'ආදායම් වියදම්' පිළිබඳ අද සෑම තරාතිරමකම පුද්ගලයන් අන්කවර දාකටවත් වඩා කතාබහට ලක්වන කරුණකි. ආර්ථික උද්ධමනය, ආහාර උද්ධමනය පිළිබඳ පර්ලිමේන්තුවේ පවා වාද විවාදයට ලක්ව ඇත. ඉන් නොනැවතී විදේශීය ප්‍රජාවගේද අවධානය අප රටේ ආහාර උද්ධමනය කෙරෙහි යොමු වී ඇත.


ශ්‍රී ලංකාවේ සෑම පවුල් පහකින් පවුල් දෙකක් සිදුකරන වියදම්වලින් 75%ක ප්‍රමාණයක් වැය කරන්නේ, ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාවක පෙන්වා දෙයි. ඒ අනුව ඔවුන් ප්‍රශ්න කරනුයේ අධ්‍යාපන හා සෞඛ්‍ය සඳහා වෙන් කරන්නේ කේසේද යන්නයි.

මෙසේ විවිධ සංවිධාන විසින් ලංකාවේ ආහාර අර්බුදය පිළිබඳ විවිධ වර්තා මගින් පෙන්වාදෙන දත්ත සුභ දායක නොවේ. ඉදිරියේදී ලංකාවේ ළමා මන්ද පෝෂණය තව තවත් උග්‍ර අතට පත් වන බවත්, ජනගහනයෙන් මිලියන 6.2ක් සඳහා හදිසි මානුෂීය ආධාර අවැසි අතර, ඉන් මිලියන 2.9ක් ළමයින් බව යුනිසෙෆ් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

වයස පහට අඩු දරුවන්ගෙන් 50%ක් ආහාර උද්ධමනය නිසා මන්දපෝෂණයෙන් පෙළෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෝෂණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වන්නේ යැයි ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනුකමිටුවේදී තොරතුරු අනාවරණය වූ බවත්, එසේම  ගර්භිණී  මවුවරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශක අගයද ආහාර හිඟය හේතුවෙන් බෙහෙවින්ම අඩුව ඇති බවටද තොරතුරු  හෙළි වූ බවත් පසුගියදා ප්‍රවෘත්ති වාර්තා විය. 

ඒ කෙසේවිද වගකිවයුතු නිලධාරීන්ට අනුව එය එසේ නොවන බව ඔවුන්ගේ ප්‍රකාශ තුළින් ජනතාවට ඒත්තු ගැන්වේ. නිලය, බලය, ධනය, රැකගැනීම හැර ඔවුන්ට වෙනත් රාජකාරියක් නොමැති බව ඉන් අපට ගම්‍ය වේ. 

මේ අභියෝගය ජයගත යුත්තේ, එයට සැබෑවටම මුහුණපාන ජනතාවමය ඒ සඳහා පිළියම් සෙවිය යුත්තේද ජනතාව විසිනි. ලැබෙන ආදායම කළමනාකරණය කරමින් නිසි පෝෂණ අවශ්‍යතා සපුරාගන්නේ කෙසේද යන්න පිළිබඳ අදහස් දක්වන්නේ, මහනුවර මහා රෝහලේ පෝෂණවේදිනී, ආහාර හා පෝෂණවේදය පිළිබඳ වයඹ විශ්වවිද්‍යාලයේ විශේෂ උපාධිධාරිනී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරිනී සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අනුමත පෝෂණවේදිනී ජනනි උදයදිවාකර මහත්මියයි.

"අපි කොහොමද මේ ආර්ථික අර්බුදය හමුවේ පවුලේ පෝෂණීය තත්ත්වය නගාසිටුවන්නේ, අඩු වියදමකින් පෝෂණයත් දියුණු කරගෙන තුන්වේල සකස් කර ගන්නේ කියලා මෙය අද හැම තරාතිරමකම පවුල් ඒකකයකටම පොදු ගැටලුවක්. 

වර්තමානයේ මෙම ආර්ථික අර්බුදයත් සමග ආහාර උද්ධමනය විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. මීට මාස තුනකට පෙර තිබුණ ආහාර මිල ගණන් අද සංසන්දනය කර බලද්දී තුන් ගුණයකින් වැඩිවෙලා අනෙක් සියලුදේත් ඒවගේම ඉහළ ගිහිල්ලා.

