බුදු පුදට ගෞරවයෙන් කරන රැකියාවක් මේක
මහියංගන චෛත්‍යරාජයා වැඳපුදා ගන්නට එන සැදැහැවතුන්ට වසර 16 කට ආසන්න කාලයක් තිස්සේ මල් අලෙවි කිරීමෙන් තම පවුලේ ආර්ථිකය සරි කරගන්නා දිරිය කාන්තාවක් පසුගියදා මහියංගණ චෛත්‍යරාජයා අභියස පිහිටි මකර තොරණ අසලදී අපට මුණගැසිණි.
මහියංගනයේ දීපිකා ජයන්ති හේවගේ මහත්මිය මේ දිරිය කාන්තාවයි.
බදුල්ලේ ප්‍රසිද්ධ පාසලකින් අපොස උසස්පෙළ දක්වා අධ්‍යාපනය හදාරා වාණිජ අංශයෙන් ඉතා උසස් ලෙස විභාගය සමත් වුවත් තමුන්ට ගැළපෙන රස්සාවක් නොලැබීම හේතුවෙන් මල් විකිණීමේ රස්සාව තෝරා ගත්බව ඇය අප සමග පැවසුවාය.
ඇය හුරතල් දියණියකගේ මවක්ද වන අතර,මෙම රැකියාව කොතෙක් දුෂ්කර වූවත් බුදු පුදට යන කෙනෙකුට මුදලට හෝ මලක් ලබාදෙන්නට අවස්ථාව ලැබීම පෙර පිනක් යැයි පවසන්නීය.
එහෙයින්ම වසර 16ක් තිස්සේ තමා මෙම රැකියාවේ නියැළෙන්නේ අපමණ ගෞරවයකින් මෙන්ම තෘප්තියකින් බවද ඇය පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දීපිකා,
''මම ඉගනගත්තේ බදුල්ල මහ විද්‍යාලයෙන්. වාණිජ අංශයෙන් අපොස උසස්පෙළ කළා . විභාගය හොඳට පාස් වුණා. රස්සාවක් ලැබුනෙත් නැහැ. මෙතන ඉන්න හොඳට ඉගන ගත්ත කෙනත් මම . හැබැයි එහෙම කියල මේ රස්සාව ගැන මට දුකක් නැහැ.
මම පාසැල් ජීවිතෙන් පස්සේ මෙහෙ තිබුන නැන්දගේ මල් කඩේ උදව්වට ආවේ. ඊට පස්සේ ටික කාලයක් යද්දී මටම කියල කඩයක් ලැබුනා.
වැව්වලින් කඩාගෙන එන ඕලු , නෙළුම් , නිල් මානෙල් වගේ මල් වර්ග තමා වැඩිපුරම විකුණන්නේ. ඉල්ලුම වැඩි ඒවට. මල් තියෙන කාලෙටනම් මලක් රුපියල් 4- 5ක් වෙනවා. අපිත් යම් ලාබයක් තියාගෙන විකුණනවා. මේ මල්වලට අමතරව දාස්පෙතියා, සමන් පිච්ච වගේ මල්වර්ගත්, හඳුන්කූරු, තිර පැකට් වගේ පූජාවට අවශ්‍ය අනෙක් දේවලුත් අපි විකුණනව.
ඒ වගේම මල් අඩු කාලෙට ගන්න විවේක වෙලාවල්වලදී වත්තේ මල් ටිකක් වවා ගන්නත් මම අමතක කරන්නේ නැහැ.
මල් විකුණන එක අනිත් වෙළඳාම් වගේ නෙමෙයි. බොහොම ගෞරවයකින් කරන්න ඕනි. මොකද මේ හැම මලක්ම ගෙනියන්නේ බුදු හාමුදුරුවන්ට. ඒ නිසා අපි අවැඩක් කළොත් ඒක අපිටත් හොඳ නැහැ. ඒ නිසා අපි මේ වෙළඳාම කරන්නේ හරිම ගෞරවයකින්.
පන්සල් යන අය වැඩියෙන්ම එන්නේ උදේටයි හවසටයි. ඒ නිසා උදේ හය හමාර හත වෙනකොට මම මෙතන්ට එනවා. ඊට පස්සේ හවස පහ හය වෙනකම් ඉන්නවා. පෝය දවස්වලට ලොකු වෙළඳාමක් තියෙනවා. හැබැයි ඉතින් අපිට ස්ථීරව මෙච්චර ලැබෙනවා කියල කියන්න අමාරුයි එහෙම වුණත් මේක අපිට ජීවත් වෙන්න හොඳ ආදායම් මාර්ගයක් බව කියන්න ඕනි.
මේ රස්සාව කරනව කියලා මම ගෙදර වැඩ අතපසු කරන්නේ නැහැ. ගෙදර වැඩ ටික කරලා තමා එන්නේ. මහත්තයගෙන් වගේම මහත්තයගේ අම්මගෙන් මට විශාල සහයක් ලැබෙනවා. ඒ අය නොවෙන්න නම් මේක කරන්න අමාරුයි. කොහොම වුණත් මම ඉගන ගත්ත දේට රැකියාවක් ලැබුනේ නැහැ කියල සමහර වෙලාවට හිතෙනවා.
මොකද අපිට ස්ථීර රැකියාවත් තිබුන නම් ණයක් ගන්න පුළුවන්. පිළිගැනීමක් තියෙනවා. හැබැයි එක පැත්තකින් බලද්දී මේක හරි නිදහස් රස්සාවක්. පුළුවන් නම් කරනවා. නැතිනම් කඩේ වහල ගෙදර යනවා. ඒ වගේම රස්සාවකින් ලැබෙන වැටුප වගේම මුදලක් අපිත් හොයනවා. එහෙම බලද්දී හිතට දුකක් නැහැ. ඒ නිසා අපේ ජීවිතේට ලැබෙන දේවල්වලින් සතුටු වෙලා ජීවත් වෙන එක තමා හොඳම දේ කියලයි මම හිතන්නේ.'' යනුවෙන් පැවසීය.
මීගහකිවුල - එන්. කේ. නිශ්ශංක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

