මෙරට වැඩකරන ජනතාව අතරින් නැත්නම් ශ්‍රම බළකායෙන් 65.%6ක් පිරිමි වන අතර, 34.4%ක් ගැහැනුන් වේ. මෙම වැඩකරන කාන්තාවන් අතර රාජ්‍ය අංශයේ රැකියාවේ යෙදෙන කාන්තාවන් මෙන්ම පෞද්ගලික අංශයේ හා වතුකරයේ රැකියාවේ යෙදෙන කාන්තාවන් වේ. මෙම අංශ දෙස බලන විට වතුකරය ආශ්‍රිතව වැඩකරන ශ්‍රමිකයන්ගෙන් 70%ක් තරම් ඉහළ අගයක ශ්‍රම දායකත්වය සපයන්නේ කාන්තාවන්ය.
අනෙක් අංශ හා සාපේක්ෂව වතුකරයේ කාන්තාවන්ට ප්‍රසූතිය වෙනුවෙන් ලැබෙන නිවාඩු ගණන ඉතා අඩු දින ගණනක් වන අතරම මේ හේතුව නිසාම වතුකරයේ මවුවරුන් දරුවන්ට මවුකිරි ලබාදීමේ ප්රවණතාවේ යම් අඩුවක් දැකගත හැකි බවට සමීක්ෂණවලින් හෙළිදරව්වී ඇත. මේ නිසාම මෙවර 'ජාතික මවුකිරි දීමේ' සතියේදී විශේෂ අවධානයක් වතුකරය වෙත යොමුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.
ඒ අනුව මෙවර ජාතික මවුකිරි දීමේ සතියේ සමාරම්භය සිදුවූයේ හැටන් නගරය කේන්ද්‍ර කර ගනිමිනි. කුමන ක්ෂේත්රෙයක රැකියාවේ නිරත වුවත් මවකට දරුවෙකුට මවුකිරි ලබාදීමට අයිතියක් මෙන්ම දරුවෙකුට මවුකිරි ලබා ගැනීමටද අයිතියක් පවතී. මෙම අයිතිවාසිකම තහවුරු කර දෙමින් එම අයිතිවාසිකම සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් මෙවර ජාතික මව්කිරි දීමේ සතිය තේමාකර තිබෙන්නේ 'එක්වෙමු - සුරකිමු මවුකිරි දීමේ පුරුද්ද නිරතුරු' යනුවෙනි.
මේ ජාතික මවුකිරි ලබාදීමේ සතිය වෙනුවෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය මගින් පැවැත්වූ මාධ්‍ය සම්මන්ත්‍රණයේදී වතුකරයේ මවුවරුන්ගේ මවුකිරි දීමේ පුරුද්ද නැංවීම යන මැයෙන් වතු හා නාගරික සෞඛ්‍ය අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිදර්ශනී පෙරියසාමි මහත්මිය දැක්වූ අදහස්ය.
''වතුකරයේ රැකියාවේ නිරත වන පිරිස ගත්තම වැඩිම කාන්තා ප්‍රතිශතයක් සේවය කරන්නේ මේ වතු ආශ්‍රිතවයි. එය ප්‍රතිශතාත්මකව 70%ක්.
අපි මේ වතු ක්ෂේත්රයේ ගර්භිණී හා කිරි දෙන මවුවරුන්ගේ හා අවුරුදු 5ට අඩු දරුවන්ගේ පෝෂණය ගැන බැලුවම පසුගිය වසරේ ලෝක බැංකුව මගින් සිදුකළ සමීක්ෂණයකින් වාර්තාවුණේ මොවුන්ගේ පෝෂණ තත්ත්වයන් ඉතාම දුර්වල මට්ටමක පවතින බවයි. විශේෂයෙන් අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව වතුකරයේ දරුවන්ගේ පෝෂණ ඌනතා ඉතා ඉහළ අගයක පවතින බව එම සමීක්ෂණයෙන් පෙන්නුම් කරනු ලැබුවා.
වතුකරයේ මවුවරුන් තම දරුවන්ට මවුකිරි ලබාදීම පිළිබඳ දත්ත සලකා බලද්දී එය පළමු මාස 6 තුළ මවුකිරි ලබාදීම 78%ක අගයකුත්, දරුවා ඉපදී පළමු පැය ඇතුළත මවුකිරි ස්ථාපිත කිරීමේ අගය 85.4%කුත් ලෙසයි සටහන් වන්නේ.