ඒ නිසාම ළමා මන්ද පෝෂණය, වැඩිහිටියන්ගේ විශේෂ  පෝෂණ ඌණතාත් වැඩි වී තියෙනවා. මේ පිළිබඳ පර්ලිමේන්තුවේ පවා විවාදයට ලක්වුණා.ඉතිං අපි බලන්න ඕන ඇයි මෙහෙම තත්ත්වයක් ඇති වෙලා තිබෙන්නේ කියලා, මේ ක්‍රමය ඇතුළෙන්ම මේ තත්ත්වය කළමනාකරණය කරන්නේ කේසේද කියලා. යම්තාක් දුරකට හෝ මේ තත්ත්වය පාලනය කර ගන්නේ කේසේද සහ ආහාරවල පෝෂණ තත්ත්වය රැකගෙන ආහාර සකස් කර ගන්නේ කියලා.

මුලින්ම අපි දන්නවා අප ගන්නා ආහාර ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දක්වන බව. ඒවා නම් ශක්තිජනක ආහාර, වර්ධක ආහාර සහ ආරක්‍ෂක ආහාර. එහිදී පිෂ්ටය අඩංගු බත්, පාන් පිටි හා ධාන්‍ය ආහාර වගේම මේදය අඩංගු ආහාර අපි ශක්තිජනක ආහාර ලෙස වර්ග කර දක්වනවා. වර්ධක ආහාර ලෙස ප්‍රෝටීන් අඩංගු ආහාර තමයි අපි වර්ග කර දක්වන්නේ. ඒ වගේම තමයි ආරක්‍ෂක ආහාර ලෙස විටමින් හා ඛණිජ අඩංගු ආහාර අපි කාණ්ඩ කර දක්වනවා.
විශේෂයෙන් ලංකාවේ ගත්තාම මේ ප්‍රෝටීන අඩංගු ආහාරවල මිල තමයි ශීඝ්‍ර ලෙස මිල ඉහළ ගොස් තිබෙන්නේ. ඒ අනෙක් ඒවාට සාපේක්‍ෂව.

වර්ධක ආහාරවල අඩංගු ප්‍රෝටීන අපට අත්‍යවශයි. එය කුඩා දරුවන්ගේ සිට වැඩිහිටි පුද්ගලයන් දක්වා එක වාගේ වැදගත් ආහාර කොටසක්. මේ නිසා මේ ප්‍රෝටීන දෛනිකව අප ආහාර වේලට එකතු කරගත යුතුම ආහාර කොටසක්. ඒක තමයි අපට ප්‍රධානම අභියෝගය වෙලා තිබෙන්නේ.

මේ ප්‍රෝටීන යළිත් කොටස් දෙකකට බෙදාවෙන් කරනවා. සම්පූර්ණ ප්‍රෝටීන සහ අසම්පූර්ණ ප්‍රෝටීන කියලා. බොහෝමයක් සත්ත්වමය ආහාර මගින් අපට සම්පූර්ණ ප්‍රෝටීන ලබාගත හැකියි. මෙහිදී විශේෂයේන් කුඩා දරුවන්ට මේ සම්පූර්ණ ප්‍රෝටීන ප්‍රබවයක් ලබාදීම අත්‍යවශ්‍යයි. මේ සම්පූර්ණ ප්‍රෝටීන අපට ඇඟ තුළින් නිපදවාගත නොහැකිය. ඇමයිනො අම්ල සියල්ල අඩංගු ආහාර මගින් දරුවන්ගේ ඉන්ද්‍රීය වර්ධනය, මතක ශක්තිය වර්ධනය මොළේ වර්ධනය හා ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වෙනවා.

ඉතිං මේවා තිබෙන්නේ මස්, මාළු, බිත්තර, කරවල ආදි සත්ත්ව ආහාර තුළ අද වනවිට එම ආහාරවල මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බව දකින්නට පුළුවන්. 

සෝයා, කඩල, මුංඇට, පරිප්පු, මුරුංගා කොළ ආදී ආහාර අපි හඳුන්වන්නේ, අසම්පූර්ණ ප්‍රෝටීන ආහාර ලෙස. මොකද එම ආහාරවල අත්‍යවශ්‍ය ඇමයිනො අම්ල එකක් හෝ කිහිපයක් අඩුවිය හැකියි. 

