ප්‍රමිතියකින් තොර රූපලාවණ්‍ය නිෂ්පාදන වෙළෙඳ පොළ ආක්‍රමණය කරයි
කාන්තාවන් බොහෝ දෙනෙක් අනෙක් අය අතරින් තමන්ව කැපී පෙනෙන සේ අඳින්න, පලඳින්න, හැඩ වෙන්න කැමතිය. එනිසා ඔවුන් මුහුණ පැහැපත් කිරීමට, දීප්තිමත් සිරුරක් ලබාගැනීමට නොයෙක් රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිත කිරීම සුලබ දෙයකි.
නමුත් මෙවැනි රූපලාවණ්‍ය නිෂ්පාදනයන් පිළිබඳ භාවිතයට පෙර දෙවරක් සිතිය යුතුය. මන්ද, ලංකාවේ ප්‍රමිතියක් නොමැති රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා කිසිදු වාරණයක් හෝ නියාමනයක් ක්‍රියාත්මක ෙනාවන බැවිනි. එනිසා අප ආලේප කරන යම් යම් ආලේපනයන් මගින් ඇතැම් විට පිළිකා තත්ත්වයන් පවා ඇති විය හැකි බව ඒ පිළිබඳ විශේෂඥයන්ගේ මතයයි. ඔබ ඒ පිළිබඳ දැනුවත් වීම ඉතා කාලෝචිත බැවින් 'අද' හමුවේ මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ උපසභාපති නාරිවේදී හා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරද කන්නංගර මහතා අප සම්බන්ධ කර ගත්තෙමු. ඔහු මේ පිළිබඳව පර්යේෂණාත්මක කරුණු අනාවර්ණය කර තිබේ.
මේ ඒ මහතා අප හා දැක්වූ අදහස්ය.
'ලංකාවේ පැවැති ඖෂධ සහ සුවඳ විලවුන් නියාමන අධිකාරිය ස්ථාපිත කරනු ලැබුවේ ඖෂධ සහ සුවඳ විලවුන් පනත මගින්. නමුත් 2015 ජූලි මාසයේ ගෙන ආ ඖෂධ පනත මගින් සුවඳ විලවුන් නියාමනය ඉවත් වුණේ ඒ සඳහා වෙනම පනතක් ගෙන එන බවට පවසමින්. සමාන්‍ය ක්‍රමවේදයට අනුව ඕනෑම පනතක් ගෙන එන විට ඊට පෙර තිබෙන නියාම විධි ක්‍රියාත්මක වෙනවා. නමුත් මෙවැනි අලුත් නීතියක් ගෙන ඒමත්, තිබෙන නීතිය බලරහිත වීමත් සමග ඇතැම් කාරණා සම්බන්ධයෙන් රටේ නීතියක් නොමැති කාලයක් රට තුළ ඇති වෙනවා. මේ සම්බන්ධ පාලන බලය මේ වනතෙක් පැවැතියේ ඖෂධ අමාත්‍යාංශය යටතේ. නමුත් 2016 වර්ෂයේ අයවැය තුළින් මෙහි පාලනය වෙළෙඳ අමාත්‍යාංශයට ලබාගැනීම සඳහා යම් උත්සාහයක් දැරුවා.
මෙය නියාමනයට පනත් නොමැති නිසා පාරිභෝගික සේවා අධිකාරියට මේ සම්බන්ධ පනතක් සකස් කරන මෙන් රවි කරුණානායක මහතා වරකදී සඳහන් කළා. නමුත් එය සිදුකළේ නැහැ. ඇත්තෙන්ම මෙය පාරිභෝගික සේවා යටතට ගැනීම තාක්ෂණික වශයෙන් වැරදි ක්‍රියාවක්. පාරිභෝගික සේවා ආයතනය මගින් සොයා බලන්නේ නියම කරන ලද මිලට විකිණෙනවද, කල් ඉකුත් වූ භාණ්ඩ විකිණෙනවද, එහෙම නැතිනම් ඒවායේ නිෂ්පාදකයාගේ හා බෙදා හරින්නාගේ ලිපිනය සඳහන් වෙනවාද යනාදී කාරණාවන්ය. නමුත් ඕනෑම නිෂ්පාදනයක් ඒ හා සම්බන්ධ විෂයයන් ආශ්‍රිතව තමයි පාලනය වන්නේ. මිනිසුන්ට බලපාන මේ රූපලාවණ්‍ය හා සුවඳ විලවුන් නියාමන කොටස සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් දෙයක්. එය වෙන ආයතනයකට කිසිසේත් පැවරිය නොහැකියි. මෙයින් පැහැදිලි වන්නේ මේ මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයිති කොටස හිතාමතාම හැළීගොස් තිබෙන බවයි. මේ සම්බන්ධ ඇතිවන සෞඛ්‍ය ගැටලුවලට පිළියම් සෙවීමට වෙන කිසිම අමාත්‍යාංශයකට සිදුකළ නොහැකි අතර, එය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන්න ඕන දෙයක්. නමුත් මේ සඳහා පනතක් ක්‍රියාත්මක නොවන බැවින් එම නිෂ්පාදන, එම කාර්ය නිසිපරිදි සිදුවන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ටද ඒ සම්බන්ධ බලතල ක්‍රියාවට නංවන්න නොහැකි තත්ත්වයක් මේ හරහා උදා වී තිබෙනවා.
