ප්‍රචණ්ඩත්වයට හා හිංසනයට පිළිතුරු ලෙස අවිහිංසාව යොදාගැනීම තුළින් ප්රචණ්ඩ සමාජයක් වූ යේමනය සාමකාමී සමාජයක් බවට පත්කරගැනීමට හැකියාව ලැබුණු බව නොබෙල් සාම ත්‍යාගලාභී තවක්කෝල් කර්මාන් පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ත්‍රීපුරුෂ සමාජභාවීය අධ්‍යයන කේන්ද්‍රය හා ජාත්‍යන්තර සබඳතා ඒකකය එක්ව සංවිධානය කළ නොබෙල් සාම ත්‍යාගලාභී තවක්කෝල් කර්මාන් (Tawakkol Karman) ගේ My Journey towards the Nobel Prize යන මැයෙන් වන විශේෂ දේශනය පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදීය.
දශකයකට වැඩි කාලයක් කාන්තා අයිතිවාසිකම් හා යේමනයේ සාමය ගොඩනැංවීම සඳහා අවිහිංසාවාදී අරගලයක නිරත මාධ්‍යවේදිනියක මෙන්ම මානව හිමිකම් ක්රියාකාරිනියකද වන Tawakkol Karman 2011 දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය. ඇය නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ප්‍රථම යේමන් ජාතික හා අරාබි කාන්තාවද වන අතර, Malala Yousafzai හැරුණු විට නොබෙල් සාම ත්‍යාගය ලබාගත් ලාබාලතම මුස්ලිම් කාන්තාවද ඇයයි.
'යකඩ ගැහැනිය', 'විප්ලවයේ මව' යන නම්වලින් හඳුන්වන ඇය 2005 දී 'Women Journalists Without Chains' (WJWC) සංවිධානය පිහිටුවා ගනිමින් යේමන් මාධ්‍ය නිදහස්, මානව හිමිකම් හා යේමනයේ කාන්තාවන්ට විවාහ විය හැකි අඩුම වයස පිළිබඳ මතවාදය වෙනුවෙන් පෙනී සිටි සමාජ ක්‍රියාකාරිනියක වන ඇය නොබෙල් ත්‍යාගය කරා ගිය ගමන ඉදිරිපත් කළේ මේ ආකාරයෙනි.
"ශ්‍රී ලංකාවට පැමිණ ඔබ අමතා කතා කිරීමට අවස්ථාව ලබාදීම ගැන බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ගුවන්තොටුපළෙන් එනවිට මම දැක්කා ඔබලාගේ රට කොච්චර සුන්දරද කියලා. ඔබලාගේ රටට මට ආරාධනා කිරීම ගෞරවයක් ලෙස මා සලකනවා. නොබෙල් ත්‍යාගය වෙත මා රැගෙන ගිය ගමන ගැන කතා කළොත් මගේ උපන්බිම යේමනය ගැන කියන්නම වෙනවා. සෞදි අරාබියට යාබදව පිහිටි යේමනයට අවුරුදු පන්දහසක පමණ ප්‍රෞඪ ඉතිහාසයක් තියෙනවා. ඒ අතීතයේ යේමනය පාලනය කළ සුප්‍රසිද්ධ කාන්තාවන් දෙදෙනෙක් හිටියා.
එයින් ෂීබා රැජින (Queen of Sheeba) ගේ පාලන කාලයේ යේමනය ධන ධාන්‍යයන්ගෙන් පමණක් නොව කාන්තාවක රජ වීම තුළ කාන්තා අයිතිවාසිකම් අතින්ද ඉදිරියෙන් සිටියා. එසේ පැවැති යේමනය අද වනවිට ප්රජාතන්ත්රවාදය, අධ්‍යාපනය, කාන්තා අයිතිවාසිකම් ආදිය උල්ලංඝනය වීම් හා ප්‍රචණ්ඩත්වයෙන් වෙලී අවසන්. මෙම තත්ත්වය මගේ හිතට වධ දෙන ප්‍රශ්නයක් වුණා. මගේ රටට මගේ මිනිසුන්ට මේ ප්‍රපාතෙන් ගොඩගන්න මට කරන්න පුළුවන් මොනාද මගේ වගකීම මොකක්ද මං මගෙන්ම අහගත්තා.
