මේ වනවිට ලංකාවේ සිටින වයස්ගතම මාතාව කෑගල්ලේ ජීවත් වෙයි. ඇය සතුව පවතින ජාතික හැඳුනුම්පත අනුව බලන විට මෙම මාතාවගේ වයස්ගතම මාතාව හැටියට නම් කිරීමට හැකිවන්නේ මෙවැනි වයස් කාණ්ඩවල පසුවන බොහෝ දෙනෙකුට ජාතික හැඳුනුම්පත හෝ නොමැතිකම හේතුවෙනි. තවද ඇය ලංකාවේ පැවැති සමස්ත ලංකා ප්රවීණයන්ගේ ක්‍රීඩා උලෙළේ 110 සහ 115 අතර වයස් කාණ්ඩවලින් පැවැත්වූ හෙල්ල සහ යගුලිය දැමීමේ ඉසව්වලින් ගිනස් වාර්තාවකට පවා හිමිකම් කියන ලෝකයට තම අභිමානය රැගෙන ගිය මාතාවකි.
ඇය පිළිබඳව අප කතා කරන ලද්දේ 2014 වසරේදී එවිට ඇයට වයස 112 කි. නමුත් මේ වසරේ ජුනි මාසයේ ඇයගේ වයස 114 ක් වන අතර, ඇය තාමත් නිරෝගී සුවයෙන් කාලය ගතකරමින් පසුවෙන අකාරය ඇය බැලීමට ගිය පසුගිය දිනක අපටද දැකගත හැකි විය. මේ වනවිට ඇය පදිංචිව සිටින්නේ අරණායක ගැවිලිපිටිය ග්රාමයේය.
මෙ මාතාව ඉපදී ඇත්තේ 1902 / 06 / 04 දිනයේදීය. නමින් පේඩිගේ අනුලාවතී ලෙස හැඳින්වුවද මුල් කාලයේ ඇගේ නම 'කිරි උක්කු' නම් වන බව ඇය පවසයි. 2014 වසරේ ප්රවීණයන්ගේ ක්‍රීඩා උලෙළට කිරි උක්කු මාතාව ගිනස් වාර්තාවක් පිහිටවන්නට පුරුදු පුහුණු කරන ලද ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති ආර්.ඒ. ගාමිණී රණසිංහ මහතා ඇය පිළිබඳ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලට එම දිනයේ පවසා සිටියේ මෙවැනි කතාවකි.
“මෙම ක්‍රීඩිකාව වයස වැඩිම ක්‍රීඩිකාව ලෙස යගුලිය හා හෙල්ල විසිකිරීම යන ක්‍රීඩා ඔස්සේ නව ගිනස් වාර්තාව තබනවා. මෙම ක්‍රීඩිකාව ඇස් පෙනීම අතින් තරමක දුර්වලතාවක් පෙන්නුම් කළද, අනිකුත් ශාරීරික සෞඛ්‍ය දත්ත අනුව නම් 100%ක් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් ඇය පසුවෙනවා. ඒ වෛද්‍ය වාර්තා පරීක්ෂා කරලයි මෙම ක්‍රීඩා උලෙළට අපි මේ මාතාව සහභාගි කරවන්නට කල්පනා කළේ. ඒ අනුව සතියකට දින දෙක බැගින් ඇගේ නිවසට ගොස් මාස දෙකක පුහුණු වීම් සිදුකළා. ඇයට හා පවුලේ අයට කරදරයක් වන නිසා දවසකට විනාඩි 20 - 25 ක පමණ කාලයක් තමයි යොදාගත්තේ. ගොඩාක් මහන්සි කෙරෙව්වෙත් නැහැ. ක්‍රීඩා පිටියකට එන්න කිව්වා නම් පවුලේ අයට කරදර වෙන නිසා එහෙම කළෙත් නැහැ.
ඇයද ඒ ඉසව් පුහුණුවීම් ලබන්නට ආශාවෙන් ඉදිරිපත් වුණා විතරක් නෙවෙයි. එම ක්‍රීඩා කටයුතු දිගින් දිගටම කරන්න ඇය ආශාවෙන් ඉන්නේ. මේ තරගයට පවා ඇය සන්තෝෂයෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. පවුලේ අයගෙනුත් මෙ සඳහා ලොකු ශක්තියක් ලැබුණා. දැනට පවුලෙත් පරම්පරා හතරක විතර අය ඉන්නවා.
