වුණ කතාබහක් පොල් තෙල් ආහාරයට ගැනීම මරණයට අත වැනීමක්ය කියන තැනටම බියක් ඇතිකරවූවා. ඒ නිසා වෙනත් තෙල් වර්ගවලට මිනිසුන් හුරුපුරුදු වෙන්නට පටන් ගත් නමුත්, ඒවා භාවිතය කොතරම් දුරට සිරුරට ආරක්ෂිතද යන්න පිළිබඳ එතරම් කතාබහක් ලක් නොවීය. එසේම  ඒවා භාවිතය  කොතරම් දුරට ආරක්ෂිත විය යුතුද යන්න වැඩි අවධානයකට ලක්වූයේ නැහැ.

මේ අතර මේදය සම්බන්ධයෙන් සංතෘප්ත මේද සහ අසංතෘප්ත මේදය වශයෙන් කොටස් දෙකක් ඇති බවට කතාවක් ඇතිවෙනවා. සාමාන්‍යයෙන් පොල් තෙල්වල ඖෂධීය ගුණාංග සහිත මේද අම්ල අන්තර්ගත වන බව සනාථ වීමත් සමග පොල් තෙල් සතු මේද අම්ල වලින් සීයට අනූවක්ම සංතෘප්ත මේදය බව තහවුරු වෙනවා. සංතෘප්ත මේද අම්ල හෘද සහ රුධිරවාහිනී රෝගවලට මග පාදන්නේ  ඒවායින් සිරුරේ කොලෙස්ටරෝල සහ ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය වැඩි කරන නිසාය. කෙසේ වෙතත් කුමන තෙල් වර්ගයක් වුවත්, වරක් භාවිත කළ පසු එනම් වරක් රත් කළ පසු ඉතිරි වූ තෙල් ප්‍රමාණය නැවත නැවත රත් කිරීම සුදුසු නොවේ.

එකම තෙල් බඳුන නැවත නැවත රත් කරමින් භාවිත කරන විට ඒවායේ මේද අම්ල මගින් බොහෝ මුක්ත කණ්ඩක සංයෝග  සෑදෙන අතර, මේවා  සිරුරේ ජාන වෙනස් කරමින්  සෛල වයස්ගත කරවමින්  පිළිකා, දියවැඩියාව වැනි රෝගවලට මග පාදයි. සාමාන්‍යයෙන් පොල් තෙල්, සූරියකාන්ත තෙල් , කැනෝලා තෙල් සහ ඔලිව් තෙල් යනාදිය අප රටේ බහුලව භාවිත වන තෙල් වර්ග වන අතර, මේවා වරක් රත් කිරීමේදී අධික ලෙස දුඹුරු පැහැයට ලක්වීම නිසා ඒවායේ මුක්ත කණ්ඩක සෑදීම පිළිබඳ සලකුණු පෙන්වයි.

සාමාන්‍යයෙන් පොල් තෙල් රත් කළ විට එසේ දුඹුරු පැහැ වී පෙන්වන්නේ මඳ වශයෙන් වුවත්, එහි අරුත පොල් තෙල් දිගින් දිගටම රත්කරමින් ආහාර බැද ගැනීමට සුදුසු තෙල් වර්ගයක් නොවන බවයි. සාමාන්‍යයෙන් අලෙවිය සඳහා පාරවල්වල තබා ගෙන සිටින වඩේ, මුරුක්කු වැනි කෙටි කෑම බදින තෙල් බඳුන දෙස බැලුවහොත් ඒවා බොහෝ විට තද දුඹුරු පැහැයෙන් දිස්වෙනු දැකිය හැකියි. ඒ කීපවිටක් රත්කරන ලද පරණ වූ තෙල්ය. කිසිවිටෙක එවන් ආහාර භාවිතයෙන් වළකින්න. ඒවා ඉතාම හානිකරයි. මෙය මහමග ඇති ආහාර මිලදී ගැනීමේදී පමණක් නොව, ගෙදර කෑම සෑදීමෙදී වුවත් හොඳින් සලකා බැලිය යුතු තත්ත්වයක්.

බොහෝ විට ආහාර සකසන ආපන ශාලා සහ හෝටල්වලින් වරක් බදින ලද තෙල් ඉතිරි වූ පසු අඩු මුදලට විකුණනු ලබන අතර, ඒවාද මිලට ගෙන භාවිත කිරීම මහමග සිට ආහාර සකසා විකුණන වෙළෙන්දන් විසින් සිදුකරයි. ඒ අනුව වරක් බැදපු තෙලින් නැවත රත්කර බැද සකසන ආහාර මිලෙන් අඩු නමුත්, භාවිතයට ගැනීම සුදුසු නොවේ.