මොකක්ද මේ අර්බුදය? ඇයි අපි මේ තත්ත්වයට පත්වෙලා ඉන්නේ? මේ තත්ත්වයෙන් ගොඩඑන්න විය යුතු වෙනස මොකක්ද කියලා මං හිතන්න පටල් ගත්තා. අපිට වෙනස් ලෝකයක් ගැන හිතන්න බැරිද? වෙනස් ලෝකයක් මවන්න බැරිද? ලෙසින් මං සිහිනයක් මැවුවා. මං ඒ සිහිනය වටා තවත් අය ඒකරාශී කරගත්තා. පෞද්ගලික සිහිනය තනිව ඉටුකරගත නොහැකි බව දන්නා බැවින් මා ලේඛනයට පිවිසුණා. එම ලිපි සඳහා පාදක වූයේ පොදුජන ප්රශ්නයයි. වෙනස්වීම අවශ්‍යයි. නමුත් වෙනස් වීම ගැන කතා කරලා ඒ ගැන අනෙක් අයට බණ කියලා විතරක් මදි.
ඒ වෙනස තමාම තුළම හා තමන්ගේම විය යුතු බව මා සිතුවා. ඒ අනුව මගේ පළමු ලිපිය ලියවුණේ එදා පැවැති දුර්දාන්ත පාලනයට එරෙහිවයි. පුවත්පත් කලාවේදිනියකගේ නිදහස මා යොදාගත්තේ පහළ ස්ථරය විවේචනය සඳහා නොව අර්බුදයේ කේන්ද්‍රස්ථානය වෙත කුළුගෙඩි පහර එල්ල කරමිනුයි. මේ ආකාරයෙන් අපේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගලය ඇරඹුණා.
මගේ ලිපි ජනතාව අතර ප්‍රචලිත වෙන්න පටන් ගැනීමත් සමග ඒ අරමුණු වටා පිරිස් ඒකරාශී කරගැනීමට අපට හැකි වුණා. නිදහස යනු කවරෙකු හෝ ලබාදෙන්නක් නොව අප විසින්ම එය ලබාගත යුත්තක් බව අපට වැටහුණා. මේ ආකාරයෙන් සටන ඉදිරියට ගෙන යද්දි අප වෙත විරුද්ධවාදීන්ගේ විවිධ බලපෑම් එල්ල වෙන්න පටන් ගත්තා.
උඹලා ගෑනු උඹලට අයිති කුස්සිය. මහ පාරේ මොකද කරන්නේ පලයන් උඹලට අයිති තැනට. මෙවැනි අවලාද කතාවන් හා තර්ජන ගර්ජන අපට එල්ල වීම් හා කොයි මොහොතේ සිරගත වීමට සිදුවෙයිද සිතිය නොහැකි අවස්ථා පවා අප වෙත පැමිණියා. නමුත් එම සිදුවීම්වලින් උනේ අපගේ අධිෂ්ඨානය තවතවත් ශක්තිමත් වීමයි. අපට එල්ල වන මෙම බාධා ජයගැනීමට අප තෝරාගත් මාවත වූයේ සාමකාමී අරගලයයි.
ප්‍රචණ්ඩත්වයට හා හිංසනයට පිළිතුරු ලෙස අවිහිංසාව යොදාගැනීම තුළින් ප්රචණ්ඩ සමාජයක් වුණ යේමනය සාමකාමී සමාජයක් බවට පත්කරගැනීමට හැකියාව ලැබුණා. මේ අයුරින් අලුත් වාතාවරණයක් රට තුළ ඇති කරන්න අපට හැකියාව ලැබුණා. පරිත්‍යාගවලින් තොරව අරගලයක් නැති බැවින් අප ඒ පරිත්‍යාගය කළා. මේ විදියටයි යෙමන් ජනතාව වෙනසකට පෙළගැසුනේ.
ඔබට වෙනසක් කිරීමට අවශ්‍යද? ඔබ මුලින්ම කළයුත්තේ ඔබ වෙනස්වීමට සූදානම් වීමයි. ඔබ තුළ ඒ වෙනස තිබිය යුතුයි. ඒ වෙනස ඔබම විය යුතුයි. ඒ වෙනස ඔබ නියෝජනය කළ යුතුයි. එහෙම කෙනෙකුට පමණයි සටනක ඉදිරි පෙළ ඉන්න පුළුවන් අපි කළේ මේ වෙනසයි. පවුලක් ඉන්නවා දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා බයක් දැනේනේ නැද්ද කියලා මිනිස්සු මගෙන් ඇහුවා. බය දැනුණා. ඒත් අපි කරන දේ නිවැරදියි යන හැඟීමත් එක්ක ඒ බය නැතිව ගියා. මේ ආකාරයෙන් අපි අපේ රටේ ජනතාව ඔවුන්ගේ යුක්තිසහගත අභිලාෂ කරා රැගෙන ගියේ" යැයි පවසා සිටියාය.