නමුත් පළමු මාස හය තුළ මවුකිරි දෙන එක මේ අගයේ තිබුණත් අපිට මවුකිරි පමණක් ලබා දෙන තත්ත්වයට වඩා මවුකිරි සමග වතුර හා වෙනත් පාන වර්ග ලබාදීමේ තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. මොකද ඔවුන්ගේ නොදැනුවත් කම නිසා මාස 6 මවුකිරි ලබාදීම මේ අතිරේක පාන සමග සිදුකළ යුතු බවට මතයක් හදාගෙන තිබෙනවා. මේ වගේ මවුවරුන් අතර දැනුමේ පවතින ගැටලු අපිට විසඳා ගැනීමට හැකි වුවහොත් අපිට දරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂණය සම්බන්ධ ගැටලු රැසක් විසඳා ගැනීමට හැකියාවක් උදාවෙනවා.
වතුකරයේ තිබෙන ලොකුම ගැටලුවක් වන්නේ මවුවරුන් තමන්ගේ ප්‍රසූත නිවාඩුව සම්පූර්ණ වන්නට පෙර වතුවල සේවයට පැමිණීමේ තත්ත්වයක් දැකගත හැකිවීමයි. ලෝක බැංකුව සිදුකළ සමීක්ෂණයෙන් පවා අපට වාර්තා වුණේ වතුකරයේ මවුවරුන් දරුවෙකු ප්‍රසූත කර සති 7ක් ගතවන විට යළි සේවයට පැමිණීමේ තත්ත්වයක් තිබෙන බවයි.
ඉතින් දරුවෙකුට සති 7ක් මවුකිරි දෙන මවුවරුන් මෙයින් පසු බෝතලයෙන් කිරි ලබා දීම කෙරෙහි යොමු වෙනවා. එය අගයක් ලෙස ගත්තම වතුකරයේ මවුවරුන් 31.4%ක්ම තමන්ගේ දරුවන්ට බෝතලයෙන් කිරි දීමයි සිදුකරන්නේ. මේ නිසා අපිට හිතන්න සිදුවෙනවා වැඩට යන අම්මලාට තමන්ගේ දරුවන්ට මවුකිරි ලබාදීම සුරක්ෂිත කරන්න අපි කොහොමද සහයෝගය දෙන්නේ කියන එක.
ඇත්තටම මෙය වතුකරයේ කරන්න පුළුවන්ද කියන ප්රශ්නය හැමෝටම ආවත් අපි ආඩම්බර වෙන්න ඕන හැටන්වල අපි කරපු වැඩසටහනේදී අපිට හමුවුණා එක් වතු සමාගමක් තමන්ගේ වතු සේවිකාවන්ට මවුකිරි මිතුරු පරිසරයක් ගොඩනගාගෙන තිබුණ බවට. එයට එම ප්‍රදේශයේ සේවය ලබාදෙන පවුල් සෞඛ්‍ය සේවිකාවගේ දැඩි කැපවීමක් ලැබී තිබුණා.
ඇත්තටම වතුකරයේ කාන්තාවන්ගේ දරුවන්ට මවුකිරි ලබාදීම වෙනුවෙන් වන වැඩපිළිවෙළට වතු පාලන අධිකාරියේ සහය අවශ්‍යයි. හැමෝම එකතු වෙලා වැඩ කළහොත් වතුවල පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථාන මවුකිරි ලබාදීමේ පහසුකම් සහිත ස්ථාන බවට පත්කළ හැකියි. වතුකරයේ කාන්තාවන්ගේ මවුකිරි ලබාදීමේ ප්‍රතිශතය අපිට මේ අනුව වර්ධනය කරගත හැකියි.
විශේෂයෙන් දරුවාට මවුකිරි ලබාගැනීම වෙනුවෙනුත් මවකට තමන්ගේ දරුවාට මවුකිරි ලබාදීම වෙනුවෙනුත් වන අයිතිවාසිකම පිළිබඳ ඔවුන්ට දැනුමක් පවතිනවා නම් මේ තත්ත්වය තවදුරටත් යහපත් කරගත හැකියි. මොකද වතුකර කාන්තාවන් තමන්ට මේ සඳහා තිබෙන පහසුකම් හා අයිතිය පිළිබඳවත් දැනුවත් නැහැ. විශේෂයෙන් ඔවුන්ට සති 12ක ප්‍රසූත නිවාඩු තිබියදී ඔවුන් සති 7ක් වෙද්දී වැඩට යන්නේ ඇයි? එහෙම වෙන්නේ ඔවුන් ප්‍රසූතියට පෙර වැටුප් ලබාගෙන ඒවා වියදම් කරගන්න නිසයි.
