පොහොය දින බැතිසිත රැකගන්න දුවා දරුවන් සමග කයෙන්ද සංවර වන්න
හෙට දින උදා වන්නේ උතුම් වෙසක් පුන් පොහෝ දිනයයි. සම්බුදු පියාණන්ගේ තෙමඟුල සමරමින් සකලවිධ බෞද්ධ ජනතාව එකට එක්ව පින් දහමේ යෙදෙන කාලයයි.
මෙය ලංකාවාසී ජනතාවම දාන, ශීල, භාවනාමය වශයෙන් ප්‍රතිපත්ති පූජාවේ මෙන්ම, තොරණ සැරසිලි, බැති ගී,වැනි විවිධ ආමිස පූජාවන්වල යෙදෙමින් කෘත‘වේදීත්වය පළකරන කාල වකවානුවයි.
මෙලෙස පින් රැස්කරන කුසල් වඩවන කාලවකවානුවක සොයුරියක්, දියණියක්, මවක් වන ඔබටද සිතට ගතයුතු කාරණා බොහොමයකි.
බුදුරජාණන්වහන්සේ ''සියලු සංස්කාරයෝ අනිත්‍යය නොපමාව කුසලයේ යෙදෙන්න'' යනුවෙන් සිය ශ්‍රාවකයන්ට අවසාන අවවාදය ලබාදෙමින් ගම් නියම් ගම්වල වඩිමින් සිය ශ්‍රාවකයන්ට, ලෝක සත්ත්වයාට ජීවිතයේ තිබෙන යථාර්තය කියා පෑවේය.
නමුත් අද වනවිට බොහෝ පිරිසකගේ ජිවිත තුළින් මේ යථාර්ථය ගිලිහී යාමක් දැකගත හැකිය. අද බොහෝදෙනා වෙළෙඳ ලෝකයේ සිහිනවල අතරමං වී සිටිනු දැකගත හැක. එය අද කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා විහිදී ඇති ඛේදවාචකයකි.
දියණියක්, සොයුරියක්, මවක් ලෙස ඔබට ඒ තත්ත්වයෙන් මිදී සරල ලෙස ජීවිතය ගෙවන්න පුළුවන් නම් කොතරම් වටිනවාද? මන්ද කාන්තාවකගේ සුන්දරත්වය ඇත්තේ හුදු ආටෝපවල නොවන බව ඔබ තේරුම් ගතයුතු හෙයිනි.
නමුත් අද බොහෝ දෙනා මේ යථාර්ථය තේරුම් ගැනීමට අකමැතිය. අද බොහෝ දියණියන්ට වගේම මව්වරුන්ට එළියට බැසීමට ලිප්ස්ටික් ටිකක්, සුවඳ විලවුන් ටිකක් නැතිවම බැරිය. සමහරවිට ඔවුන්ගේ විලාසිතාවන් තැනට උචිතද නැතිද කියාවත් සොයා බලන්නේ නැත. නමුත් අපි තැනට උචිත විදියට හැසිරිය යුතුය. මන්ද ඔබ කාන්තාවක් නිසාවෙනි.
පුද්ගලයෙක් ඔබව පළමුව කියවීමට උත්සාහ ගන්නේ ඔබේ බාහිර පෙනුමෙනි. එහෙයින් ඔබට ගෞරවයක් ලැබීමට වගේම ඔබව සමච්චලයට ලක්වන්නේ මෙසේ තැනට උචිත නොවන ලෙස හැසිරුනොත්ය.
අද බොහෝ දියණිවරු මෙන්ම මව්වරු පොහෝ දිනට පන්සලට සැරසී යන ඇඳුම්වල කිසිදු සංවරයක් නැත. මෙහිදී ඔබ පන්සලට යන්නේ විලාසිතා දැක්මකට නොවන වග ප්‍රථමයෙන් ඔබ සිහිතබා ගතයුතුය. චාම්,සරල,සුදු ඇඳුමකින් පන්සලට යනවා නම් එය කොතරම් වටිනවාද? ඒ සංවරකම කාන්තාවන්ට ආභරණයක් බව ඔබ මතක තබාගත යුතුය. ඒ නිසා ප්‍රථමයෙන් මව ආදර්ශවත් විය යුතුය. පසුව ඇයට ඇගේ දියණිය ඒ අනුව හැඩගැස්විය හැක.
ඒ වගේම වෙසක් බැලීමට අද බොහෝ අය යන්නේ විනෝද ගමනක් යන අයුරින්ය. කිසිදු සංවරකමක් නැත. ඇඳුම් පැලඳුම්වල පවා සංවරකමක් නොමැති නිසා බොහෝ විට තරුණියන් පිරිමි පාර්ශ්වයේ සමච්චලයට ලක්වන අවස්ථා බහුලව දැකිය හැක. ඔවුන් ඒ තැනට පත්ව ඇත්තේ ඔවුන් විසින්ම නිසා ඔවුන්ට දෝෂාරෝපණය කර ඵලක් නැත. ඒ නිසා මෙවර පොහෝ දිනයේ පින්වත් සංවර ඇඳුමෙන් සැරසී සිටීමට අදිටන් කරගන්න. එවිට ඇතිවන සිත් තැවුල්ද අඩු කරගත හැක.
හෙටින් එළඹෙන වෙසක් පුන් පොහෝ දිනයේ මේ කාරණා ඔබ ක්‍රියාවෙන්ම පෙන්වුවහොත් ඔබ චිංචිමානවිකාවක් ලෙස නොව විශාඛාවක් ලෙස සියලුදෙනා පිළිගනීවි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

