චීනයේ බෙයිජිං නුවරට පැමිණ සති තුනක් ගත වන විට මා බෙයිජිං හි දිස්ත්‍රික්ක 4ක සංචාරය කළ බව කියන්නේ සතුටිනි. ඒ සතුටද සමග මේ ලිපිය ලියන්නේ හයිදියාන් ගැන ඔබට අත්දැකීමක් ලබාදීමටයි. හයිදියාන් බෙයිජිංවල පිහිටා තිබෙන ලස්සන නගරයක්. හයිදියාන් දිස්ත්‍රික්කය චීනයේ තාක්ෂණික නවෝත්පාදන මධ්‍යස්ථානය ලෙස ඔවුන් හඳුන්වයි. ශීත දේශගුණය හේතුවෙන් ගස්වල කොළ හැළී තිබුණත්, හයිදියාන්වල සුන්දරත්වයේ අඩුවක් මම  නොදුටිමි.


හයිදියාන්වලට පිවිසීම පවා හිතට ඇති කළේ සුන්දර හැඟීමක් යැයි කීම නිවැරදිය. තාක්ෂණය පිළිබඳව බිල්ලන් මවන කාලයක පවා චීනයේ හයිදියාන් අපට කියාදෙන පාඩම බැහැර කළ නොහැක්කකි. තාක්ෂණය නිවැරදිව භාවිත කරමින් රටක් සංවර්ධිත ඉලක්ක කරා රැගෙන යාම පිළිබඳව ඕනෑතරම් සන්නිදර්ශන අපට මෙහිදී හමු විය.

මම සිටින බෙයිජිං හි චායොයං දිස්ත්‍රික්කයේ සිට පැය එකහමාරකට අඩු කාලයකදී හයිදියාන් වෙත ළඟාවීමට අපට හැකි විය. එය කිසිසේත්ම කර්කෂ නැත. දෑසට ප්‍රිය වූ සෞම්‍ය දර්ශන නරඹමින් පහසු මාර්ග ඔස්සෙ අපි ගමන් ගතිමු. සාමාන්‍ය මාර්ගයේ පැමිණ අප අධිවේගී මාර්ගයට පිවිස ගමන් ගත්තද මාර්ග දෙකෙහි සුවිශාල වෙනසක් දැකිය නොහැකිය. ගමන එක සේ සුමටය. ඇතැම් වෙලාවන්හිදී දැකිය හැකි සුළු මාර්ග තදබදය නොමැති වීමෙන් අධිවේගී මාර්ගය වෙනස් වෙයි. ගමන ඉක්මන් බැවින් කාලය ඉතිරි වෙයි.

අපගේ පළමු නැවතුම Naton Medical Group ආයතනයයි. එම ආයතනය පාද බිඳී ගිය, දණහිස් බිඳී ගිය අයට සහ පූර්ණ ආබාධිත අය වෙනුවෙන්ද විවිධ ප්‍රතිකර්ම සහ උපකරණ නිෂ්පාදනය කරයි. එමෙන්ම ශෛල්‍ය මුඛ ආවරණ සහ සාමාන්‍ය මුඛ ආවරණ මෙන්ම රූපලාවණ්‍ය නිෂ්පාදනද මෙම ආයතනය තුළ නිෂ්පාදනය කරයි. මෙම ආයතනයේ අලෙවි කළමනාකාරවරිය මා සමග පැවසුවේ ඔවුන් ශ්‍රී ලංකාව සමග තම ව්‍යාපාර කටයුතු සිදුකරන බවයි. ඇය කිහිපවතාවක් ඒ සඳහා ලංකාවට පැමිණි බවත්, මේ වසරේදී නැවත පැමිණෙන බවත් ඇය පැවසුවාය.

හයිදියාන් දිස්ත්‍රික්කයේදී ලබපු තවත් විශේෂ අත්දැකීමක් පිළිබඳව සටහන් කරනු කැමැත්තෙමි. මම අද පළමු වතාවට රියදුරෙක්ගේ මෙහෙයවීමකින් තොර බස් රථයක සහ මෝටර් රථයක ගියෙමි. ඒ සඳහා නව තාක්ෂණික ක්‍රමෝපායන් භාවිත කර තිබුණි. බස් රථයේ ගමන් ගන්නා අතර, එහි කළමනාකාරවරිය පැවසුවේ, "මේ බස් රථය මීටර් 60ක පමණ කුඩා එකක්. ආසන සංඛ්‍යාවත් සීමිතයි. බස් රථය තුළ රියැදුරු අසුනේ අයෙක් නොමැතිව මේ බස් රථයට ගමන් කරන්න පුළුවන්. රියැදුරු අසුනේ යමෙක් ඉන්නෙ ආරක්ෂක පාලකයෙක් ලෙස පමණයි. මෙහි ඇති විද්‍යුත් තිරවල බස් රථයේ ගමන් මාර්ගය සහ බස් රථයේ නැවතුම් සඳහන් වෙනවා. ගෙවීම් කරන්න තියෙන්නේ වීචැට් යෙදවුම හරහා. බස් රථයට නැගීමේදී කිව් ආර් කේතය ස්කෑන් කරලා, නැවත බහිද්දිත් එයම කරන්න තියෙන්නේ."

