යකඩ සමග ඔට්ටු අල්ලන සමන්ති
බෙලිඅත්ත අගුල්මඩුව විදුහලෙන් අධ්‍යාපනය හදාරා සාමාන්‍ය පෙළ විභාගය සමත් වූවායින් පසුව රැකියාවක් සොයමින් කල්ගත කරනු වෙනුවට ඇය තෝරා ගත්තේ රළු යකඩ ගොඩවල් සමග පොර බදිමින් තම ජීවිතය ජය ගන්නට වෙර වීරිය දරන අපූරු රැකියාවකි. ඒ මෝටර් රථ යාන්ත්‍රික කර්මාන්තයයි. දැනට 38 වැනි වියේ පසුවන ඇය නමින් සමන්ති රත්නසිංහ නම් වේ.
ඇය ඒ සම්බන්ධව අදහස් දක්වමින් "මට අවුරුදු 18 විතර කාලෙදි විතර මම අපේ ගම කිට්ටුව තිබුණ නෑදෑ කෙනෙකුගේ ගරාජයට ගිහිල්ලා ඒ වැඩකටයුතු වලට උදව් වෙලා මේ ශිල්පය පිළිබඳ හොඳට ඉගෙන ගත්තා. ඉන් පස්සෙ කාලය ගතවෙලා යද්දි දැන් මගේම කියලා ගරාජයක් ආරම්භ කළා. දැන් මේ වෙනකොට මට පුළුවන් විදුලි බලයෙන් හෝ ඔක්සිජන් මගින් කෙරෙන ඕනෑම පෑස්සුම් වැඩකටයුත්තක් කරන්න. යකඩ, වානේ, ඇලුමිනියම්, පිත්තල, පිටුටර් ආදී ඕනෑම ලෝහයක් පාස්සන්න මට පුළුවන්. ඒ වගේම ටින්කර් වැඩ, පේන්ට් වැඩ, මෝටර් මැකනික් වැඩ ආදී ඒ සියලු දේත් මට කරන්න පුළුවන්.
මගේ මේ ගරාජයට ගෙනෙන ඕනෑම පැරණි හෝ නවීන පන්නයේ මෝටර් වාහනයක ක්රියාකාරීත්වයේ තිබෙන ඕනෑම ගැටලුවක්, දුර්වලතාවයක් හඳුනාගෙන ඊට පිළියම් යොදන්න මට හැකියාවක් තියෙනවා. ඒ විතරක් නොවෙයි, ඇණ මුරිච්චිවල ඉඳලා එන්ජිමක් ඇතුළෙ තියෙන ඕනෑම දෙයක් ගලවලා නැවත තිබූ තත්ත්වයට හරිගස්සලා දෙන්න මට පුළුවන්.
මම දැන් මේ ගරාජය පවත්වාගෙන යන්නේ හම්බන්තොට පැරිණි තිස්ස පාරේ උසාවිය අසල ස්ථානයකයි. දැන් ඉන්න සමහර තරුණියෝ හිතනවා මේ වගේ වැඩ කාන්තා අපට කරන්න බැහැ කියලා. ඒත් අපේ හිත හොඳට ශක්තිමත් නම් අධිෂ්ඨානයත්, උත්සාහයත්, කැපවීමත් තියෙනවනම් කරන්න බැරි දෙයක් නැහැ කියලා මේ අවස්ථාවේ කියන්න මම කැමතියි" යනුවෙන් පැවසුවාය.
.jpg)
ඇයගේ ලිපිනය - 3/බී, ගල්වල පාර, හම්බන්තොට
හම්බන්තොට රෝහණ ආරියරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
