බීරළු රේන්ද කර්මාන්තයෙන් දිවිය ජයගත් යුවතියක්
බීරළු රේන්ද ආශ්‍රිතව නවීන විලාසිතාවලට අනුව නව නිර්මාණ බිහිකර පාරම්පරික බීරළු රේන්ද කර්මාන්තය නව මාවතකට යොමුකිරීමට උත්සාහයක යෙදෙන තරුණියක ලෙස ගාල්ල, මා ගාල්ලේ පදිංචි ඉනෝකා ක්‍රිශානි බරණසූරිය මහත්මිය හඳුන්වාදිය හැකිය.
ඇය සිය නිර්මාණයන් නව ආරකින් යුතුව නවලොවට ගැළපෙන පරිද්දෙන් සිදුකරන අතර, සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් බීරළු රේන්ද කලා නිර්මාණ කරමින් දෙස් විදෙස් ගැනුම්කරුවන් අතර නමක් දිනාගැනීමටද ඇය සමත්ව සිටින්නීය.
සිය මව වන එස්. කේ ආරියවතී මහත්මියගෙන් කුඩා කළ සිටම බීරළු රේන්ද ගෙතීමට පුරුදුවී ඇති ඉනෝකා පාසල් දිවියට සමුදීමෙන් පසුව ජීවන වෘත්තිය ලෙස එය තෝරාගෙන තිබේ.
ඇය පමණක් නොව ඇයගේ මවත්, වැඩිමහල් සහෝදරියත්, බාල සහෝදරියත්, බීරළු රේන්ද ගෙතීමේ නියුතුව සිටිති.
පාරම්පරික බීරළු රේන්ද නිෂ්පාදනය යොදාගෙන ඉනෝකා මුලින්ම බීරළු රේන්ද යොදාගෙන සායක් නිර්මාණය කළ අතර,එතනින් නොනැවතී මනාලියන්ගේ කැන්ඩියන් ඇඳුමට බීරළු රේන්ද වලින් හැඩතල මුසුකර නව නිර්මාණ කිරීමටද යොමුවිය.
එපමණක් නොව කාන්තා ඇඳුම් ආයිත්තම් සඳහා බීරළු රේන්ද යොදාගෙන විවිධ නිර්මාණ කිරීමටද ඇය කටයුතු කිරීම හේතුවෙන්, කෙටි කාලයක් තුළ එම නිර්මාණ කාන්තාවන් අතර ජනප්‍රිය වී ඒවා වෙනුවෙන් වෙළඳපොළේ ඉතා හොඳ මිලක් නිර්මාණය විය.
සුනාමි ව්‍යවසනයෙන් පසුව මෙරටට පැමිණි ජපන් ජාතික කාන්තාවකගෙන් මාල, කරාබු, අත් පලදනා ආදියට බීරළු රේන්ද මෝස්තරද මුසු කරන අන්දම ඉනෝකා ඉගෙන ගත්තාය. ජාතික ශිල්ප සභාව මගින් පවත්වනු ලැබූ වැඩසටහන් සඳහා සහභාගිවී තම දැනුම පුළුල් කරගත් ඉනෝකා තවදුරටත් අත්බෑග් පර්ස් ආදී වෙනත් නිර්මාණ ක්ෂේත්රයන් වෙතද යොමු වී තිබේ.
වසර පහළොවක පමණ කාලයක් බීරළු රේන්ද ගෙතීමේ යෙදී සිටින ඇය මේ වනවිට ප්‍රදේශයේ තරුණියන් පහළොවකට පමණ රැකියා අවස්ථා සපයා දී ඇති අතර, ජාතික ශිල්ප සභාවේ බීරළු රේන්ද සම්බන්ධ උපදේශිකාවක ලෙස කටයුතු කරමින් රැකියා විරහිත තරුණියන් පිරිසකට බීරළු රේන්ද ගෙතීමට සම්බන්ධ වෘතීය පුහුණුවද ලබා දෙමින් සිටියි.
ඉනෝකා ඉන්දියාවේ පැවැත්වුණ අත්කම් හා ගෘහස්ථ කර්මාන්ත සම්බන්ධ වැඩමුළු හතරකට සහභාගි වී ඇත. 'ශිල්ප 2009' ගෘහස්ථ කර්මාන්ත ප්‍රදර්ශණයේ බීරළු නිර්මාණ අංශයේ සමස්ථ ලංකා ප්‍රථම ස්ථානයද ඇය හිමිකරගෙන තිබේ.
ඇඳුම්, මංගලසාරි, ස්කාෆ්, අත්බෑග්, පර්ස්, සපත්තු, අත්පලඳනා ඇතුළු නිර්මාණද ඇය විසින් නිර්මාණය. කරනු ලබයි.
විදේශිකයන් ඉලක්ක කරගනිමින් ප්‍රධාන වශයෙන් තම නිර්මාණ කරනු ලබන බවත්, වර්තමානයේ බීරළු රේන්ද කර්මාන්තයට නව පරපුර යොමුවීම අඩු වුවද මෙයින් සෑහෙන ආදායමක් ඉපැයිය හැකි බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