මෙම ක්‍රීඩා උලෙළේ ගිනස් වාර්තාවක් තියන නිසාම මම මේ හෙල්ල සහ යගුලිය පිටරටින් ගෙන්නුවා. ඒවා විශේෂ බරකින් යුක්තයි. හෙල්ල ග්‍රෑම් 500 ක් හා යගුලිය කිලෝ තුනකින් යුක්ත වනවා. ඒ වගේම කියන්න ඕනෑ ලෝකයේ කිසිදු රටකින් අවුරුදු 111 හා 112 ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදිලා නැහැ. ඒ නිසා අපි ගිනස් වාර්තාවට දැන්නුවා. ඒ අනුව අපට එහෙන් නීතිරිති වගයක් කිව්වා. ඒ අනුව මෙම තරග තියලා අපි ගිනස් වාර්තාවට එය සනාථ කරන සත්‍ය තොරතුරු හා ලිපිලේඛන අරිනවා. ඒ සඳහා මෙහි ප්‍රධානීන් සූදානමින් සිටිනවා. කෑගල්ල දිස්ත්‍රික්කයටත්, මුළුමහත් ලංකාවටත් මේක ලොකු ආඩම්බරයක්. අපේ කාන්තාවක් ලෝකයේ ගිනස් වාර්තාවකට හිමිකම් කියනවා" යැයි පැවසීය.
පසුගියදා ඇගේ සුවදුක් විමසන්නට අප එහි ගිය මොහොතේ ඇය තමන්ගේ මතකයන් අප සමග පැවසුයේ මෙසේය.
“මගේ දැන් නම අනුලාවතී. මේ නම වෙනස් කළේ මම තරුණ කාලයේ. කෑගල්ලේ ඩිස්පෙන්සරියක් තිබුණා, ඒකෙ වැඩ කරන්න ගියාට පස්සෙ මගේ නම හොඳ නැහැ කියලා තමයි වෙනස් කළේ. නැත්නම් මගේ මුල් නම කිරි උක්කු. ඩිස්පෙන්සරියට එන ලෙඩ්ඩුන්ට උපස්ථාන කරන්න, බෙහෙත් කලවම් කරන්න වගේ දේවල් තමයි මට තිබ්බෙ. සමහර වෙලාවට රෝගීන්ගේ කැතකුණු අදින්න පවා වෙනවා. මාසයම වැඩ කරපුවාම වැටුප රුපියල් 10 ක් තමයි හම්බ වෙන්නේ.
ඉස්කෝලෙ ගියේ තල්ගමුව පාසලට. ඒ දවස්වල ආගම්කාර පාසල් තමයි තිබුණෙ. තල්ගමුව ඉස්කෝලයත් එහෙමයි. ළමයි සියයක් විතර හිටියා. එක දවසක් ආගමේ මහත්තයෙක් ඇවිල්ලා ආගම කියලා දෙනවා. අනික් දවස්වලට ඉගෙනගන්නවා. ඉස්කෝලෙ යන්නෙ ගෙදර ඉඳලා පයින්ම තමයි. මොකද ඒ දවස්වල බස් තිබුණෙ නැහැ. මිනිස්සු ගමන් ගියේ කරත්තවලින්. අශ්ව කරත්තත් තිබුණා. ඒවාගේ ගොඩාක් වෙලාවට සුද්දො තමයි ගමන් ගියේ. ඒ දවස්වල ගම්වල දුරයලා කියලා කට්ටියක් හිටියා. මුලාදෑනියෝ කියලත් කට්ටියක් හිටියා මතකයි. සමහර දේවල් මට මතක නැහැ.
ඉස්සර අඹදෙනිවත්තේ සුදු මහත්වරු දෙදෙනෙක් හිටියා. එයාලා තමයි තේ වත්ත වැඩ කරන අය බැලුවේ. සුදු මහත්තයා එනකොට බල්ලො රෑනකුත් එනවා. උන් ටික සුදු මහත්තයා පස්සෙමයි. අපට එයා කියන දේවල් තේරෙන්නෙ නැහැ. ඔය අත්දෙක එහාට මෙහාට කරලා සමහර දේවල් කියනකොට අපි තේරුම්ගන්නවා. අපිත් එක්ක හිටපු ගමේ කෙනෙකුට සුද්දා කියන දේවල් තේරුම්ගන්න පුළුවන් තේරුමක් තිබුණා. එයා අපට සුදු මහත්වරු කියන දේවල් කියනවා. අපට සුදු මහත්වරුන්ගේ වත්තෙ වැඩ කරපුවාම එක් අයෙකුට දවසේ පඩිය රු 1.25 යි.
