වසර 150කට පමණ පෙර මෙරට වගා කොට පසුව අත්හැර දමන ලද සිංකෝනා (cinchona officinalis) ශාකයේ හොදින් වැඩුණු ගස් කීපයක් හැටන්, අඹගමුව, උනනගල නොහොත් අලියාගල කඳු පන්තියේ බස්නාහිර බෑවුම් ප්‍රදේශයේ තිබියදී සොයා ගැනීමට හැකි වූ බව පරිසරවේදී ලක්ෂමන් කුමාර මහතා පවසයි.
වර්තමානයේ ශ්‍රී ලංකාවාසීන්ගෙන් සියයට අනුවක් පමණ දෙනා නොදන්නා වර්ෂ 1861දී නුවරඑළිය, හග්ගල උද්භිද උද්‍යානය සහ ඒ ආශ්රිත ප්‍රදේශවල පළමුව වගා කරන ලද රතු පොත්ත සහිත සිංකෝනා ශාකය පසුව මෙරටින් වඳවීයාමට ලක්වූ බවත්, මේ වනවිට පහසුවෙන් දැක ගත හැකිව ඇත්තේ හග්ගල උද්භිද උද්‍යානයේ දැනට සංරක්ෂණය කොට ඇති සිංකෝනා ශාකය පමණක් බව කුමාර මහතා කීය.
හග්ගල උද්භිද උද්‍යානයේ පිහිටි සිංකෝනා ශාකයට අමතරව අද රට තුල ඇති බවට හඳුනාගෙන ඇත්තේ ඉතාමත් සීමිත සිංකෝනා ගස් කීපයක් බවත්, මේ වනවිට ශ්‍රී පාද රක්ෂිතය, සාමිමලේ (අප්කට්), උඩුපුස්සැල්ලාව, රිවස්ටන්, කෝබට්ස් ගැප්, නාරංගල, කඳපොල ආදී ප්‍රදේශවල සිංකෝනා ශාක නිදර්ශණ කීපයක් ඇති බවද කුමාර මහතා පැවැසීය.
උනනගල කඳු පන්තයේ තමන් ඇතුළු සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගියදා සිදු කරන ක්ෂේත්‍ර ගවේෂණයේදී මුහුදු මට්ටමේ සිට මීටර් 742ක උසකදී හොදින් වැඩුණු ඉතාමත් නිරෝගී සිංකෝනා ගස් හයක් හමු වූ බවත්, වැඩි අවධානයකට ලක් නොවුණු සිංකෝනා ශාක ගොන්නක දර්ශීයව ක්ශේෂ වී ඇති එකම ශාක ගහනය මෙය විය හැකි බවද කුමාර මහතා සඳහන් කරයි.
සුදු අධිරාජ්‍යවාදීන් ආර්ථික භෝග වගාවක් ලෙස වර්ෂ 1861දී මෙරටට හඳුන්වාදුන් සිංකෝනා ශාකය නුවරඑළිය, හග්ගල ප්‍රදේශය ආශ්‍රිතව පළමුව වගා කරන ලද බවත්, මැලේරියාව සඳහා නිෂ්පාදනය කරන ලද ප්‍රධාන ඖෂධය වන ක්විනීන් (guinine) සැකසීම උදෙසා මෙය භාවිතා කොට ඇති බවද කුමාර මහතා කීය.
ද්විතීක වනාන්තර වර්ධනය සහ ආක්‍රමණය තුල තවදුරටත් තමාගේ වර්ගයා පවත්වාගෙන යෑම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවූවත්, වසර එකසිය පමණහකට වඩා පැරණි අවසන් වගාවේ සිංකෝනා ශාක නිදර්ශකයන් කීපයක් මෙසේ හමුවීම ඉතාමත් සතුටුදායක මෙන්ම අතිශය දුර්ලභ ක්‍රියාවක් බව පරිසරවේදී ලක්ෂමන් කුමාර මහතා වැඩිදුරටත් පැවැසීය.
ශාන් හුලංනුගේ


පින්තූර- උනනගල කඳු වැටියෙන් හමු වූ සිංකෝනා ගස් හා පරිසරවේදී ලක්ෂමන් කුමාර මහතා