නිරූපන ශිල්පිනියක තම සිරුරේ මනා හැඩය පවත්වා ගැනීම වෙනුවෙන් පාරක දිවීම හෝ ඇවිදීම සාමාන්‍ය තත්ත්වයක්. ඇමෙරිකාවේ සුපිරි නිරූපිකාවක වන ක්‍රිස්ටි ටර්ලින්ග්ටන්ට නම් එය සමාජ සද්කාර්යයක්. ඒ ඇය සැතපුම් ගණනක් දිවයමින් වසරකට ලොව සිදුවන ලක්ෂ තුනකට අධික මාතෘ මරණ අඩුකර ගැනීම සඳහා ලෝකයේම අවධානය යොමුකරවන බැවිනි. ක්‍රිස්ටි පසුගිය සඳුදා දින බොස්ටන් මැරතන් තරගයට එක්වූවේද සැතපුම් 26ක් දිවයමින් තම සමාජ මෙහෙවර දියත් කිරීම වෙනුවෙනි.
මෙලෙස තමන් ලෝකයේම අවධානය යොමුකරමින් දෙපා තබන්නේ වසරකට ලොව සිදුවන ලක්ෂ තුනකට අධික මාතෘ මරණ අඩු කර ගැනීම සඳහා දුප්පත් රටවල්වලට ආධාර කිරීමට අරමුදල් එක්කිරීම වෙනුවෙන් බව ක්‍රිස්ටි මාධ්‍ය වෙත පවසා තිබුණා. 90 දශකයේ ඇමෙරිකාවේ සුපිරි නිරූපිකාවක වූ ක්‍රිස්ටි මේ වන විට 47 වැනි වියේ පසුවෙයි. ඇය මාතෘ මරණ වළක්වා ගැනීම වෙනුවෙන් මෙලෙස මෙහෙවරක යෙදීම කෙරෙහිද පසුබිම් වූ කතාවක් වෙයි. එනම් ක්‍රිස්ටි 2003 වර්ෂයේ සිය දෙවැනි දරු ප්‍රසූතියේදී ජීවිතයත් මරණයත් අතර ප්‍රබල සටනක යෙදී තිබීමයි.
මවක් දරුවකු ප්‍රසූත කළ පසු ඇයට ශක්තියක් වන්නට සිටි වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම ඉවත්ව ගොස් පැයකින් හෝ පැය දෙකකට පසුව හෝ මවක් මරණය කරා රැගෙන යන අයුරේ ලේ ගැලීමක් සිදුවිය හැකි බවත් එවැනි අවාසනාවන්ත තත්ත්වයකට ගොදුරුවුවද තම ජීවිතය රැකගැනීම වෙනුවෙන් ඇමෙරිකානු වෛද්‍යවරු ගත් උත්සාහය සාර්ථක වූ බවත් පවසන ක්‍රිස්ටි තවදුරටත් සඳහන් කරන්නේ තමාට එම පහසුකම් ලැබුණද දුගී රටවල එම පහසුකම් නොලැබීමෙන් බොහෝ මව්වරුන් මිය යන බවයි.
මේ අනුව ලොව පුරා සිදුවන මාතෘ මරණයන්ගෙන් 90% ක් පමණ වළක්වා ගත හැකි බවට දැනගන්නා ක්‍රිස්ටි සමාජ සේවිකාවක ලෙස ලොව පුරා දුගී රාජ්‍යන් හි සංචාරය කරමින් මාතෘ සෞඛය ප්‍රවර්ධනයට ඇප කැප වී සේවයේ යෙදෙයි. තම සමාජ සද්කාර්යයන් ආරම්භයට ප්‍රථම ඇය ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය නිමකරනු ලබන අතර ඉන් ලද දැනුමද ඇය තම සමාජ සේවාවන් වෙනුවෙන් ප්‍රයෝජනයට ගනු ලබයි .ඇයගේ මෙම සමාජ සේවා හේතුවෙන් 2014 වර්ෂයේ ලොව බලවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ මුල් 100 දෙනා අතර ඇයගේ නමද ඇතුළත් විය.
එසේම 2013 වර්ෂයේ වසරේ කාන්තාවට හිමි glamorous සම්මානයෙන්ද ඇය පිදුම් ලැබුවාය. ඇය විසින් ආරම්භ කළ Every Mother Counts නම් ලාභ නොලබන සමාජසේවා පදනම හරහා මාතෘ සෞඛ්‍ය ඉහළ නැංවීම කෙරෙහි අරමුදල් රැස්කිරීම හා ලොව පුරා සමාජ සද්කාර සිදුකිරීම සිදුවෙයි. විශේෂයෙන් දකුණු සුඩානය, සියරාලියොන්, සෝමාලියාව, නයිජීරියාව, මොසැන්බිග්, ටැන්සානියා වැනි රටවල බහුල වශයෙන් ඇගේ සමාජ සද්කාර සේවාවන් පවත්වාගෙන යනු ලබයි.
2010 වර්ෂයේ ඇය විසින් මාතෘ මරණ වැළැක්වීම වෙනුවෙන් අධ්‍යක්ෂණය කරන ලද වාර්තාමය චිත්‍රපටය ලෙස No Woman, No Cry එළිදැක්වෙන අතර එයින් ටැන්සානියාව, බංග්ලාදේශය, ගෝතමාලාව හා ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල මාතෘ සෞඛ්‍ය පිළිබඳ හෙළිදරව්වක් සිදුකර ඇත. එම වාර්තාමය චිත්‍රපටය 2011 වර්ෂයේදී VH1 Do something සම්මාන උලෙළේ සම්මාන අතරට නිර්දේශ වී තිබිණ. 2011 වර්ෂයේ නිව්යෝක් සිටි මැරතන් තරගාවලියට සහභාගි වෙමින් ලෝක අවධානය මාතෘ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා යොමුකළ ක්‍රිස්ටි වාර්ෂිකව පැවැත්වෙන මැරතන් තරග සියල්ලකම පාහේ තම සමාජ මෙහෙවර ඉටුකරමින් සිටින්නීය.