රූපවාහිනී තිරයේ කිරුළ පැලඳි මොහොතින් පසුව Miss Asia 2015 වූ ඉන්දියානු යුවතිය කනිකා කපූර්ව අප නැවත දුටුවේ Shader mirror ආයතනය මගින් සංවිධානය කරන ලද විලාසිතා සංදර්ශනයකට සහභාගී වීම සඳහා සිය මවත් සමග ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවකදීය. ඉතා කාර්යබහුල මොහොතක වුවත් අප හා ඇඟේ සිහින පිළිබඳව කතා කිරීමට ඇය එකඟ වූයේ ඇඟේ සුරූපී මුහුණ වඩාත් කළඑළි කළ සිනහවක් සමගනි. සාමාජිකයන් සතර දෙනෙකු සිටින පවුලක වැඩිමහල් දියණිය වන කනිකා කුඩා අවධියේදී පශු වෛද්‍යවරියකද, විද්යාඥවරියකද වීමට සිහන දැක ඇති අතර, Miss Asia 2015 කිරුළ දිනාගෙන සිය සිහනවලින් එක් සිහිනයක් යථාර්ථයක් කරගැනීමට සමත්වූ විශේෂ යුවතියකි.
Q Miss Asia කිරුළ දිනූ අවස්ථාවේ දැනුණු හැඟීම් මතක් කළොත්?
මම ධනාත්මක චින්තනයේ බලය විශ්වාසය කරනවා. තරගය අතරතුරදීත් මම ජයග්‍රහණය කරනවා මම සිතින් මවා ගත්තා. මගේ ඇස් දෙක වහගත්තම මගේ හිස උඩ Miss Asia කිරුළ පලඳනවා මම දැක්කා. මම ආත්ම විශ්වාසයෙන් අපේක්ෂා කළා. ඔව් මට දිනන්න පුළුවන් කියලා. ඒ වුණත් ඒ මොහොත ඇත්තටම සිදුවෙනකොට තප්පරයකට විතර මට විශ්වාස කරන්න බැරිවුණා ඒක තමා යථාර්ථාය කියලා. මම කිරුළ ජයග්‍රහණය කළා කියලා අන්තිමට තේරුම් ගියාට පස්සෙ මම බොහොම සතුටු වුණා. මටත් වඩා සතුටු වුණේ මගේ අම්මා. සතුට වැඩිකමටම එයා ප්‍රේක්ෂකයන් අතර උඩ පැන්නා.
Q රූපරාජිනී තරගයකට පිවිසෙන්න හිතුවේ ඇයි?
මම පොඩි කාලේ බොහොම ලැජ්ජාශීලී ළමයෙක්. ඉස්කෝලෙදී මගේ ගුරුවරියක් මාව පොඩි සංදර්ශනයකට ඇතුළු කළා. ඒ අත්දැකීමයි, පොඩි කාලේ ඉඳලා රූපවාහිනී තිරයෙන් නරඹපු Miss Universe, Miss World වැනි තරග නිසා මම ගොඩක් දේ ඉගෙන ගත්තා. ඒ වගේ තරගවලට උනන්දු වෙන්න පටන් ගත්තා. ඉන්දියාවේ රූ රැජින තරගවලට ඇතුළු වෙන්න අවුරුදු 18 ක් පිරෙන්න ඕනි. අවුරුදු 18 වෙනකම් මම මගබලාගෙන හිටියා. මම මගේ විශ්වවිද්‍යාලයේ නාට්‍ය සංගමයේ ඉන්නවා. අපි නාට්‍යයක් රඟපාන්න මුම්බායි නගරයට ගිය අවස්ථාවක මම ඒවගේ තරගයක් දැකලා ඒ මොහොතෙම ඇතුළු වුණා. ඒ තරගය ජයග්‍රහණය කරලා තවත් තරග කිහිපයකට ඇතුළු වෙලා ඒවාත් ජයග්‍රහණය කළා. Miss Asia කියන්නේ මගේ 04 වැනි රූ රැජින තරගයයි.
Q ඔබ සහභාගී වුණ රූ රැජින තරග හතරින්ම ඔබ මොන වගේ දේවල් ඉගෙන ගත්තද?