සමහරුන් පොල් තෙල් භාවිතාව සම්බන්ධයෙන් සැක උපදවා  කැනෝලා තෙල් , ඔලිව් තෙල් සූරියකාන්ත තෙල් වඩා සුදුසු යැයි සිතුවත්, ඒවා රත් නොකර සලාද වැනි ආහාර සම්බන්ධයෙන් අමුවෙන් යොදා ආහාරයට ගත් විට මිස රත්කර මුක්ත කණ්ඩක සෑදෙන්නට ඉඩ තබා ආහාරයට ගැනීම සුදුසු නොවේ. සංතෘප්ත මේද අම්ලවල  කාබන්දාමයේ දිග අනුව  මේද අම්ල , මධ්‍යස්ථ දිගු මේද අම්ල  සහ කෙටි මේද අම්ල ලෙස  කොටස් තුනකට වෙන් කළ හැකිය.

මෙයින් හෘද රෝගවලට වැඩිම උපකාරයක් සලසනුයේ දිගු මේද අම්ලයි. එමෙන්ම මධ්‍යස්ථ මේද අම්ල සහ කෙටි මේද අම්ල මෙන්  හෘද රෝගවලට දක්වන දායකත්වය සාපේක්ෂව අඩුය. ඒත් පොල් තෙල්  සාමාන්‍යයෙන් ගැඹුරු තෙලේ බැද භාවිතයට ගන්නා ආහාර සඳහා අනෙකුත් තෙල්වලට සාපේක්ෂව වඩා සුදුසුය. නමුත් තෙල් වර්ගය කුමක් වුවත්, මේවා අනවශ්‍ය තරම් ආහාරයට එකතු කිරීම කෙසේවත් සුදුසු නොවේ.

ඇතැම් ආහාර නිෂ්පාදකයෝ කුකුල් මස් යනාදිය සඳහා වර්ණක එකතු කර පරණ තෙල්වලින් බැදීම සිදුකරයි . එවිට එම ආහාරවල පරණ තෙල්වල වූ කර වූ පැහැය ඇති නොකරයි. පැහැයෙන් පරණ බවක් නොදැක්වීම එය ආරක්ෂිත ආහාරයක් බවට ඇති සාක්ෂියක් නොවේ.

සමහරුන් සිදුකරන තවත් වරදකි තෙම්පරාදු ආදිය සඳහා තෙල් වෙනුවට බටර් හෝ මාගරින් වර්ග යෙදීම. එසේ එම මාගරින් වර්ග හෝ බටර් වුවත් රත් කිරීමේදී වහ වහා තද දුඹුරු පැහැයකට හැරෙනා බව ඔබ දැක ඇති. ආහාරයේ මිල අඩු වීම සහ රසය වැඩි වීම බොහෝ විට වෙළෙන්දන්  විසින් පාරිභෝගිකයන් ඒවා මිලදී ගැනීමට පොලඹවන සාධක නමුත්, ඔබ ඒ මිලදී ගන්නේ ඔබේ ශරීරය රෝගී බවට පත්කිරීමට සෘජුවම ක්‍රියාකරවන හේතුසාධක බව මතක තබාගන්න. මෙලෙස වරක් භාවිත කරන ලද තෙල් ඔබ ආහාරයට ගන්නා කෙටි කෑම එමෙන්ම කොත්තු රොටී, ෆ්‍රයිඩ් රයිස් ආදියේද අඩංගු වී තිබිය හැකිය. මන්ද ඇතැම් විට වරක් භාවිත කරන ලද තෙල් ඇතැම් හෝටල් විසින් කුඩා පරිමාණයේ ආහාර සකසන්නන්ට මෙන්ම කුඩා හෝටල්වලටද නිකුත් කරන බැවින්  ඒවාවලින් බදින ලද කුකුල් මස්, මාළු යනාදියද ඔබේ ආහාරයට එක් විය හැකිය.

මේ සඳහා ඔබ කුමක් කළ යුතුද යන්න විමසීමේදී ඔබ විසින් බැදීම සඳහා බඳුනට එක්කරන තෙල් ඔබ සකස් කරන ආහාර ප්‍රමාණයට සෑහෙන පරිදි යොදා ගන්න. එය නොසෑහේ යැයි හැඟෙන්නේ නම් නැවත සුළු ප්‍රමාණවලින් බඳුනට තෙල් එක්කර එම ආහාර බැදගන්න. එවිට බඳුනේ තෙල් අපතේ නොයවන ලෙසද නැවත නැවත ආහාරයට ගැනීමට නොහැකි වන ලෙසද  පාවිච්චියට ගැනීමට හැකිවනු ඇත.  පොල් තෙල්වල සිරුරට සහ හෘදයට හිතකර සංයෝග බහුතරයක් නොමැති බව සැබෑය. කැනෝලා, ඔලිව් සහ සන්ෆ්ලවර් ඔයිල්වල හෘදයට හිතකර සංයෝග පැවතියත්, ඒවා රත් කළහොත් එයින් ලැබෙන ගුණ නොලැබී යයි. මේ උත්සව සමයේ ඔබ ආහාර සකස් කරන විට මේ කරුණු වඩා මතකයේ තබා ගතහොත් එයින් ඔබේ සුවයට වඩා සහයක් ලැබෙනු ඇත.

0 comments

Leave a Reply

Post Comment