ප්‍රසූත නිවාඩු කාලය වෙනුවෙන් ලැබෙන මුදල් කල්තියා වියදම් කරගත්තට පසු ඇතිවන ආර්ථික අපහසුතා නිසා ඔවුන් නිවාඩු කාලය අවසන්වීමට පෙර නැවත වත්තට එනවා වැඩකරන්න. ඒ වගේම ඔවුන්ට සති 12න් පසුව මවුකිරි දීමට සේවා කාලය ඇතුළත විවේක කාලයන් හිමිකර දී තිබෙනවා. නමුත් තමන්ට පැය 2 ½කට වරක් මෙම කිරි විවේකය හිමියි කියලා මේ මවුවරු දන්නේ නැහැ. ඒ වගේම මේ කිරි විවේකය දරුවාට අවුරුද්දක් පිරෙනකන් ගන්න පුළුවන් කියලත් අම්මලා දන්නේ නැහැ.
අනිත් එක තමයි දිවා සුරැකුම් මධ්‍යස්ථානය අවට දලු කඩන්නට යොදවන ලෙස වතු හිමියන්ගෙන් හා පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කරන්නට ඔවුන්ට අයිතියක් තිබෙන බව ඔවුන් දන්නේ නැහැ.
ඉතින් ඔවුන්ට තිබෙන අයිතිවාසිකම් ගැන අපි දැනුම්වත් කරනවා නම් මවුකිරි දීමේ අයිතිය සුරක්ෂිත කළ හැකියි.
පාර්ලිමේන්තුවෙන් මොවුන්ගේ අයිතිවාසිකම් ස්ථාපිත කළ 2015 පනතේ දක්වා තිබෙනවා මෙකී පහසුකම් පළමු දරුවන් දෙදෙනාට පමණක් නොවෙයි සියලුම දරුවන්ට හිමිවිය යුතුයි කියලා. ඉතින් අවශ්‍ය වන්නේ මේ පනතට අනුව හිමි දේවල් ක්‍රියාත්මක කිරීමයි. මේ නිසයි අපි මෙවර ජාතික මවුකිරි සතියේදී මවුවරුන්ට හිමි අයිතිවාසිකම් පිළිබඳ දැනුම්වත් කරන අත්පත්‍රිකා වතුකරයේ මවුවරුන් වෙත ලබා දීමට කටයුතු කළේ.
ඉතින් අපිට මේවා ගැන අම්මලා දැනුම්වත් කරලා රැකියාවට යන්න කළින් දරුවාට මවුකිරි දොවා ලබාදීම පිළිබඳ හුරුව ලබා දීම තුළින් අපිට සතුටින් වැඩකරන කාන්තාවන් පිරිසක් වගේම සතුටින් පිරුණු පවුලක් ගොඩනගාගත හැකියි. විශේෂයෙන් අනෙකුත් සේවා ස්ථානවල මේ පහසුකම් ලබා දෙන්නට දිවා සුරැකුම් මධ්‍යස්ථාන අලුතින් ගොඩනගන්න කියන ඉල්ලීම කරන්නට සිදුවුණත් වතුකරයේ එහෙම අවශ්‍යතාවක් නැගෙන්නේ නැහැ.
මොකද වතුකරයේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කරලයි තිබෙන්නේ. අවශ්‍ය වන්නේ ඒ තුළට මවුකිරි ලබාදීමේ පහසුකම් ස්ථාපිත කිරීම පමණයි. වතුකරයේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන 1574ක් තිබෙනවා. ඒ නිසා පහසුවෙන් මවුකිරි ලබා දීමේ පහසුකම් ඇතිකළ හැකියි.
විශේෂයෙන් මවකගේ දොවාගත් කිරි පැය හයක කාලයක් කාමර උෂ්ණත්වයේ තබාගෙන දරුවෙකුට දිය හැකියි කියන පණිවිඩය ලබා දෙන්නට පුළුවන් නම් දරුවාට මවුකිරි දීමේ කර්තව්‍ය සාර්ථකව සිදුකළ හැකියි.
එයට දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ළමුන් රැකබලා ගන්නා අයට දෙවූ මවුකිරි කෝප්පයක් මගින් දරුවාට පෙවීමට පුහුණුව ලබා දෙන්නේ නම් එය තවත් ප්‍රායෝගිකව සිදුකළ හැකියි. ඉතින් අපට අවශ්‍ය වන්නේ සියලු පාර්ශ්ව එක්වී මෙම කර්තව්‍යට සහයෝගය දැක්වීම පමණයි.''