ඒ තරග හතරම එකකට එකක් වෙනස් අත්දැකීම්. මගේ පළමු වැනි තරගය පළාත් මට්ටමෙන් පැවැත්වුණ එකක් නිසා මගේ පළාතේ ජීවත් වන ගැහැනු ළමයින් රැසක් මට හඳුනාගන්න පුළුවන් වුණා. ඉන්පසු තිබුණ තරගය උතුරු ඉන්දියානු පළාත් මට්ටමෙන් තිබුණේ. උතුරු ඉන්දියාව පුරාම සිටින ගැහැනු ළමයින් ඒ තරගයෙන් මට මුණගැහුණා. තුන්වැනි තරගය Miss India නිසා මගේ රටේ හැම දිශාවකම ජීවත්වෙන ගැහැනු ළමයින් රැසක් ඒ තරගයට සහභාගි වුණා. Miss Asia ආසියාවේ හැම රටකම සිටින ගැහැනු ළමයින් මුණගැසීමට අවස්ථාවක් මට ලබාදුන්නා.
මේ හැම තරගයක්ම මට ගොඩක් දේවල් ඉගැන්වුවා, සහභාගී වෙච්ච තරුණියන්ගෙන්. මම එයාලගේ සංස්කෘතිය, එයාලගේ පසුබිම්, ආකල්ප ගැන බොහොමයක් ඉගෙන ගත්තා. ඒ වගේම තරගය පුරාවටම අපට සංවිධායකවරු ගොඩක් දේ කියලා දුන්නා. හරියට කතා කරන හැටි, ඇවිදින හැටි, අපේ සෞඛ්‍ය හා යෝග්‍යතාව පවත්වාගෙන යන්න අවශ්‍ය දේවල් වැනි දේ බොහෝමයක් මම ඉගෙන ගත්තා. ඒ නිසාම ඒ අත්දැකීම ගොඩක් දුරට මම රස වින්දා.
Q ඔබ Miss Asia 2015 ලෙසට කිරුළු පැලඳුවා. ඒ වගේම ඔබ අවුරුදු 20 ක විශ්වවිද්‍යාලයීය සිසුවියක්. මේ චරිත දෙක සමබරව තියාගන්නේ කොහොමද?
ඔබට ඇත්තටම යමක් කිරීමට අවශ්‍යතාව තියනවා නම් ඔබට කෙසේ හෝ ඒ දෙය කිරීමට හැකියි. තමන්ගේ ජීවිතය සමබරව තියාගන්නට ඔබට අවශ්‍යතාව තියනවා නම් හැකියාවත් තිබෙනවා. මම මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ අවසාන අවුරුද්ද ගත කරන්නේ. මගේ අධ්‍යාපන කටයුතු ඉතාමත් පහසුවෙන් කරගෙන යනවා. මගේ නිරූපණ කටයුතුවලින් මගේ අධ්‍යාපනයට කිසිම බාධාවක් සිදුවෙලා නැහැ. මගේ විශ්වවිද්‍යාල විභාගවලට කලින් මම නිරූපණ කටයුතුවලින් විවේකයක් අරගෙන පාඩම් කරනවා. විභාගයට හොඳට මුහුණදෙන්න. මගේ විභාගවලින් මම හොඳ ප්‍රතිඵල ලබාගන්නවා. ඒ නිසා මට මගේ අධ්‍යාපන කටයුතුත්, නිරූපණ කටයුතුත් කිසිම ප්‍රශ්නයක් නැතිව සමබරව කරගෙන යන්න පුළුවන්කම තිබෙනවා.
Q ඔබගේ පවුලේ සාමාජිකයන්ගෙන් ඔබට මේතාක් දුරට ලැබී ඇති සහයෝගය ගැන කතා කළොත්?
මගේ පවුලේ සාමාජිකයන් හැම මොහොතකම මට සහයෝගය ලබාදුන්නා. මගේ පළමු වැනි තරගය මම ජයග්‍රහණය කළ මොහොතෙදී එයාලට විශ්වාස කරන්නත් බැරි වුණා මට ඒ වගේ තරගයකින් ජය ලබාගන්න පුළුවන් කියලා. ඒ වුණාට ඒ තරගයෙන් පස්සේ මට නිරූපණ ක්ෂේත්රයට පිවිසෙන්න ඕන කියලා කිව්වම එයාලා මට දිගටම සහයෝගය ලබාදුන්නා. මගේ අම්මා මාත් එක්ක හැම තැනටම එනවා. මගේ වෙනත් ඡායාරූප, පටිගත කිරීම්, සංදර්ශනවලටත් මගේ පවුලේ සාමාජිකයන්ගෙන් එක් අයෙක් හරි හැමදාම එනවා.
