මම විශ්වාස කරන දෙයක් තමයි හැම ගැහැනියක්ම රැජිනක්
'R.V. Entertainment' ආයතනය මගින් සංවිධානය කරන ලද ''2017 මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ්' තරගාවලියේ කිරුළ හිමිකරගත්තේ ශෙනාලි පෙරේරාය. ඇය මෙම කිරුළ දිනාගැනීමත් සමගම 'මිසිස් වර්ල්ඩ්' තරගාවලියට සුදුසුකම් ලබා ගත්තාය. ඇය මෙම කිරුළ හිමි කරගන්නේ සහභාගි වූ පළමු තරගයෙන් වීම විශේෂත්වයකි. ශෙනාලි අප සමග මෙසේ කතාබහකට එකතු වූවාය.
Q ඔබ ගැන විස්තරයක් කළොත්
මම ශෙනාලි පෙරේරා. මට අවුරුදු 23යි. මගේ සැමියා ලක්ෂාන් පෙරේරා. අපිට අවුරුද්දයි මාස 03ක බබෙක් ඉන්නවා. මම ඉගෙන ගත්තේ බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්. මම අවුරුදු 10ක් කුලසිරි බුදවත්ත සර් යටතේ නර්තනය හදාරලා තියෙනවා. පාසලේදී නර්තනය සහ ඉංග්‍රීසි නාට්‍යවලට සහභාගි වෙලා තියෙනවා. මම නාට්‍ය සම්බන්ධ උපාධියක් හදාරා තිබෙනවා.
Q මේ තරගාවලිය ගැන කතා කළොත්
මෙය 'මිසිස් ශ්‍රී ලංකා වර්ලඩ්' තරගාවලිය. රෝසි සේනානායක මහත්මියගෙන් පස්සේ නර්මදා යාපා මෙහි කිරුළ දිනා ගත්තා. ඊට පස්සේ 2017දී මම මෙහි කිරුළ දිනාගත්තා. මේක සංවිධානය කළේ %RV Entertainment^ ආයතනයේ වාසනා දන්තනාරායන. මේකට සහභාගි වෙන්න පුළුවන් අවුරුදු 18ත් 40ත් අතර විවාහක කාන්තාවන්ට.
Q මීට කලින් මෙවැනි තරග සඳහා සහභාගි වී තිබෙනවාද
නැහැ. මේක මගේ පළවෙනි තරගය.
Q පළමුවෙනි තරගයෙන් ජයග්‍රහණය කරනවා කියන්නේ ලොකු සතුටක්
ඔව්, ඇත්තටම මේකට අපි ගොඩක් මහන්සි වුණා. මේ තරගයේදී මම %මිස් බොඩි බියුටි^ සහ 'මිස් ෆොටෝ ජෙනික්' කියන අවස්ථා දෙකම ජයග්‍රහණය කරා. මේක නිකන් ලැබුණු දෙයක් නෙවෙයි. ඇත්තටම මම මේ සඳහා ලොකු කැපවීමකින්, උනන්දුවකින් වැඩ කළා. එයාලා දීපු උපදෙස් හොඳින් පිළිපැද්දා. ඇත්තටම ඒක නිසා වෙන්න ඇති මට මේක ජයග්‍රහණය කරන්න ලැබුණේ.
Q මේ තරගයට සහභාගි වෙන්න හිතුණේ ඇයි
ඇත්තටම මට පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබ්බා 'මිස් ශ්‍රී ලංකා^ තරගයකට සහභාගි වෙන්න. විශේෂයෙන් ජාත්‍යන්තරයට ගිහිල්ලා අපේ රටට කීර්තියක් ගෙනත් දෙන්න. නමුත් මට ඒකට මගේ විවාහයත් සමග හැකියාවක් ලැබුණේ නැහැ. ඊට පස්සේ මගේ සැමියා සහ ගෙදර අයගේ මගපෙන්වීම යටතේ තමයි මම මේකට සහභාගි වෙන්නේ.