රූපලාවණ්‍ය සම්බන්ධ ප්‍රමිතියකින් තොර නිෂ්පාදන සඳහා කිසිදු වාරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක නොවන බැවින් බොහෝ පිරිසක් එවැනි තත්ත්වය සහතික නොකළ නිෂ්පාදන වෙනත් රටවලින් මෙරටට ගෙන්වනු ලබනවා. ආනයනික බලපත්‍රයක් නැතිව ඒවා ගෙන්වීම තවත් භයානක තත්ත්වයක්. කොහේ හරි රටකින් ගෙන්වා මෙහේ රූපලාවණ්‍යාගාරවලට දමා විකිණීමේ කටයුතු සිදුකරනවා. මේ පිළිබඳ පුවත්පත්වල වෙළෙඳ දැන්වීමක්වත් දමන්නේ නැහැ. මොකද ඒ පිළිබඳ වගකීම ගන්න කවුරුත් නැති නිසා.
අපේ සමාජයේ ඕනෑම තරාතිරමක කෙනෙක් වූවත් ස්වකීය රූපලාවණ්‍ය කටයුතු සඳහා රූපලාවණ්‍යාගාරවලට යෑම සමාන්‍ය සිරිතක්. මේවා බෙදා හැරීමට ලක්වන්නේ රූපලාවණ්‍යාගාරවල සිටින රූපලාවණ්‍ය ශිල්පීන් මගින්. තමන්ගේ ආයතන සඳහා මිනිසුන් ආකර්ෂණය කර ගැනීමට බොහෝ අය කැමතියි. ඒ නිසා මෙවැනි නිෂ්පාදන අනුමත කරමින් පාරිභෝගිකයා හට එය ලබා දෙනවා. මේවායේ ලාභයද ඉතා වැඩියි. සාමාන්‍යයෙන් ප්රමිතිකරණයක් සහිත නිෂ්පාදනයක ලාභය එම ආයතනයත් තබා ගනිමින්, විකුණන පුද්ගලයාට රුපියල් 100ක් පමණ මුදලක් හිමිවෙනවා. නමුත් මෙවැනි නිෂ්පාදනයන් පැකැට්ටුවක් රුපියල් 400ක් වැනි ප්‍රමාණයකට මිලදීගෙන රුපියල් 1000ට වගේ මිලකට විකුණාගත හැකියි. මේ නිසා විශාල ලාභයක් රූපලාවණ්‍යාගාරයේ හිමිකරුට ලබාගන්න පුළුවන්. අනෙක් කාරණය තමයි මෙය ආලේපකර ඉක්මණින් සම පැහැපත් වීම. මේ නිසා මෙය කටවහරෙන් මිනිසුන් තුළ ප්‍රසිද්ධ වෙනවා. මේ විදිහට තමයි ප්‍රමිතිය සහතික නොකළ මෙවන් නිෂ්පාදනවල වෙළෙඳ ප්‍රවර්ධන ක්‍රියාවලිය සිදුවන්නේ. මේ අයුරින් ප්‍රවර්ධනය සිදු නොවුණේ නම් මෙම නිෂ්පාදන ප්‍රවර්ධනය කරන්න කිසිම විකල්ප අලෙවි ප්‍රවර්ධන ජාලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
මෙහි අනෙක් භායානක දේ තමයි මෙම නිෂ්පාදනයන් තුළ බැරලෝහ විශාල ප්‍රමාණයක් අඩංගු වීම. ඒවා පර්යේෂණයට භාජනය කිරීමෙන් අඩංගු රසදිය ප්‍රමාණය සොයා ගන්න පුළුවන්. ශ්‍රී ලංකා ප්‍රමිතිගත ආයතනය විසින් නිර්දේශිත පරිදි යම් නිෂ්පාදනයක තිබිය හැකි රසදිය ප්‍රමාණය වන්නේ කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් එකක් පමණයි. මේ ක්‍රියා මාර්ගය ගනු ලබන්නේ නිෂ්පාදන තුළ රසදිය ප්‍රමාණය අවම කිරීමට. මොකද රසදිය විෂ වැඩි බැර ලෝහයක් බැවින්. නමුත් දැන් කිලෝග්‍රෑම් එකක ග්‍රෑම් 7.5ක් ග්‍රෑම් 9ක් වගේ අධික විෂ සහිත ප්‍රමාණයන්ගෙන් මෙම නිෂ්පාදන අලෙවි කිරීමට රූපලාවණ්‍යාගාර තුළ තිබෙනවා.
