පන් පැදුරු මත හෙටක් සොයන ජීවිත
මෙරට පාරම්පරික පන් පැදුරු කර්මාන්තය ක්‍රමානුකූලව බිඳවැටීමකට ලක්වෙමින් ඇති බව එම කර්මාන්තයේ නියුතු මැදවච්චිය දාච්චිදමන ගැමි කාන්තාවෝ පවසති.
නිෂ්පාදන අතරමැදි මැදිහත්වීමකින් තොරව පාරිභෝගිකයාට සෘජුව අලෙවි කිරීමේ යම් වැඩපිළිවෙළකින් තොරවීමෙන් තම ජීවනෝපාය අවදානමට වැටී ඇති බව ඔවුහු ප්‍රකාශ කරති.
නෙළන ලද අමු පන් මනාව වියළීමට දින පහක් පමණ ගතවන අතර, පන් කපා වේලා පදම් කොට වර්ණ ගන්වා දින ගණනක් වෙහෙසී සිදුකරන නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබෙන බවද මෙම කාන්තාවෝ පවසති. මේ පිළිබඳ ඔවුහු කිහිපදෙනෙක් අප හා අදහස් දැක්වූහ.
ජී.ශ්‍යාමා මහත්මිය,
''හිටපු එකම පුතා වකුගඩු අමාරුව හැදිලා නැතිවුණා. මහත්තයාත් අසනීප ගානේ ඉන්නේ දැන්. ජීවත් වෙන්න තියෙන එකම මාර්ගේ මේක. තාමත් පන් පැදුරුවලට වට්ටිවලට එහෙම හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒත් අපිට උදවුවක් කරන්න කවුරුවත් නෑ. ස්වයං රැකියාවලට උදවු කරනවා එහෙම කියනවා දකිනවා. ඒත් ගම්වල ඉඳගෙන මේ විදිහේ කර්මාන්ත කරන අපි ගැන බලන්න කවුරුවත් නෑ.
අපි දුක් මහන්සි වෙලා වියන කරන දේවල් තියාගෙන විකුණන්න තැනක් පිළියෙළ වෙනව නම් ඒක වටිනවා. ඒත් ඒව කවදා කෙරෙන වැඩද?''
ජී.පී. මැගිලින් නෝනා මහත්මිය,
''අපි ඒ කාලේ අම්මලා වියන දිහා බලාගෙන ඉඳලා ඉගෙන ගත්තා. අපි ළමිස්සියෝ කාලේ පැඳුරක් වට්ටියක් වියාගන්ඩ බෑ කියන එක ගෑනු කෙනෙකුට ලොකු අඩුවක්.
ඉතිං කොහොම හරි බලාගෙන ඉඳලා ඉගෙන ගන්නවා. ඒ කාලේ රටින් ගෙනාපු පැදුරු වට්ටි පෙට්ටි අපේ ගම්වල තිබුණේ නෑ. දැන් හැමදේම රටින් ගේනවා. කඩේ ගන්ඩ තියෙනවා. ඒ හින්දම දැන් ඉන්න ළමයින්ට මේවා ඉගෙන ගන්න උවමනාවක් නෑ. ඒ ගොල්ලෝ වෙන වෙන දේවල් ඉගෙන ගන්න පංති යනවා. මේවා ඉගෙන ගන්න එක නිකංම මග ඇරෙනවා.''
වයි. සෝමාවතී මහත්මිය,
''ගෙදර වැඩපලත් කරන ගමන් තමයි මේ කර්මාන්තෙත් කරන්නේ. ලොකු වට්ටියක් පැය හතරකින් විතර වියන්න පුළුවන්. අඩි හයේ හතරේ පැදුරක් වියන්න දවස් හතරක් විතර යනවා. පහේ දෙක හමාරේ පැදුරකට දවස් තුනක් විතර යනවා. සමහර දවස්වලට දොලහ එක විතර වෙනකන් නිදි මරාගෙන වියනවා.
පායන කාලෙට පන් කපලා වේළලා පදම් කරලා සායම් දාලා තියාගන්නවා. එතකොට වැස්සා කියලා වැඩ නැතිවෙන් නෑ. මොනතරම් මහන්සි වුණත් අපිට මේකෙන් මහලොකු දෙයක් හම්බ වෙන්නේ නෑ. එදිනෙදා ජීවත් වෙන්න වියදම හොයා ගන්නවා. රටින් ගේන පැදුරු කීයයි කිව්වත් අරගෙන යන සමහර අය අපි ළඟට ආවම හරියට හෙට්ටු කරනවා.''
oooooooooooooooooooooooooooo
බුල්නෑව - ප්‍රදීප් රණතුංග
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