Q මේ තරගයට සහභාගි වෙද්දී ගෙදරින් බලපෑමක් ඇති වුණේ නැද්ද
නැහැ, මම ඒ වෙද්දී විවාහ වෙලා හිටියේ. මගේ සැමියා පවා කැමති වුණා මම මේ වගේ තරගයකට සහභාගි වෙලා හැකියාවන් පෙන්වනවට. මගේ අම්මත් මට මේ සඳහා උදවු වුණා. මම නැති වෙලාවට බබාව බලාගෙන ඒ වැඩ කරන්නේ මගේ අම්මා. එයාලා කිව්ව එකම දේ තමයි තමන්ගේ සීමාව දැනගෙන වැඩ කරන්න කියලා.
Q ඔබ අසරණ ළමුන්ට උදව් කරනවා කියන්නේ ඇත්තද
ඔව්, මම අසරණ ළමයින්ට නොමිලේ අමතර පන්ති කරලා තියෙනවා. ඒ කාලේ මම හරි ආසාවෙන් එයාලට ඉගැන්වීම් කටයුතු කරා. මුදල් ගෙවලා පන්ති යන්න අපහසු අයට මම උදව් කරා. මේ වැඩත් එක්ක ඒවා ටිකක් නවත්තන්න වුණා. නමුත් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒ දේවල් නැවත පටන් ගන්න.
Q ඔබට රංගන ක්ෂේත්රයට ඒමට බලාපොරොත්තුවක් තියෙනවාද
එහෙම බලාපොරොත්තුවක් නැහැ. නමුත් මට රංගනයට ගොඩක් ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි මම ආසා කරන්නේ වෙළෙඳ දැන්වීම්, ෆොටෝ ෂූට් වගේ දේවල් කරන්න. මට පාසල් කාලෙදී රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලට ආරාධනා ලැබුණා. නමුත් පාසලෙන් ඒ දේවල්වලට අවසර දුන්නේ නැහැ.
Q මේ තරගයෙන් පස්සේ ඔබ 'මිසිස් වර්ල්ඩ්' තරගයට සුදුසුකම් ලබනවා නේද
ඔව්, 'මිසිස් වර්ල්ඩ්' තරගය සඳහා මම ලංකාව නියෝජනය කරන්නට සුදුසුකම් ලැබුවා. ඒක ගැන නිහතමානී සතුටක් මට තියෙනවා. දකුණු අප්‍රිකාවේ ජොහෑන්ස්බර්ග් නගරයේ තමයි ඒක පැවැත්වුණේ. දෙසැම්බර් 08 වැනිදා ඒ සඳහා පිටත්ව ගියා. ඒ පැජන්ට් එක තිබුණේ දෙසැම්බර් 16 වැනිදා. මෙවර රටවල් 40කට තරගය සීමා කරලා තිබුණා. මේ තරගාවලියේදී විවිධ තරග අංශ රැසක් තිබුණා. විශේෂයෙන් කියන්න ඕනේ බතික් අංශයකුත් මෙවර එකතු කරලා තිබුණා.
Q මේ ක්ෂේත්රයට ඉදිරියේදී පැමිණීමට බලාපොරොත්තු වන අයට මොනවාද කියන්න තියෙන්නේ
මම මේක කලිනුත් කියලා තියෙනවා. මම විශ්වාස කරන දෙයක් තමයි හැම ගැහැනියක්ම රැජිනක් කියන එක. ඇයට කරන්න බැරි දෙයක් නැහැ. කැපවීම හා ධෛර්යය තියෙනවා නම් ජීවිතේ ඕනම දෙයක් ජයගන්න පුළුවන්. ගොඩක් අය ළමයි හම්බුණාම හිතන දෙයක් තමයි මම දැන් කැතයි, මට දැන් මේ දේවල් බැහැ කියන දෙය. ඒත් එහෙම එකක් නැහැ. උත්සාහය තමයි වැදගත්. එන්න මේ දේවල්වලට, ඇවිත් අත්දැකීමක් ලබාගන්න. ඒ අත්දැකීමෙන් ජීවිතය අර්ථවත්ව ගතකරන්න කියන ඉල්ලීම මම කරනවා. අනිත් විශේෂ කාරණය තමයි තරග තෝරා ගනිද්දී තමන් තෝරාගන්නේ හරිම දෙයද කියලා හොයලා බලන්න. මොකද අද වෙද්දී මේ ක්ෂේත්‍රෙය් තරග වැහිවැහැලා තියෙනවා. තත්ත්වයෙන් බාල තරග ගොඩක් තියෙනවා. ඒ තරගවලින් එන ගොඩක් අයත් ක්ෂේත්රයේ ඉන්නවා. එතකොට අපිට තියෙන තැනත් නැතිවෙනවා යම් අවස්ථාවලදී. සමහර වෙලාවට අපෙනුත් අහනවා ඔයා මොන තරගේද කියලා. සමහර තරග තියෙනවා සල්ලි දීලා ඉදිරිපත් වෙන. නමුත් මට මේ තරගයට එන්න කිසිම මුදලක් අය කරේ නැහැ. තමන් සහභාගි වෙද්දී හොඳට තරගය ගැන හොයලා බලන්න කියන ඉල්ලීම අලුතින් එන්න බලාපොරොත්තු වෙන අයට කියනවා.
