අවුරුද්දක අවසන් සතිය උත්සව සිරියක් ගන්නේ නත්තලත් නව වසරක උදාවටත් ජනතාව සතුටු සිතින් ලකලෑස්ති වෙන නිසාවෙනි. මේ උත්සව සමයේ ප්‍රමාණාත්මක ආරක්ෂක පියවර රැගෙන අනතුරු අවම කර ගැනීම කාලෝචිත වේ. මේ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට ඊයේ ( 21දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණ. මේ එහිදී පොලිස් දෙපාර්තමේන්තුවේ රථවාහන මූලස්ථානයේ අධ්‍යාපන හා මහජන ආරක්ෂාව පිළිබඳ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනක ගමගේ මහතා විසින්  දැක්වූ අදහස්ය. 


මේ උත්සව සමයේ මහාමාර්ගයේ ගමන් කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක් සිදුකළ යුතුයි. උත්සව සමයේ ශ්‍රී ලංකා පොලීසිය පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව නිලධාරීන් යොදවා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා. මහජනතාව පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේදී අපේ රටේ වර්ෂයක් ගත්තොත්, මාර්ග අනතුරු නිසා සෑහෙන සංඛ්‍යාවක් මිය යනවා. මාරක අනතුරුවලින් දිනකට 8දෙනෙක් අපේ රටේ මිය යනවා. ඒ වගේම 61දෙනෙක් බරපතළ තුවාල ලබනවා. ඒ අනුව අද උදේ ගෙදරින් එළියට බහින 69දෙනෙක් ආයෙ ගෙදර එන්නෙ නැහැ.

ඒ නිසා මේ සම්බන්ධයෙන් තුවාලකරුවන් වෙනුවෙන් වන වැය බර ශ්‍රී ලංකා ජනතාව ලෙස අපි හැමෝටම දරන්න සිදුවෙනවා. අපේ රටේ නත්තල් සමය ආරම්භයේ දෙසැම්බර් 20 සිට ජනවාරි මස පළමුවෙනි සතිය දක්වා කාලය තමයි මාරක බරපතළ අනතුරුවල වැඩිම ප්‍රවණතාව තිබෙන කාලසීමාව. උදාහරණ ලෙස අපිට කියන්න පුළුවන් 2019 වර්ෂයේ මාරක රිය අනතුරු 2,645ක් සිදුවී, 2,839 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

මේ අගය 2020 හා 2021 වර්ෂවල පොඩි අඩු වීමක් තමයි දකින්න ලැබෙන්නේ. හැබැයි අපි කවුරුත් දන්නවා මේ වර්ෂ දෙකේ වාහන සංසරණය සීමාවෙලා තිබ්බා කියලා. 2022 වර්ෂයේ දෙසැම්බර් මාසයේ පළමුවෙනිදා වන විට මාරක රිය අනතුරු 1,873ක් සිදුවී 1,971ක් මිය ගොස් තිබෙනවා. ඒ අනුව අපිට 2019 වර්ෂයට සාපේක්ෂව සංඛ්‍යාලේඛනවලින් සතුටු වෙන්න පුළුවන් වුණත්, මේ අවුරුද්දේ වාහන භාවිතයේ තිබුණු යම් යම් සීමාවීම් නිසයි ඒ තත්ත්වය ඇති වුණේ. නමුත් ප්‍රතිශත අනුව බැලුවොත්, රිය අනතුරු වැඩි වීමේ ප්‍රවණතාවක් තමයි තිබෙන්නේ. 

අපි දෙසැම්බර් 20 සිට අවුරුද්ද අවසන් වන කාලය ගැන අවධානය යොමු කළොත්, 2020 වර්ෂයේ දෙසැම්බර් 20 සිට 31 දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 74ක් සිදුවී තිබෙනවා. 2021 වර්ෂයේ මෙය 104ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අපි දවසට අටක් මිය යනවා කියලා කිව්වට, දෙසැම්බර් 20ත් ජනවාරි පළමු සතියත් දක්වා වන කාලයේ දිනකට මරණ 14ක්, 15ක් වාර්තා වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. මෙහි තිබෙන කනගාටුදායක තත්ත්වය තමයි මෙයට ගොදුරු වන වැඩි පිරිසක් යතුරුපැදිකරුවන් වීම.

