වීරවිල තල් ලලනාවන්ගේ දුක
'සිය රට දේ සිරි සැප දේ' නම් වූ තේමාවට අනුව යමින් අපේ දේශීය කර්මාන්තයක් වන තල් කොළ ආශ්රිත විවිධ භාණ්ඩ නිර්මාණය කරනා වීරවිල ලලනාවන්ගේ හෙට දිනය විශාල අවදානම් තත්ත්වයක ඇති බව වාර්තා වේ.
තල් කොළ කර්මාන්තයට මෙම ඉරණම ලැබීමට හේතුව වනුයේ, වීරවිල අවට තල් කොළ බහුලව නොමැති වීමයි. පිටතින් අලෙවියට රැගෙන එන තල් කොළ ගොබයක මිල රු.200ත් 250ත් අතර වන බැවින්, එම මිලටත් තල් අතු රැගෙන භාණ්ඩ නිපදවා ඒවා අඩු මුදලක් යටතේ විකිණීම නිසා තල් කොළ ආශ්රිත කර්මාන්තයට විවිධ බාධා එල්ල වී තිබේ.
තල් ගොබ කොළවල මිල අධික වීමත් අපිට උහුලන්න අමාරුයි
අනූෂා දීපානි මහත්මිය
වීරවිල අපේ තල් කර්මාන්තයට අවශ්‍ය කරනා තල් ගොබ කොළ නැගෙනහිර ප්‍ර‘දේශයේ අම්පාර, කල්මුණේ , පොතුවිල් ප්‍ර‘දේශවලින් තමයි ගෙන එන්නේ. මෙහෙ අය එහේ ගිහිල්ලා වාහනවලින් පටවගෙන ඇවිත් අපිට දෙනවා. අපි රුපියල් 200ක අවම මුදලකට ගන්නවා. ඊට පසු තල් ගොබ වේලලා අපේ කර්මාන්තයට ලබා ගන්නවා.
තල් ගොබ කොළවල මිල අධික වීමත් අපිට උහුලන්න අමාරුයි. එහෙම මිලකට අරගෙන හදන විසිතුරු භාණ්ඩ අපේම ගන්න එන අය තුට්ටුවට දෙකට මිල හෙට්ටු කරනවා. අපිට වැයවන ශ්රමයටවත් වටිනාකමක් දෙන්න ඒ අය කටයුතු කරන්නේ නැහැ. මේ නිසා මේ කර්මාන්තය කරන්න ඉදිරියේදී විශාල ගැටලු එනවා.
අපිට හොඳ වෙළෙඳපොළක් ඇතිකරලා දෙන්න
එස්. කොඩිකාර මහත්මිය
අපේ නිෂ්පාදන බලන්න එන සංචාරකයන්ගේ ටුවරිස්ට් ගයිඩ්ලා මේ භාණ්ඩවල අපේ මිල තවත් අඩුකරලා සංචාරකයන්ට දීමට පුරුදු වෙලා. ඒක නෙමෙයි විය යුත්තේ. සංචාරකයන්ට හැමතැනම මිල ගණන් වැඩියි. ඒ ක්රමයම අපිට සිදුවිය යුතු වුවත් අපේ මහන්සියටවත් උදව් නොකර මිල හෙට්ටු කිරීම ගැන අපි ගොඩාක් විරුද්ධයි. අපිට මෙම කර්මාන්තයට හොඳ වෙළෙඳපොළක් ඇතිකරලා දෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මෙම ප්‍රදේශයේ කාන්තාවන් විශාල පිරිසක් මේ කර්මාන්තයෙන් දිවි ගෙවනවා
එච්.ජී.කේ වර්ණසීලි මහත්මිය
වීරවිලට මෙම තල් ආශ්රිත නිර්මාණ කර්මාන්තයට පණ දෙන්න එදා ජ.වි.පෙ. තිස්ස ප්‍රා‘දේශීය සභා පාලනය යටතේ කටයුතු කළා. ඊට පස්සේ චමල් රාජපක්ෂ මහතාගේ නෝනා චන්ද්‍රා රාජපක්ෂ මහත්මියත් නිෂ්පාදන පුහුණු කරදීමේ වැඩසටහන් පවත්වා වීරවිල කාන්තාවන්ට තල් කොළයෙන් රටා මවන හැටි ඉගැන්නුවා.
මේ නිසා මෙම ප්‍රදේශයේ කාන්තාවන් විශාල පිරිසක් අද වන විට මේ කර්මාන්තයෙන් දිවි ගෙවනවා.
එච්.ජී.කේ. වර්ණසීලි මහත්මිය
තල් ආශ්රිත කර්මාන්තකරුවන්ගේ සංවිධානයක් මෙහි තියෙනවා. මම එහි සභාපතිනිය ලෙස කටයුතු කරනවා. අපිට තව තියෙන ප්‍රශ්නයක් තමයි අපි නිවෙස් අසල මෙලෙස නිෂ්පාදන අලෙවි කළාට අපිට ස්ථිර තැනක් මේවාට අවශ්‍ය වෙනවා. ඒ සඳහා ස්ථානයක් ලබාදීමට හැකි නම් වටිනවා.
කොපමණ බාධා ප්‍රශ්න ආවත් මේ කර්මාන්තය අපිට ආර්ථික ලාභයක් ලබා ගැනීමට උදව් වෙනවා. පිටතින් දුර පළාත්වලින් ගෙනෙනා තල් ගොබ අතු මිල අඩු වෙනවා නම් අපිට මේ කර්මාන්තය පවත්වාගෙන යෑමට විශාල ශක්තියක් වෙනවා.
තිස්සමහාරාම රුක්මන් රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