Q අද වෙද්දී තරග ගොඩක් තියෙනවා. ඒ තරග හා මේ තරගය අතර තියෙන ප්‍රමිතිය කොහොමද
ඇත්තටම ලෝකෙම පිළිගන්න, ලෝකෙම දන්න තරග තියෙන්නේ දෙකයි. ඒ තමයි 'මිස් වර්ල්ඩ්' සහ 'මිසිස් වර්ල්ඩ්' කියන දෙක. 'මිස් වර්ල්ඩ්' විවාහ නොවූ කාන්තාවන්ට, 'මිසිස් වර්ල්ඩ්' විවාහ වූ කාන්තාවන්ට. එයාලා එක් රටකින් එක් අයෙකුට නීත්‍යනුකූල අයිතිය පවරනවා ඒ තරගයට තරගකරුවන් සහභාගි කරවන්න. ඉතින් ජාත්‍යන්තරයෙන් 'නැෂනල් ඩිරෙක්ටර්' කියන ලයිසන් එක තියෙන්නේ වාසනා දන්තනාරායනට පමණයි. ඉතින් ඒක තමයි මේ තරගයේ තියෙන ප්‍රමිතිය. අනිත් එක තමයි 'මිසිස් වර්ල්ඩ්' කියන තරගාවලියට වෙබ් පේජ් එකක් තියෙනවා. ඒකේ තරගකරුවන් හැම කෙනාගෙම විස්තර තියෙනවා. ඒක තමයි මෙහි ඇති සුවිශේෂී ප්‍රමිතිය.
Q ඔබේ ඉදිරි බලාපොරොත්තු සහ වැඩකටයුතු ගැන පැවසුවොත්
මං විශ්වාස කරන දෙයක් තියෙනවා හොඳ දේවල් කරාම මිනිස්සුන්ගෙන් කිරුළක් ලැබෙනවා කියන එක. මේ හැමදේටම වඩා වටින්නේ ඒ දෙය. ඉතිං හොඳ බිරිඳක්, මවක්, රටට වැඩදායී කිරුළ හිමි කාන්තාවක් වෙන එක තමයි මම බලාපොරොත්තු වෙන එකම දෙය.
Q ඔබට මේ දේවල්වලට සහයෝගය දුන් අය ගැන මතක් කරමු
ඔව් විශේෂයෙන් මගේ සැමියා මට මේ සඳහා විශාල සහයෝගයක් ලබා දෙනවා. එතකොට අම්මා තාත්තා ඇතුළු ගෙදර හැම දෙනාම උදව් කරනවා. මගේ බබාව බලාගන්නෙත් එයාලා. එතකොට මගේ යාළුවෝ, මට මේ ක්ෂේත්රයට එන්න අත දුන් වාසනා දන්තනාරායන මිස්, රසික සර්, මිස්ට හර්ෂ(pegasus reef, waththala), දේදුණු මිස්, සමන්ත ගුණසේකර සර්, ජොනී ගුණසේකර, ශනික, මලීෂා, ඇතුළු මට උදව් කරපු හැමදෙනාටම මම ස්තුති කරනවා.
හැඩගැන්වීම - ඉයන් සංජීව ඩයස්
සටහන - කැලුම් දේවින්ද/ ඡායාරූප - සරසි නෙත්මිණි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