මෙතනදී කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මිල ඉහළ යාමත් සමග මට ආහාරයට එක් කරගත හැක්කේ, අසම්පූර්ණ ප්‍රෝටීන් සහිත ආහාර කියලා. එහෙම නෑ අපට පුළුවන් මේ ශාකමය ප්‍රෝටීන ආහාර කාණ්ඩ දෙකක් හෝ තුනක් එකට එකතු කර ආහාරයට එක් කර ගන්න. ඒ මගින් අපට සම්පූර්ණ ප්‍රෝටීන අඩංගු ආහාර වේලක ගුණය ලබාගත හැකියි. 
උදාහරණයක් ලෙස අප ගන්නා බත්වල සමහර ඇමයිනෝ අම්ල අඩුයි. ඒ සඳහා අප කඩල, මුංඇට, කව්පි, සෝයා ආදි රනිල කුලයේ ශාක ආහාරයක් එක් කර ගැනීම තුළින් නිසි පෝෂණ අවශ්‍යතාව සපුරාගත හැකියි. 

මොකද රනිල කුලයේ ශාක ආහාරවල අඩංගු ඇමයිනෝ අම්ල කොටස් ධාන්‍යමය ආහාරවල අඩුවෙනුත්, ධාන්‍යමය ආහාරවල අඩංගු ඇමයිනෝ අම්ල කොටස් රනිල කුලයේ ශාක ආහාරවල අඩුවෙනුත් අඩංගුයි මේ නිසා එම කොටස් කිහිපයක් ආහාරයට එක් කර ගැනීම තුළින් එම පෝෂණය සම්පූර්ණ කරගත හැකියි. තවද නිවිති, මුරුංගා කොළ සමග දඹල එක් කර සාදාගත් ව්‍යාංජන සමග බත් ආහාරයට ගැනීම තුළින් අපට මේ පවතින තත්ත්වය තුළ යම්තාක් දුරට පෝෂණ අවශ්‍යතා කළමනාකරණය කර ගැනීමට හැකියි. 

බොහෝදෙනා ආහාරයට මැලි බවක් දක්වන සෝයාමීට් හොඳම විකල්පයක්. බෝහෝ දෙනා සෝයා මීට් ආහාරයට එක් කර ගන්න හොඳ නෑ, මේවා හදලා තියෙන්නේ පුන්නක්කුවලින් ආදි වැරදි මතවල ඉන්නවා. SLS සහිත ප්‍රමිතිගත විස්වාසනීය සන්නාමයකින් එනු ලබන සෝයාමීට් ආහාරයට එක්කර ගැනීම තුළින් අපට දැරිය හැකි මුදලකට මේ සඳහා විසඳුමක් ලබාගත හැකියි.

තවද මිල අඩු විකල්ප සඳහා යොමු වීම අපට කළ හැකියි. බෝහෝදෙනා සිතනුයේ තෝරා, මෝරා, තලපත් ආදී මිල ඉහළ මාළු පෝෂණ ගුණයෙන් ඉහළයි කියලා. එනිසා ඒවා තමයි ආහාරයට ගත යුත්තේ කියලා. එය වැරදියි. අද වනවිට ඒ මාළු වර්ගවල මිල ඉතා ඉහළයි. සමහර අයට ඒවා මිලදී ගැනීමේ හැකියාවක් නෑ. ඉතින් අපි දන්නවා කුඩා මාළු වේවා විශාල මාළු වේවා පෝෂණයේ විශාල වෙනසක් නෑ එම නිසා අපට කුඩා මාළු ආහාරයට එක්කර ගත හැකියි. මිල අඩු මාළු වර්ග තෝරා ආහාරයට එක්කර ගැනීම තුළින් මේ සඳහා විසඳුමක් ලබාගත හැකියි.

ඊට අමතරව වැඩි කැල්සියම් හා ඔමේගා 3 වැනි අමතර පෝෂණ සංඝටක එක්කර ගැනීමට හැකි වීම අමතර වරප්‍රසාදයක්. අප 'Fish oil' ලෙස ගන්නා කරල්වල අඩංගු වන්නේ, මේ ඔමේගා 3 අත්‍යවශ්‍ය මේද අම්ලමයි. හුරුල්ලා, සාලයා, සුරාපරව් ආදී කුඩා මාළුවල මේවා ඉතා ඉහළයි.

