1. මේෂ ලග්නය 

ලග්නය මත යුරේනස් සහ රාහු සංයෝගය නිසා ඔබ තුළ හටගන්නා ආවේගශීලී බව සහ නිතර නිතර මතුවන නොරිස්සුම් ස්වභාවය පාලනය කර ගතහොත්, 2023 වර්ෂය මේෂ ලග්න හිමි ඔබට කාලයකට පසුව උදාවන ජයග්‍රාහී සාර්ථක කාලපරිච්ඡේදයකි. ජනවාරි 17දා සිට ජූනි අග දක්වා කේන්දරයේ 11වැන්න සෙනසුරුගෙන් බලවත් වන බැවින්, වෘත්තීය සහ ව්‍යාපාර කටයුතු ඇතුළු ජීවිතයේ සාර්ථකත්වය පිණිස වූ බොහෝ ප්‍රතිලාභ අත්කර ගනී.

ගුරු ග්‍රහයා සමග නෙප්චූන් 12වැන්නේ සංයෝගය ආධ්‍යාත්මික සහ බුද්ධිමය අංශයෙන් ඉතා යහපත් තත්ත්වයකි. ආහාර ජීර්ණ ක්‍රියාවලිය සහ ස්නායු රෝග යනාදියෙන් පීඩා විඳින අය මේ වසරේදී තව තවත් පරෙස්සම් වීම අත්‍යවශ්‍ය වේ. විදෙස් ගමන් සහ විදෙස් මුදල් සමග ගනුදෙනු කරන මේෂ ලග්න හිමියන්ට මේ වසර වඩාත් සුබදායක වේ.

2. වෘෂභ ලග්නය 

කාලයකට පසුව උදාවන සහනශීලී සාර්ථක වසරකි. ලග්නයෙන් 12වැන්නේ රාහු, යුරේනස් සංයෝගය අහිතකර නමුත්, අනෙකුත් ග්‍රහ පිහිටීම් හේතුකොට ගෙන එකී තත්ත්වය සමහන් වේ. වෘත්තීය සහ ව්‍යාපාර කටයුතු සඳහා අලුත් අවස්ථාවන් උදාවන අතර, දැනට පවතින වෘත්තීය තත්ත්වයේ ස්ථාවරවීම් සහ උසස් ජයග්‍රහණයන් ලැබෙන කාලයකි. 11වැන්නේ සංයෝග වන ගුරු නෙප්චූන් සංයෝගය ඉතා යහපත් වේ.

සමාජයේ ආකර්ෂණීය බව පිළිගැනීම මෙන්ම ඔබ සතු ප්‍රබුද්ධ නිර්මාණශීලී බව ඔප්නැංවේ. ගර්භාෂගත රෝග, ඔසප් දෝෂ සහ හෝර්මෝන ඌනතා රෝග සහිත කාන්තා පක්ෂය තරමක් පරෙස්සම් වීම අත්‍යවශ්‍ය වේ.

3. මිථුන ලග්නය 

මේ 2023 වර්ෂය ඔබට සෑම අතකින්ම අලුත් ආරම්භයක් වේ. වෘත්තීය තත්ත්වයේ සහ ඉපැයීම් කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් පැවැති පීඩාකාරී ස්වභාවය අවසන් වන අතර, ශාරීරික සහ මානසික සුවතාව වර්ධනය වේ. සෙනසුරු 8වැන්නේ සිට 9වැන්නට පැමිණීමත්, 11වැන්නේ රාහු, යුරේනස් සංයෝගයත් 10වැන්නේ ගුරු නෙප්චූන් සංයෝගයත් ඉතා බලවත් වේ. බාධක අභියෝග ජය ගනිමින් දිගුකාලීන ගමනකට මුල පුරයි. උසස් අධ්‍යාපනය, විදෙස් මුදල් ඉපැයීම, විදෙස් සංචාර සඳහා වඩා වාසිදායක කාලයකි. සමස්තයක් වශයෙන් ගත් විට මිථුන ලග්න හිමියන් මේ වසර පුරා විශාල ප්‍රගතියක් ලබයි.

4. කටක ලග්නය 

ඔබේ කේන්දරයේ 08වැන්නට සෙනසුරු පැමිණීම පිළිබඳව මේ වන විටත් ඔබ තුළ අනියත බියක් හටගෙන තිබේ නම් හෝ යම් අයෙකු විසින් එවැනි භීතියක් ඔබේ මනසට ඇතුළු කිරීමට උත්සාහ ගත්තේ නම්, ඒ සියල්ල පළමුව ඉවත් කරගන්න. සෙනසුරු 8වැන්නට පැමිණීම නිසාම ඔබට සිදුවන අගතියක් නැත.