දවසකට වාර්තා වන රිය අනතුරුවලින් මිය යන ගණනින් 50%ට වැඩි ප්‍රතිශතයක්ම යතුරුපැදි අනතුරු. මීළඟට රිය අනතුරු නිසා වැඩියෙන්ම මිය යන්නේ පදිකයන්. මේ උත්සව සමයේ ඔබ කලබලයෙන් සාප්පු සවාරියේ යනවා, වාහනවල ගමන් කරනවා. මේ නිසා වැඩි වශයෙන් ප්‍රවේශම් විය යුතුයි. පදික මාරුව භාවිතයේදී පදික මාරුවක් තිබූ පමණින් ආරක්ෂාවක් සැලසෙන්නේ නැහැ. ඒ නිසා වාහන නවත්වනකන් ඉඳලා, රියැදුරන්ගේ අවධානය අරගෙන හා අනෙකුත් මංතීරුවල ගමන් කරන රියැදුරන්ගේත් අවධානය අරගෙන ප්‍රවේශමෙන් පාර මාරු වෙන්න.

මීළඟට අපි රිය අනතුරුවලට හේතු ගැන බැලුවොත්, සංඛ්‍යාලේඛන අනුව වැඩියෙන්ම අනතුරු සිදුවන්නේ ඉස්සර කිරීමට යෑමේදී. දෙවනුව හැරවීම. තුන්වෙනි කාරණාව තමයි වේගය. හතරවෙනි කාරණාව තමයි බීමත්ව රිය පැදවීම. මෙහිදී කියන්න ඕන මේ තත්ත්වය වසරක සමස්ත අනතුරුවල තත්ත්වය වුණත්, දෙසැම්බර් 20 සිට උදාවන සති දෙකේදී බීමත්ව රිය පැදවීම කියන කාරණය ඉදිරියට එනවා. මේ නිසා මට කියන්න තියෙන්නේ මත්පැන් හෝ මත්වන ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම ශ්‍රී ලංකාවේ නීතිය යටතේ වරදක්.

මත්පැන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මාර්ගයේදී වැරදිකරුවන් අල්ලා ගැනීම සඳහා මීගමුව හා කොළඹ කොට්ඨාසයට අනෙකුත් ප්‍රදේශවලින් නිලධාරීන් 200 බැගින් ගෙන්වාගෙන මේ දිනවල රාජකාරී කටයුතු සඳහා යොදවලා තිබෙනවා. ඔවුන්ට උපදෙස් ලබා දී තිබෙනවා රියැදුරන් නිරන්තර පරික්ෂාවට ලක්කරන්න කියලා.

මේ කටයුත්තේදී ඔබ දන්නවා ලොකු දඬුවමක් තිබෙනවා කියලා. අවම රුපියල් 25,000ක දඩයක් වගේම බීමත්ව රිය පදවා අනතුරක් සිදුකළොත් රිමාන්ඩ් කරනු ලබනවා. රියැදුරු බලපත්‍රය අත්හිටුවනවා. බීමත්ව රිය පදවලා යමෙකුට තුවාල සිදුවුණොත් රුපියල් 50,000ක සිට රුපියල් 100,000 දක්වා දඩයකට යටත් වෙනවා. ඒ විතරක් නොවෙයි ඔබ රිය පදවන විට හෝ මාර්ගයේ ගමන් කරන විට වින්දිතයා හා චූදිතයා කියන දෙපාර්ශ්වයම අසරණ වන බව මතක තබාගන්න.