මේවා කටු වැඩියි කියලා ආහාරයට එක්කර ගැනීමට මැලිකමක් දක්වනවා. කටුත් සමග ආහාරයට ගත හැකි ආකාරයට ඒවා සකස් කරගත හැකියි. වෙනස් විදියේ ආහාර වට්ටෝරු අනුව පිළියෙල කර ආහාරයට ගත හැකියි.
මීට අමතරව විකල්පවලට යොමුවීම. අප බෝහෝවිට දකින දෙයක් තමයි හාල්මැස්සන්ගේ ඔළු විසිකර දමනවා. ඒවා වේලා කුඩුකර කුඩා බෝතලයකට දමාගෙන උබලකඩ කුඩු වෙනුවට ආහාර සඳහා එක්කර ගත හැකියි. රස වගේම ඉහළ පෝෂණ ගුණයකින් යුත්තයි. 

මෙසේ ලබාගන්නා පෝෂණ කොටස් ශරිරය තුළ නිසි ආකාරයට ක්‍රියා කිරීමට විටමින් හා ඛණිජ අවශ්‍යයි. ඒවා ලබාගත හැක්කේ එළවළු, පලතුරු සහ පලා වර්ග තුළින් අදවන විට ආනයනික පලතුරු මිල විශාල ලෙස ඉහල ගිහින් ඒත් වෙරළු, ලොවි, උගුරැස්ස, ජම්බු, කාමරංකා ආදි දේශීය පලතුරු භාවිතයට නොගෙන ගස් යට නරක් වී යනවා. අප මේ වගේ  ඌණ භාවිත දේශීය පලතුරුවලට හුරුවීම, අප අවට ගෙවත්තෙන් ලබාගත හැකි පලා වර්ග, එළවළු වර්ග හැකිතාක් ආහාරයට එක් කර ගැනීම ආදි විකල්පවලට හුරුවීම මගින් මේ තත්ත්වය පාලනය කරගත හැකියි. 
යම් කාලයකට පමණක් තිබෙන ආහාර වර්ග කල් තබා ගැනීමේ ක්‍රම මගින් ඉදිරි පරිභෝජනයට එක්කර ගැනීම උදාහරණයක් ලෙස ජම්බු ජෑම්, අඹ සහ ඇබරැල්ලා චට්නි ආදිය. 

ඒවගේම වියදම් කළමණාකරණය කර ගැනීම, අප වෙළෙඳ පොළට යාමට ප්‍රථම අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමුඛතා ලයිස්තුවක් සකස්කර ගැනීම මේ කාලයේ ඉතාම වැදගත්. එසේ නොවීමෙන් අනවශ්‍ය දේ වෙනුවෙන් මුදල් වියදම් කර අත්‍යවශ්‍ය දේ මිලදී ගැනීමට නොහැකි වෙනවා. එම නිසා අත්‍යවශ්‍ය දේ සඳහා ප්‍රමුඛතාව ලබාදීම.
අනවශ්‍ය කෘත්‍රිම බීම වර්ග, බිස්කට් වර්ග ආදිය ශරීරයට කිසිදු පෝෂණයක් එක් කරන්නේ නෑ.

ඒ වෙනුවට එම මුදලින් බිත්තර කිහිපයක්, යෝගට් ආදිය මිලදී ගැනීම, කෙටි කෑම සඳහා කොස්ඇට අග්ගලා, ත්‍රිපෝෂ, රටකජු මගින් කෙටි ආහාර සාදා පරිභෝජනයට හුරුවීම, වියදම් අඩු පෝෂණයෙන් ඉහළ කෙටි ආහාර වේලක් ලබාගත හැකියි.

අප ඉවතලන වට්ටක්කා ඇට අද ලෝකයේ ඉතා ජනප්‍රිය පෝෂණීය ආහාරයක්. ඒවා මාළුවට එක්කර ගැනීමට පුරුදුවන්න. එසේම මුං ඇට පෙගෙන්නට දමා පැළ වී ගෙන එනවිට ආහාරයට එක්කර ගැනීම තුළින් ඉන් ලැබෙන පෝෂණය වැඩි කරගත හැකිය. ආහාරවල පෝෂණ කොටස් විනාශ නොවන ආකාරයට ආහාර සකස් කිරීම සහ ආහාර අපතේ නොයන ලෙස පරිභෝජනයට ගත යුතුය. 

අතීතයේ ආහාරයට ගත් සමහර ආහාරපාන වෙනුවට විකල්ප ආහාරවලට යොමුවීම ආදිය තුළින් මේ අර්බුදය ජය ගනිමින් නිසි පෝෂණය තුළින් නිරෝගී පරපුරක් බිහි කරගත හැක. 

ක්‍රිෂාන් රණසිංහ

0 comments

Leave a Reply

Post Comment