අක්මා, වකුගඩු ආශ්‍රිත රෝගාබාධ ආදියෙන් පෙළෙන කටක ලග්න හිමියෙකු නම්, ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. කශේරුකාව හෝ ස්නායු රෝග යනාදියෙන් පීඩා විඳින අයද තරමක් පරෙස්සම් වීම මැනවි. උරුමයෙන් හෝ වෘත්තීය ව්‍යාපාර කටයුතු ආදියෙන් ඔබට හිමිවිය යුතු දේපළ, ධනය හෝ උසස්වීම් සඳහා සුබ කාලයකි. ගුරු සහ නෙප්චූන් සංයෝගය 9වැන්නේ පිහිටීමත් රාහු, යුරේනස් සංයෝගය 10වැන්නේ පිහිටීමත්, ඔබේ වෘත්තීය සහ ආධ්‍යාත්මික දියුණුවට වඩා හිතකර වේ. 2023 වසර ඔබට අභියෝගාත්මක වුවත්, ජය ලැබිය හැකි කාලයකි.

5. සිංහ 

සෙනසුරු ග්‍රහයා ඔබේ කේන්දරයේ 7වැන්නට පැමිණීම සුබදායක වේ. පෙරට වඩා ශක්තිමත් සමාජ සබඳතා ඇතිකර ගැනීමට සහ හවුල් ව්‍යාපාර කටයුතු සඳහා හිතකර කාලයකි. එහෙත් ගුරු සහ නෙප්චූන් සංයෝගය 8වැන්නේ පිහිටීම මිශ්‍ර ඵලදායක තත්ත්වයකි. රුධිරගත සීනි සහ අහිතකර මේදය සහිත අය මෙන්ම, අක්මාව, වකුගඩු ආශ්‍රිත රෝගාබාධ ආදියෙන් පෙළෙන සිංහ ලග්න හිමියන් වඩාත් සැලකිලිමත් විය යුතුය. ආධ්‍යාත්මික දියුණුවට හිතකර වේ. හදිසි ධන ලාභ සඳහා අවස්ථාව යෙදෙයි. සැප්තැම්බර් මාසය අවසාන වනතුරු රැකියා වෘත්තීය ව්‍යාපාර කටයුතු වෙනස් කිරීම හෝ අලුත්ම කටයුතු සඳහා සුදුසු නොවේ.

6. කන්‍යා ලග්නය 

ඔබේ කේන්දරයේ 6වැන්නට පිවිසෙන සෙනසුරු ග්‍රහයා බලවත්ය. පසුගිය කාලය පුරා පැවැති පසුගාමී ස්වභාවය අවසන් වී කායික සහ මානසික වශයෙන්ද, වෘත්තීය සහ සමාජ තත්ත්වයෙන්ද උසස්වීම් ලබයි. එමෙන්ම 7වැන්නේ ගුරු, නෙප්චූන් සංයෝගය නිසා හවුල් ව්‍යාපාර සහ සමාජමය කටයුතුවලින් ලාභ ලබයි. එහෙත් 8වැන්නේ රාහු, යුරේනස් සංයෝගය අහිතකරය. ගින්දර, ගෑස්, විදුලිය සහ විෂ රසායනික ද්‍රව්‍ය නිසා අනතුරු හටගත හැකි හෙයින් පරෙස්සම් වීම අත්‍යවශ්‍ය වේ.

7. තුලා ලග්නය 

ලග්නයෙන් 7වැන්නේ පිහිටි රාහු, යුරේනස් සංයෝගය එතරම් හිතකර නොවේ. හවුල් ව්‍යාපාර සහ සමාජ සබඳතා ප්‍රේමය, විවාහය ආදී කටයුතු සම්බන්ධයෙන් වඩාත් ඉවසීමෙන් වැඩ කිරීම යහපත් වේ. කෙසේ නමුත් සැප්තැම්බර් මාසයෙන් පසුව සියලු සාධක ඔබගේ වාසිය පිණිස සකස් වේ. සෙනසුරු 5වැන්නේ ගෝචර වීම රැකියා සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් අලුත්ම මගකට අවතීර්ණ වීමකි. නෙප්චූන් සහ ගුරු සංයෝගය 6වැන්නේ යෙදීම මිශ්‍ර ඵලදායක වේ. රුධිරගත සීනි අහිතකර මේදය සහිත අය වඩාත් සැලකිලිමත් විය යුතුය. ආයතන ප්‍රධානීන් සහ ගුරු දෙගුරුන් සමග කටයුතු කිරීමේදී ධූරදර්ශී වීම යහපත්ය.

8. වෘශ්චික ලග්නය 

ලග්නයෙන් 4වැන්නේ සෙනසුරු බලවත්ය. ඉඩම් නිවාස සහ ඉදිකිරීම් කටයුතු සඳහා වාසිදායක කාලයකි. වීර්යවන්ත බව කැපී පෙනෙයි. 5වැන්නේ ත්‍රිකෝණස්ථානයේ ගුරු නෙප්චූන් සංයෝගය ඉතා බලවත් හෙයින්, නිර්මාණශීලී බුද්ධිමය හැකියා වර්ධනය වේ. එමෙන්ම 6වැන්නේ රාහු, යුරේනස් සංයෝගයද ඉතා යහපත් පිහිටීමකි. එහෙත් ගර්භාෂගත රෝග ඔසප් දෝෂ සහ හෝර්මෝන ඌනතා රෝග සහිත කාන්තා පක්ෂය තරමක් පරෙස්සම් වීම අත්‍යවශ්‍ය වේ.