ඔබ චූදිතයෙක් වුණොත් දඩයක් ගෙවන්න සිදුවෙනවා පමණක් නෙවෙයි, මානසික තත්ත්වය හා දෛනික ක්‍රියාකාරකම් අඩපණ වෙනවා. බීමත්ව රිය පදවා තුවාලයක් සිදුකළොත්, වන්දි නීතිය යටතේ ලොකු වන්දියක් ගෙවන්න සිදුවෙනවා. ඒ වගේම තමයි මාර්ගයේ ගමන් කරද්දී මේ උත්සව සමයේ කලබලකාරීව හෝ බීමත්ව රිය පදවන රියැදුරන් සිටිය හැකි බව සිතා ඔවුන්ගෙන් ප්‍රවේශම් වන්න. ආරක්ෂාව සලස්වා ගැනීම ඔබගේ යුතුකමක් බව මතක තබාගෙන, පාරේ දකුණු පැත්තේ දකුණු අයිනේ ගමන් කරන්න. පාර මාරු වීමේදී පදික මාරුව භාවිත කරන්න. හදිසියේ ඔබ අනතුරකට ලක්වෙලා රියැදුරුට විරුද්ධව නඩුවක් දාලා රියැදුරුගෙන් ලක්ෂයක් එකහමාරක වන්දියක් ගත්තත්, හානිපූර්ණය යථාවත් කරන්න බැහැ. මොකද ඔබේ අවයවවලට සිදුවන හානිය ජීවිත කාලයටම බලපානවා.

උත්සව සමයේ අපිට සංඛ්‍යාලේඛන පෙන්වන දෙයක් තමයි නීති උල්ලංඝනය වෙනවා වගේම වාහනවල ආරක්ෂිත උපකරණ භාවිතය පිළිබඳවත් යම් ගැටලු තිබෙන බව. ඒ අනුව කියන්න තියෙන්නේ වාහනයක ගමන් කරන විට ආසනවල තිබෙන ආරක්ෂිත පටි භාවිත කරන්න. විශේෂයෙන් අධිවේගී මාර්ගය භාවිත කරන සෑම අවස්ථාවකම රියැදුරු හා සියලුම මගීන් ආසන පටි භාවිත කළ යුතුයි. ලංකාවේ මතයක් තිබෙනවා නීතියේ නැති නිසා පිටුපස අසුන් භාවිත කරන මගීන්ට ආසන පටි අවශ්‍ය නෑ කියලා. නීතියේ නැති වුණත් ඔබේ ආරක්ෂාව වෙනුවෙන් මේ ආසන පටි පලඳින්න.

මීළඟට හෙල්මට් එක ගැන කතා කළොත්, ආරක්ෂිත හිස්වැසුම් සම්බන්ධ නීතිය යටතේ නිකුත් කළ ගැසට් එකේ තිබෙනවා. එය අවසන් වරට යාවත්කාලීන කර 2287/28  අංකය ඔස්සේ 2022 ජූලි මස 7 නිකුත් කරනු ලැබුවා. අපේ මතයක් තිබුණා සම්පූර්ණ මුහුණ වැසෙන (ෆුල් ෆේස්) හිස්වැස්ම තහනම් කියලා. නමුත් එය සාකච්ඡාවලට බඳුන් වෙලා යතුරුපැදිකරුගේ නිකටේ යට කොටසේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකලා, Chin guard එක බාහිර පෙනුමට බාධා නොවන ආකාරයට, එනම් ඇස් මට්ටමේ සිට අංශක 7ක් ඉහළටත්, අංශක 45ක් පහළටත් පෙනෙනවා නම්, ඊට යටින් Chin guard එකක් පලඳින්න පුළුවන්.

අපි සාමාන්‍ය ව්‍යවහාරයේ මෙයට කියන්නේ ෆුල් ෆේස් හෙල්මට් එකක් කියලා. ඒ වගේම අංගසම්පූර්ණ හෙල්මට් එකක තිබෙන මූලධර්මය තමයි හිසේ ඉහළ සිට කනේ පහළ දක්වා වැසෙන්න අවශ්‍යයි. මීළඟට නිකටට පටියක් තිබිය යුතුයි. එය තිබීම පමණක් නොව ලොක් කර තිබීමත් අවශ්‍යයි. මේ නීතිය අනුව පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. හෙල්මට් එකක් නොපැලඳීම පමණක් නොවෙයි, ආරක්ෂිතව එය පැලඳ නැත්නම් එයටත් නීතිය ක්‍රියාත්මක කළ හැකියි. නිකටට පටිය දාලා නැත්නම් එයටත් නීතිය ක්‍රියාත්මක කර රුපියල් 3000ක් දක්වා දඩයකටත් යටත් කළ හැකියි.