තත්ත්ව සහතිකය තිබෙන නිෂ්පාදන මෙන්ම තත්ත්ව සහතිකය නැති නිෂ්පාදනත් වෙළෙඳ පොළේ තිබෙනවා. ශ්‍රී ලංකා තත්ත්ව සහතික ආයතනය විසින් තත්ත්ව සහතික කිරීම සිදුකරනු ලබන නමුත් ඔවුන් ඊට එහා ගිය ක්‍රියා මාර්ග අනුගමනය කරන්නේ නැහැ. ඒ නිසා ප්‍රමිතියකින් තොර මෙවන් නිෂ්පාදනයන්ට කිසිම ප්‍රමිති සහතිකයක් නැහැ. නමුත් මෙවැනි නිෂ්පාදනයන් නිසි විමර්ශනයකින් තොරව පාරිභෝගිකයා භාවිතයට ගැනීම ඉතා භයානක දෙයක්. මෙම නිෂ්පාදනයන් නිසා ආබාධ රැසක් ඇති වීමේ හැකියාවද තිබෙනවා.
ඇතැම් විට ගර්භිණී මවක් මෙය ආලේප කළහොත් කුස තුළ තිබෙන කලලයට බලපාන්න පුළුවන්. මේ නිසා මොළේ වර්ධනයේ දුර්වලතා, විකෘතිතා සහිත දරු උපත් සිදුවිය හැකියි. ඊට අමතරව ගබ්සා වීම් සිදුවන්න පුළුවන්. ගර්භිණී මවුවරුන්ට ගබ්සාවීම්, මළදරු උපත්, අඩු බර උපත්, බුද්ධිය හීන වූ දරුවන්, මන්ද බුද්ධික දරුවන් බිහිවිය හැකියි.
කාන්තාවන් මෙවන් නිෂ්පාදන භාවිත කිරීම මගින් මඳ සරුභාවය ඇති වෙන්න පුළුවන්. බැර ලෝහ එහි තිබෙන නිසා මෙවැනි විවිධ ආබාධයන්ට ලක්විය හැකියි. ඒවගේම වකුගඩු ආබාධ ඇති වෙන්නත් පුළුවන්. සමේ පිළිකා තත්ත්වයන් ඇති විය හැකියි. විශේෂයෙන් අක්ෂි රෝග ඇතිවීමේ අවදානමක්ද තිබෙනවා. සෞඛ්‍ය සේවයේ බරපතළ ගැටලු රාශියක් මේ නිසා ඇති වෙනවා. මේ රෝග තත්ත්වයන් පිළිබඳ වැඩිදුර පැහැදිලි කළොත්, සමේ චර්ම පිළිකා ඇතිවීමේදී සමේ බිබිලි ඇති වී ඇතැම් විට එය ආසාදනය වී මරණය පවා ඇතිවිය හැකියි.