ඒ දවස්වල කෑම ජාති ඕනෑ තරම්. ලස්සන මල් වැටෙන ඉරිඟු හා තිරිගු, කුරහන්, මුං ඒ වාගේම කෑලෑ දෙල් ඇට අපි කන්න හරි කැමතියි. කිතුල් පිටි පැණි එක්ක කෑවා. ඒ දවස්වල අපි ගොඩක් වෙලාවට බෙහෙත් ගන්නෙ ගමේ වෙද්දුන්ගෙන්. ඒ දවස්වල පාවට්ටා මුල් කොහොඹ පොතු කොහොඹ මුල් තමයි අපේ දෙමාපියෝ අපට තම්බලා දෙන්නේ. බෝවෙන රෝගවලටත් බෙහෙත් තිබුණා සිංහල වෙද්දු ගාව. මහන්සි වෙලා වැඩ කරන නිසා ඒ කාලේ ලෙඩත් අඩුයි."
ඇය විවාහ වී ඇත්තේ පී.ජි සේතුවා සමගිනි. අනුලාවතී නොහොත් කිරි උක්කු අම්මාට දරුවන් පස් දෙනෙකු වන අතර, පිරිමි දරුවන් දෙදෙනෙකු හා ගැහැනු දරුවන් තිදෙනෙකු වෙයි. මෙහි වැඩිමහල් පිරිමි දරුවා වන එස්.පී. රෙමන් ගුණවර්ධනට වයස 82 ක් වන අතර, මේ වනවිට සිවු මුණුපුරන් දැක ඇති ඇයගේ පවුලේ සමාජික සංඛ්‍යාව 120 ට වැඩි බවද සඳහන්ය. තම ස්වාමියා මල් වෙඩි කර්මාන්තයේ නියැළුණු අතර ඒ සඳහා විශාල ඉල්ලූමක්ද තිබූ බව ඇය සිහිපත් කරයි.
"ඒ දවස්වල තිබ්බ හොඳ දේවල් අද නැහැ. ඉස්සර හාමුදුරුවන්ට වගේම අපේ අත්තම්මලාටත් හොඳට බණ කියන්න පුළුවන්. දෙවනගල ගියාම අපි අත්තම්මලා එක්ක සිල් අරන් උදේ තමයි එන්නේ. මට පාලි වගේම සතිපට්ඨානය හොඳට කියන්න පුළුවන්. දැන් ටිකක් ඇස් පෙනුම මඳ නිසා පොත්පත් කියවන්නේ නැහැ. අකුරු ලියන්න බැරිකමකුත් නැහැ.
ඉස්සර ගොවිතැන් කරනකොට හරකා හරි ආසයි අඬහැරයට. ඉතින් අපේ තාත්තලා අඬහැර පානවා අහගෙන ඉඳලා අපටත් පුළුවන් අඬහැරය පාන්න. හරක් හරි ආසයි අඬහැරය අහන්න. ඉතින් අඬහැරය පාලා හරියට හරකුන්ගෙන් වැඩ ගන්න පුළුවන්. අද ඒවා නැහැ.ඒ වගේම තමයි අලියා ආසයිලු බටනළාවට. බටනළාව ගහලා අලියාගෙනුත් ඕනෑ වැඩක් ඕනෑ දිහාක ගිහින් රෑ වෙනකම් හරි වැඩ ගන්න පුළුවන් කියලා අපි දන්නවා.
අද ළමයි වී ඇට තලලා හාල් කරලා කන්න බොන්න හදන හැටි දන්නේ නැහැ. ඒ දවස්වල කොලදිම් පවා කරනකොට නැකත්වලටයි කරන්නේ. බහිරව පූජා පවා තියන්න ඕනෑ. නැත්නම් වී බුසල් මෙච්චර තියනවා කියලා ගෙදර යනවාලු පහුවදා ඇවිත් බලපුවාම අනේ අඩු වෙලාලු. ඒ දවස්වල මේවා හරියට තිබුණා" යනුවෙන්ද ඇය කියා සිටියාය.
අවසාන වශයෙන් අපද ප්‍රාර්ථනා කරන්නේ සිය 112 වැනි උපන් දිනය සමරා ගිනස් වාර්තාව තැබූ මෙම මාතාවට තවත් බොහෝ දේ කරන්නට තවත් නොබෝ දිනකින් 114 වැනි උපන් දිනය සමරනවා සේම තවත් ආයු ලැබේවායි යනුවෙනි.
සමන් විජය බණ්ඩාර - හෙම්මාතගම