ඒ වගේම ගැසට් එකේ සුවිශේෂී තවත් කාරණාවක් තිබෙනවා. ඒ තමයි නීතියට අනුව හෙල්මට් එකක් දාන්න ඕන යතුරුපැදිය පදවන අවස්ථාවේ විතරයි. ඉන් බාහිරව මේ හෙල්මටය පැලඳ කටයුතු කරන්න බැහැ. (මෙම රෙගුලාසියට ත්‍රිවිධ හමුදාව හා පොලීසිය යටත් නොවේ). ඔබ බාහිරව හෙල්මටය පැලඳ කටයුතු කරනවා නම් සැකයට භාජනය වේවි. යතුරුපැදියෙන් බැහැලා කඩයකට හෝ යනවා නම් හෙල්මට් එක ගලවලා යා යුතුයි.

හෙල්මට් එකක් දාගෙන සාමාන්‍ය විදිහට පයින් ගමන් කරන්න බැහැ. විශේෂයෙන් 6වැනි රෙගුලාසිය අනුව (අ) (ආ) යටතේ යම් උත්සව භූමියක හෙල්මට් එකක් පැලඳ නිදැල්ලේ සැරිසරන්නට අවසර නැහැ. මේ ගැසට්ටුව සකස් කර තිබෙන්නේ ඔබේ ආරක්ෂාව වෙනුවෙන්. තවත් කාරණාවක් තමයි පොලීසියෙන් හෝ නීතියෙන් බේරෙන්න නෙවෙයි හෙල්මට් එකක් දාන්න ඕන. ඔබේ ආරක්ෂාව සඳහායි. හෙල්මට් එකේ වයිසරයක් තිබෙනවා නම් එය දාගත යුතුයි.

එය තිබෙන්නේ ඔබේ ඇස්වල ආරක්ෂාවට. ඒ වගේම නිකට පටිය දාලා ලොක් කරගත යුතුයි. දැන් වෙළෙඳ පොළේ තිබෙනවා කාන්තා හෙල්මට් කියලා හඳුන්වා දුන් හෙල්මට් වර්ග. මේවගෙන් ආවරණය වන්නේ කනේ කොටසක් පමණයි. ඒවා වැඩබිම්වලට භාවිත කරන්න හොඳයි. මේවායෙන් හිසට ආරක්ෂාවක් සැපයෙන්නේ නැහැ. 

වෙළෙඳ පොළේ අලෙවි වන විවිධ හෙල්මට් වර්ග නියාමනය ගැන කතා කරද්දි SLS 517 කියන තත්ත්ව සහතිකයට අනුව නියාමන කටයුතු තිබෙන්නේ පාරිභෝගික අධිකාරියටයි. ඒ වගේම රේගුවෙන් භාණ්ඩ නිදහස් කරන HS කේතයක් තිබෙනවා. ඉහත ගැසට් එක සකස් කරන්න පෙර එවැනි හෙල්මට්වලට මේ කේත තිබුණේ එකයි. ඒ අනුව ගැසට් එක අලුත් කරද්දි HS කේතත් ඇතුල් කළා. නමුත් වැඩබිම්වලට පලඳින හෙල්මට් වර්ගත් ඒවාට අදාළ HS කේත අනුව මේ රටට එනවා. ඒ අනුව ඒවා ජනතාව මිලදී අරගෙන යතුරුපැදිවල ගමන් කරද්දී පලඳින එකයි වැරැද්ද. නීතිය අනුව මේවා නියාමනය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඕනෑම අලෙවි සැලක් වැටලීමක් කර අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. 