මෙම සියලු ආලේපන සම හරහා ශරීරයට අවශෝෂණය වී තැන්පත් වෙනවා. ඇඟිලි තුඩුමත හා නියපොතු යට ඉතා පහසුවෙන් රැඳෙන මෙම නිෂ්පාදනවල අඩංගු රසදිය ඒ තුළින් ශරීරයට ඇතුළු වෙනවා. ඇතැම් අවස්ථාවන්හිදී රසදිය අංශු ආශ්වාසය මගින්ද ශරීරයට ඇතුළු විය හැකියි. එවන් නිෂ්පාදන ආලේප කර ඇති පුද්ගලයෙකුගේ ස්පර්ශයෙන් තවත් පුද්ගලයෙකුට රසදිය ඇතුළු වීමේ සම්භාවිතාවක් තිබෙනවා. රසදිය අඩංගු ආලේපන භාවිත කරන පුද්ගලයන්ගේ ඇඳුම්, පැලඳුම් හා තුවා ඇල්ලීම මගින්ද ඒවා ශරීරගත විය හැකියි. ඔබ ගර්භිණී කාන්තාවක් නම් රුධිරයට ඇතුළු වූ රසදිය අංශු කලලය දක්වා ගමන් කර නූපන් බිලිඳාටද හානි පැමිණ විය හැකියි. එමෙන්ම රසදිය අංශු මවුකිරි හරහා ගමන්කර අලුත උපන් බිලිඳාගේ වර්ධනයට හානි පමුණුවනවා. එමෙන්ම රුධිරයට එක්වීමෙන් වකුගඩු නරක් වෙනවා. රුධිර පද්ධතිය හරහා එය ගමන් කිරීමේදී ඩිම්බකෝෂවලට එය බලපානවා.
යුරෝපා ආශ්රිත රටවල මේවා පර්යේෂණයට ලක්කර තහනම් කර තබා තිබෙනවා. නමුත් අවාසනාවකට ලංකාව වගේ රටක එවැනි නියාමනයක් තවමත් ක්‍රියාත්මක වන්නේ නැහැ.
මෙවැනි රූපලාවණ්‍ය නිෂ්පාදන අනෙකුත් නිෂ්පාදනයන්ගෙන් වෙන්කර හඳුනාගන්න නිර්ණායක කිහිපයක් තිබෙනවා. යම් නිෂ්පාදනයක නිෂ්පාදකයාගේ නම, ලිපිනය සහ වෙබ් ලිපිනය අනිවාර්යයෙන් තිබිය යුතුයි. එය විදේශ රටක නිෂ්පාදනයක් නම් ලංකාවේ එය බෙදාහරින්නාගේ නම සහ වෙබ් ලිපිනය සඳහන් කළ යුතුයි. නමුත් මෙවැනි ආලේපනයන් තුළ මේ කිසිවක් නැහැ. එනිසා අප ආලේපනයක් ගැනීමේදී නිෂ්පාදකයා කවුද, විදේශ නිෂ්පාදනයක් නම් ලංකාවේ බෙදා හරින්නා කවුද, යන්න විමසූවිට ප්‍රමිතියෙන් යුත් ආලේපනය කුමක්ද යන්න හඳුනාගැනීමට පුළුවන් වෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ පිළිබඳ නොෙයක් අවස්ථාවන්හි මාධ්‍ය දැනුවත් කිරීම සිදුකළා. ඒ වගේම චර්ම රෝග විශේෂඥයන්ගේ සංගමයටත් මේ පිළිබද දැනුම් දීමක් කළා. ඊට අමතරව අපි ඉදිරියට අපේක්ෂා කරනවා මේ පිළිබඳ වැඩමුළුවක් පවත්වන්න. එහිදී ප්‍රධාන වශයෙන් නිවැරදි රූපලාවණ්‍ය නිෂ්පාදන සහා ඒවා භාවිතය පිළිබඳ දැනුවත් කිරීමට අපේක්ෂා කරනවා. මෙම වැඩමුළුවලට සහභාගිවන්නන් සඳහා සහතිකයක්ද ප්රදානය කිරීමට අපේක්ෂා කරනවා.
ඇතැම් විට රූපලාවණ්‍යාගාර පවත්වාගෙන යන අය පවා මේ ගැන නිසි අවබෝධයක් නැති වෙන්න පුළුවන්. නමුත් මේ හරහා තමන්ගේ පාරිභෝගිකයාට රූපලාවණ්‍ය නිෂ්පාදන නිර්දේශ කිරීමේදී ගතයුත්තේ කුමන ක්‍රියාමාර්ගද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මෙම වැඩමුළුවෙන් හැකියාව ලැබෙනවා. මෙයින් සහතිකයක්ද නිකුත් කරන බැවින් පාරිභෝගිකයාට යම් නිෂ්පාදනයක් නිවැරදි නිර්දේශ කිරීමක් යටතේ භාවිත කිරීමට අවශ්‍ය නම් එවැනි සහතිකලාභී රූපලාවණ්‍ය ශිල්පීන්ගෙන් අවශ්‍ය උපදෙස් ලබාගත හැකියි. මෙවැනි නොයෙක් ක්‍රියාමාර්ග ඔස්සේ පාරිභෝගිකයා දැනුවත් කිරීමට අපිට හැකියි.