9. ධනු ලග්නය 

ඔබේ ලග්නයෙන් 5වැන්නේ රාහු යුරේනස් සංයෝගය අහිතකර නමුත්, ධූරදර්ශී ඉවසිලිමත්භාවයෙන් එය මගහරවාගත හැකිය. වෘත්තීය ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් පැවැති තත්ත්වය එකවරම වෙනස් කිරීම සුදුසු නොවේ. 3වැන්නේ සෙනසුරු ඉතා බලවත්ය. ලෞකික සහ ආධ්‍යාත්මික යන දෙඅංශයෙන්ම උසස් අත්දැකීම් ලැබිය හැකි වේ. එමෙන්ම 4වැන්නේ ගුරු, නෙප්චූන් සංයෝගය ඉතා බලවත් හෙයින්, නිර්මාණශීලී බුද්ධිමය හැකියා වර්ධනය සිදුවේ. හෘදරෝග, ශ්වසන රෝග සහිත අය වඩාත් සැලකිලිමත් විය යුතුය.

10. මකර ලග්නය 

ලග්නයෙන් 2වැන්නේ සෙනසුරු ගෝචර වීම යහපත් වේ. ධනෝපායන මාර්ග, ගෘහ ජීවිතය, අධ්‍යාපනය යන අංශවල පෙරළිකාර ප්‍රගතියක් අත්කර ගනී. 3වැන්නේ ගුරු නෙප්චූන් සංයෝගය නිසා නිර්මාණශීලී බුද්ධිමය හැකියා වර්ධනය සිදුවේ. සමාජයේ ආකර්ෂණය සහ පිළිගැනීමට කටයුතු යෙදෙයි. එහෙත් ගෙල සහ ග්‍රීව කශේරුකා ආශ්‍රිත රෝගාබාධ ආදියෙන් පෙළෙන මකර ලග්න හිමියන් වඩාත් සැලකිලිමත් විය යුතුය. 4වැන්නේ රාහු, යුරේනස් සංයෝගය අහිතකර නමුත්, ඉවසිලිමත්භාවයෙන් එය සමනය කරගත හැකිය. අධික රුධිර පීඩනය සහ හෘද රෝග සහිත අය වඩාත් සැලකිලිමත් විය යුතුය. කාලයකට පසුව මකර ලග්න හිමියන්ට වඩාත් ජයග්‍රාහී සාර්ථක කාලපරිච්ඡේදයකි.

11. කුම්භ ලග්නය 

ලග්නය මත පිහිටි සෙනසුරු ඉතා බලවත් හෙයින්, වීර්යවන්ත සහ ජයග්‍රාහී ස්ථාවරයකින් නව වසර උදාවෙයි. 2වැන්නේ ගුරු, නෙප්චූන් සංයෝගයද ඉතා බලවත් හෙයින්, ධනෝපායන මාර්ග ගෘහ ජීවිතය අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙතෙක් පැවති පසුගාමී ස්වභාවය අවසන් වී වඩාත් ප්‍රායෝගික සහ සාර්ථක මාවතකට අවතීර්ණ වේ. එහෙත් තයිරොයිඩ් ග්‍රන්ථිය හෝ මුඛය ආශ්‍රිත රෝගාබාධ ආදියෙන් පෙළෙන කුම්භ ලග්න හිමියන් වඩාත් සැලකිලිමත් විය යුතුය. 3වැන්නේ රාහු, යුරේනස් සංයෝගයද බලවත්ය. එහෙත් උද්වේගකර බව සහ අතිධාවනකාරී තීරණ නොගැනීම වඩාත් ප්‍රායෝගික වේ.

12. මීන ලග්නය 

ලග්නය මත පිහිටි ගුරු නෙප්චූන් සංයෝගය බලවත් ය.නිර්මාණශීලි බුද්ධිමය හැකියා වර්ධනය වේ. සමාජයේ ආකර්ෂණය සහ පිළිගැනීමට කටයුතු යෙදෙයි. එහෙත් 2වැන්නේ රාහු, යුරේනස් සංයෝගය ඉතා අහිතකර පිහිටීමකි. ආහාර පාන සහ වචන භාවිත කිරීමේදී ධූරදර්ශී වීම අත්‍යවශ්‍ය වේ. තයිරොයිඩ් ග්‍රන්ථිය හෝ මුඛ රෝග සහිත අය වඩාත් සැලකිලිමත් විය යුතුය. ලග්නයෙන් 12වැන්නේ සෙනසුරු ගෝචරය නිසා අනවශ්‍ය ඒරාෂ්ටක භීතියක් ඇති කරගත යුතු නොවේ. ආධ්‍යාත්මික සහ අධ්‍යාපනික අංශයෙන් ඉතා යහපත් ප්‍රතිඵල ලැබිය හැකි කාලපරිච්ඡේදයකි.

ප්‍රවීණ ටොලමියානු ජ්‍යෝතීර්වේදී

කේ.සී.ජේ රත්නායක

www.kcj.lk 

0 comments

Leave a Reply

Post Comment