කුඩා වුවත්, එම බස් රථය සුව පහසු එකක්. ඒ වගේම ඇය පැවසුවේ අංශක 360ක දර්ශනය තිරය ඔස්සෙ ලබාදෙන බැවින් පිටුපසින්

පැමිණෙන වාහන පිළිබඳවද, පුද්ගලයන් පිළිබඳවද බස් රථය හඳුනාගෙන ආරක්ෂිතව ඉදිරියට ධාවනය කරන බවයි. හැරවුම් පවා ලබාගැනීමේ හැකියාව මේ සතුවේ. විද්‍යුත් ස්වයංක්‍රීය මෝටර් රථයද අධිසුඛෝපභෝගී එකකි. එයද තමන්ගේ ගමන්  මාර්ගය ලබාදුන් විට නැවතුම තෙක් පරිස්සමෙන් රැගෙන යන රියැදුරෙක් නොමැතිව ධාවනය කළ හැකි එකකි. ඔවුන් මෙම නිෂ්පාදනය මේ වන විට චීනයට හඳුන්වා දී ඇති අතර, කළමනාකාරවරිය පැවසුවේ මෙය ලෝකයේ සෙසු රටවලටද වැදගත් නිෂ්පාදනයක් බවයි.

අපගේ මීළඟ නැවතුම වූයේ හයිදියාන්වල ෂයෝමි ආයතනයේ මූලස්ථානය නැරඹීමයි. අපි හිතුවාට වඩා එය විශාල ආයතනයක්. මා මින් පෙර දැන සිටියේ ෂයෝමි දුරකථන නිෂ්පාදන පිළිබඳව පමණයි. ඔවුන් රෙඩිමි දුරකථන නිෂ්පාදනය තවදුරටත් පුළුල් පරාසයක් දක්වා රැගෙන ගොස් ඇති බව දක්නට ලැබුණි. නැවිය හැකි දුරකථනය ඔවුන්ගේ නවතම නිෂ්පාදනයක්. මගේ සිත වැඩියෙන්ම යොමු වූයේ විනිවිඳ පෙනෙන රූපවාහිනිය දෙසටයි. එය මට අලුත් අත්දැකීමක් විය. විවිධ

ප්‍රමාණවල අතිවිශාල රූපවාහිනී ඔවුන්ගේ නිෂ්පාදන අතර විය. එපමණක් නොවෙයි තවත් බොහෝ ගෘහ උපකරණ සඳහා විද්‍යුත් මාදිලියක් ලබාදීමට ඔවුන්ට හැකිවී තිබේ. විද්‍යුත් ක්‍රියාකාරී ඇඳන්, ස්වයංක්‍රීයව විවර වන ජනේල තිර රෙදි, විද්‍යුත් දත් බුරුසුවේ සිට සියලුම නානකාමර උපාංග මෙන්ම කුඩා දරුවන්ට අවශ්‍ය උපකරණද ඔවුන්ගේ නිෂ්පාදන අතර වේ.

මේ සියලුම තැන්හි සංචාරය කරන විට මා දුටු පොදු දෙයක් පිළිබඳව සඳහන් කරමින් මෙම ලිපිය අවසන් කරමි. හයිදියාන් තාක්ෂණික නවෝත්පාදන නගරයක් බව මා පළමුව සඳහන් කළාය. එවැනි තාක්ෂණික නගරයක සුන්දරත්වය, සෞන්දර්ය ආරක්ෂා කර ගැනීමට මෙම සියලුම තැන්හි විවිධ කලා කෘති, මූර්ති, චිත්‍ර ආදිය නිර්මාණය කර තිබෙනු දක්නට ලැබුණි. තාක්ෂණය සමග ඉදිරියට ගමන් ගන්නා චීනය තමන්ගේ මාවත සෞන්දර්‍යාත්මක එකක් බවට පත්කරගෙන ඇති බව පෙනේ. ඒ පිළිබඳව ඇත්තේ සතුටකි.

නවෝද්‍යා පවනි (චීනයේ බෙයිජිං නුවර සිට)

0 comments

Leave a Reply

Post Comment