ක්‍රීම්, සුවඳ විලවුන්, නොයෙක් වර්ණක, නිය ආලේපන, තොල් ආලේපන සහ හැඩගැන්වීම සඳහා භාවිත කරන නොයක් දේවල් ආදී සියලුම නිෂ්පාදනයන් මේ සඳහා අයත් වෙනවා.
එංගලන්තය වැනි රටවල රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය නම් ඒ සඳහා එම විෂයයට සුවිශේෂී වූ උපාධියක් තිබිය යුතුයි. ඔවුන් ලබාගන්න උපාධියට මේ සියල්ල අන්තර්ගතයි. එමෙන්ම එවැනි දේ සඳහා නිෂ්පාදනයන් නියාමනය නොකළ ප්‍රමිති සහතික නිසි පරිදි නිකුත් කළ නිෂ්පාදනයන් පමණක් එරට වෙළෙඳ පොළ තුළ දකින්න පුළුවන්. ඒ නිසා අපේ රටේ මෙන් ගැටලුවක් ඇතිවන්නේ නැහැ. ලංකාවේ ඇත්තෙන්ම සිදුව ඇත්තේ රූපලාවණ්‍ය ආයතන සහතික කියලා ගන්නේ තායිලන්තයේ ගිහින්. ඇතැමුන් එම සහතිකය ඉන්දියාවෙන් ගෙන එනවා. නමුත් ලංකාවේ එහෙම ලබාදෙන ක්‍රමවේදයක් තවමත් සකස් වී නැහැ. ඒ නිසා ඉදිරියේදී එවැනි දේ සකස් කිරීම අනිවාර්යයෙන් කළ යුත්තක්. මේ නිෂ්පාදන භාවිතයට ගැනීමේදී නිෂ්පාදකයෙක් බෙදාහරින්නෙක් සිටින ප්‍රමිතියකින් යුතු නිෂ්පාදන ලබාගත යුතුයි. රූපලාවණ්‍ය කටයුතු සඳහා රූපලාවණ්‍යාගාරයකට යනවා නම් ඒ ආලේපන වර්ගය පිළිබඳ තමන්ව දැනුවත් කරන ලෙස රූපලාවණ්‍ය ශිල්පියාගෙන් ඉල්ලීමක් කළ හැකියි. මෙම නිෂ්පාදන පිළිබඳ සෞඛ්‍ය නවොත්පාදක සහ පර්යේෂණ ආයතනය (society of health research and inversion unit) මගින් ඉදිරීයේදී ලබාදීමට අපේක්ෂිත සහතිකය ඉදිරි මාසය ඇතුළත කාලයක් තුළදී රූපලාවණ්‍යාගාරවලට ලබාදීමට අපි කටයුතු කරනවා.
සුවඳ විලවුන් පනත නැවත ගෙන ආ යුතුයි. එය අත්‍යවශ්‍යයෙන් තිබිය යුතු දෙයක්. රටක නීති සැදීමේ ක්‍රියාවලිය අනිවාර්යයෙන් ව්‍යවස්ථා දායකය මගින් කළ යුත්තක්. ඒ සදහා අපට කළ හැකි වන්නේ බලපෑමක් කර ඒ සඳහා ඉල්ලීමක් කිරීම පමණයි. අපේ රටේ පනතක් තිබුණත් එය නැවත් ඉවත් කිරීමයි මෙහි තිබෙන ප්‍රධාන දුර්වලතාව. අපිට නීති සකස් කිරීමට නොහැකි නමුත් මිනිසුන්ට අවශ්‍ය දැනුම ලබාදිය හැකියි. රූපලාවණ්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය පවා මේ පිළිබඳ නොයෙක් තොරතුරු ජනතාවට ලබාදෙන අතර, ඔවුන් පාරිභෝගිකයා දැනුවත් කිරීම සඳහා මෙම නිෂ්පාදනයන් පිළිබඳ තොරතුරු ඇතුළත් පොත් පිංචක්ද රචනා කර තිබෙනවා.*
රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිත කිරීමේදී වරක් නොව දෙවරක් ඒ ගැන සිතන්න. වෙළෙඳ පොළේ ඇති ප්‍රමිතියකින් තොර ශරීරයට අහිතකර එවන් නිෂ්පාදන පිළිබඳ දැනුවත් වෙන්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