හැමවිටම මාර්ග නීති පිළිපදින්න. මේ උත්සව සමයේ ත්‍රිරෝද රථ භාවිත වෙනවා වැඩියි. ත්‍රිරෝද රථවල ගමන් කර දකුණු පැත්තෙන් බහින්න එපා. ඒ වගේම මත්පැන් සාදවලට සහභාගී වෙනවා නම් තමන් ගමන් කරන සාද සඳහා රියැදුරෙක් සමග වාහනය රැගෙන යන්න. රියැදුරාට මත්පැන් භාවිතයට අවස්ථාව දෙන්න එපා.

නැත්නම් කුලී රථයක් ඔබේ ගමන් සඳහා භාවිත කරන්න. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම නීතියෙන් තහනම් බව නැවත මතක් කරනවා. මීළඟට මත්පැන් භාවිත කර රිය පැදවීම් පරික්ෂා කරන්න මහා මාර්ගයේදීම අවස්ථාව ඇති උපකරණ පොලීසිය සතුව තිබෙනවා. මීළඟට මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරික්ෂා කරන්න වෛද්‍යවරුන් වෙත යොමු කරනු ලබනවා. මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිත කර රිය පැදවීම් සම්බන්ධ පරික්ෂා කිරීම් සඳහා නොබෝ දිනකදී නව උපකරණයක් හඳුන්වා දීමට නියමිතයි. 

අපි පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් නීති කටයුතු කිරීමේදී දකින දෙයක් තමයි දිවා හා රාත්‍රී කාල දෙකේම විවිධ මත්ද්‍රව්‍ය භාවිත කර ධාවනය කරන රියැදුරන් සිටිනවා කියන එක. ඒ අනුව මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවීම කියන චෝදනාව යටතේ කොළඹ ප්‍රදේශයේ පසුගිය මාස දෙකක  කාලසීමාවේ බස් රථ රියැදුරන් සම්බන්ධ නඩු 73ක් ගොනු කර තිබෙනවා. මේවා අතරින් දෙකක් තමයි අධිකරණයේ නිවැරදිකරුවන් හැටියට trial procedure එකේ තිබෙන්නේ. දැනට අපි කරන්නේ අධිකරණ නිලධාරීවරයාට ඉදිරිපත් කර වාර්තාවක් අරන්, ඒ අනුව කටයුතු කරන එක.

ඉදිරියේදී අපි මත්ද්‍රව්‍ය රැගෙන රිය පැදවීම සම්බන්ධ වැඩි ප්‍රවණතාවක් දක්වන රියැදුරන්ගේ ක්ෂේත්‍ර හඳුනාගෙන පරික්ෂා කිරීම් සිදුකරන්න නව ක්‍රමවේද ගෙන එන්න නියමිතයි. ඒ අනුව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සමග එකතුවෙලා අපි ඒ සඳහා අවශ්‍ය උපකරණ දැන් ගෙනැවිත් තිබෙනවා. ඒ අනුව අපි අවශ්‍ය සාම්පල පරීක්ෂක කටයුතු සිදුකරන්න අවශ්‍ය නීතිරීති පවා සංශෝධනය කරන්න සැලසුම් කර තිබෙනවා. 

දෙමව්පියන්ට කිවයුතු දේ තමයි තමන්ගේ ළමුන් යතුරුපැදිවල ගමන් කිරීමේදී රියැදුරු ගමන් බලපත්‍ර නැති අය වාහන අතට ගන්නවාද යන්න ගැන අවධානය යොමු කරන්න. ඒ වගේම සියලුමදෙනා රිය පැදවීමේදී හා මාර්ගයේ ගමන් කිරීමේදී සැලකිලිමත් වෙන්න. රිය අනතුරක් සිදුවුණාම අධිකරණයේදී නඩු පවරන්නේ නොසැලකිල්ල හා අපරික්ෂාව කියන වචන උඩ. ඒ නිසා සැමවිටම සැලකිලිමත් වෙන්න, පරික්ෂාකාරී වෙන්න. 

0 comments

Leave a Reply

Post Comment