Q Miss Asia කිරුළ දිනුවාට පසු ඔබට පැවරුණු වගකීම් මොනවද?
තරගය දිනුවාට පස්සේ පොඩි ගැහැනු ළමයි ගොඩක් මාව ආදර්ශයට ගන්න පටන් ගත්තා. මට වගකීමක් තියෙනවා ඒ අයට මම දෙන පණිවිඩය හරි එකක් කරන්න. මම දන්නවා ලස්සන කියන්නේ මතුපිටින් තියෙන දෙයක් කියලා. අපේ ලස්සනට වඩා වැඩි දෙයක් අපි හැමදෙනා ගාවම තියෙනවා. මට ඕන ඒ පණිවිඩය හැමදෙනාටම දෙන්න අපි ලස්සනට ඔබ්බෙන් යනවා කියන්න.අපි හරියට පොත් වගේයි. අපිට පොත්වලට වගේම කවර තියෙනවා. අපේ ලස්සන කියන්න අපේ කවරය විතරයි. ඒ වුණාට අපේ කතාව, අපි ඇතුළේ තියෙන දේවල්, ඒවා තමා අපිට අනිත් අයගෙන් වෙන්කරලා පෙන්වන්නේ.
Q ආසියාතික යුවතියක් ලෙස ආසියාතික කාන්තාවන්ට ලැබෙන නිදහස සහ අයිතිවාසිකම් පිළිබඳව ඔබගේ අදහස් මොනවද?
ආසියාතික යුවතියක් හැටියට මම හිතන්නේ බටහිර රටවල් අපිට වඩා ටිකක් ඉදිරියෙන් හිටියත් ආසියාතික කාන්තාවන්ට ගොඩක් නිදහස හා අයිතිවාසිකම් ලැබී තිබෙනවා. බටහිර රටවල් තාක්ෂණයෙන් දියුණු වුණාට අපි පෙරදිග හා බටහිර රටවල් දෙක අතර ඉතා හොඳින් සමබරව ඉන්නවා. අපිට අපි කැමති ඕනෑම ක්ෂේත්රයකින් ඉදිරියට යන්න නිදහසක්, අපේම මත දරන්නටත් නිදහස සහ අයිතිය තිබෙනවා.
Q ඔබ හිතන්නේ කාන්තාවන් සාම්ප්‍රදායික විය යුතුද?
ඇයට ඇය පිළිබඳව ආත්ම විශ්වාසයක් හා පහසුවක් තිබෙනවා නම් එයයි වඩාත් වැදගත් දෙය. සාම්ප්‍රදායික කියන වචනය එක් එක්කෙනාට අනුව වෙනස් අර්ථ ගන්නවා. ඔබට සාම්ප්‍රදායික ලෙස ජීවත් වීමට අවශ්‍ය නැතිනම්, ඔබ එසේ ජීවත් විය යුතු නැහැ. ඔබ ඔබගේ ජීවිතය පිළිබඳව සතුටින්. සමබරව පවත්වාගෙන හෘද සාක්ෂියට අනුව ජීවත් වෙනවා නම් එයයි වැදගත්.
Q ශ්‍රී ලාංකික කාන්තාවන්ට උදාවන 2016 නව වසරට ඔබ ලබාදෙන පණිවිඩය කුමක්ද?
කිසිම දෙයක් කිරීමට අපහසු නැහැ. ඒ නිසා ලොකු සිහින දකින්න බිය වෙන්න එපා. ඔබගේ සිහින හඹා යන්න බිය වෙන්නත්, පැකිලෙන්නත් එපා. හරි මොහොත එනකම් බලාගෙන ඉන්නත් එපා. හරි මොහොත කියන්නේ මේ මොහොතයි.
Q Miss Asia ගේ අනාගත සැලසුම් මොනවාද?
මම තවමත් මගේ අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට තිබෙනවා. ඉන් පසුව සමහර විට රංගනයට හරි සංගීතයට හරි වෙන දෙයකට හරි අවධානය යොමුකරනවා. මට ගොඩක් සිහින තිබෙනවා. ඒ නිසා හරියටම දෙයක් කියන්න බැහැ.
ගයාත්‍රි කොතලාවල / ඡායාරූප - දිෂ්ණ ධර්මරත්ණ