දෙපා අහිමි වූවද ලී කැටයමින් ලොව දිනූ තරුණියක්
ඇය නමින් සේපාලිකා විජේසේනයි . ඇය පිළිබඳව තොරතුරු අපට පැවසූයේ වැලිගෙපල ගංගොඩගම ග්‍රාම නිලධාරී වසමේ දිවි නැගුම සංවර්ධන නිලධාරී පාලිත මුණසිංහ මහතායි. වයස අවුරුදු 35ක තරුණියක වන මැය උපතින්ම දෙපා අහිමිව ආබාධිතව සිටී.
දෙපා අහිමි වුවද ඇයගේ දෑත ප්රාණවත්ය. සිත සවිමත්ය.
එක තැන වාඩි වී සිටි ඇයට වඩු කාර්මිකයෙකු වූ සිය පියාණන්ට ශක්තියක් විය යුතුයැයි කල්පනා වූයේ නිරායාසයෙනි. ඇය මුලින්ම විසිවන ලී කැබැලිවලින් සිය සිතෙහි ගොණු වූ නිර්මාණයන් නිර්මාණය කළාය.
ටික කලක් යනවිට දියණියගෙන් බිහි වූ අපූරු නිර්මාණ පියාගේ වඩු නිර්මාණයන්ට අපුරුවට ගැළපිණි . ලී කැටයම් කලාවට ඇය අත්පොත තබන්නේ එලෙසිනි.
මේ වනවිට ඇයගේ අතින් හැඩ නොවූ අල්මාරියක් දොර ජනෙල් උලුවස්සක් ප්‍රදේශයේ නොමැති තරම්ය.
ඇය අතින් නිර්මාණය වූ වැලිගෙපල විහාර මන්දිරයේ උලුවස්ස ඇතුළු ආගමික ස්ථානවල කෙරුණු නිර්මාණද සුළු පටු නොවේ.
එසේම ඉවතලන ලී මගින් රාජ්‍ය ලාංඡන, ආභරණ පෙට්ටි, ඉසුරුමුණි කැටයම් ආකෘති ඇතුළු නිර්මාණ ගණනාවක් ඇය අතින් බිහිවී ඇත.
ලෝකය ජයගත හැකි නිර්මාණ ශිල්පිනියක වුවද ඇයගේ නිර්මාණ සඳහා වෙළෙඳ පොළක් නැත්තේ ඇය පිළිබඳව ඇයගේ නිර්මාණ පිළිබඳව කිසිදු මාධ්‍යකින් පළ නොවූ බැවිණි.
ඒ පිළිබඳව ඇය මෙසේ පැවසීය.
"අවස්ථා කිහිපයකදීම වැලිගෙපල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, සමෘද්ධි බළකායෙන් සබරගමුව පළාත් සභාවෙන් මට උදව් කළා. මගේ නිර්මාණ ප්‍රදර්ශනවලට ගත්තා. මගේ රාජ්‍ය ලාංඡන මිලදී ගත්තා. ඒත් මට පාරකට තොටක බැහැල යන්න බැහැ. ගෙදර එහාට මෙහාට යන්නේ රෝද පුටුවෙන් පාරට එන්න අම්මා හරි තාත්තා හරි හැතැම්ම එක හමාරක් විතර මාව උස්සගෙන එන්න ඕනි.
මට නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ තියෙනවා නම් මට පුළුවන් මේ කර්මාන්තය වැඩි දියුණු කරගන්න. මගේ අතින් නිර්මාණ බිහි වුණත් මේ ගැන කවුරුත් නොදන්න නිසා ඉල්ලුමක් එන්නේ නැහැ. පුළුවන් අයෙක් මට පරිගණයක් ලබා දෙනවා නම් අන්තර්ජාලය මගින් හරි මට මේ නිර්මාණ සමාජයට දෙන්න පුළුවන් එහෙම මට උදව් කරනවා නම් ලොකු පිනක්" යැයි කියා සිටියාය.
ඇය නිර්මාණය කරන භාණ්ඩ මිලදී ගැනීමකින් හෝ වෙනයම් අයුරකින් උදව් කිරීමට ඔබ කැමැති නම් වැලිගෙපල මහජන බැංකුවේ කේ. ඩී. සේපාලිකා විජේසේන යන ගිණුම් අංක - 017200170024878 ගිණුම් අංකයට මුදල් තැන්පත් කළ හැක. ඇයගේ මේ නිර්මාණ මිලදී ගැනීමෙන් ඔබට ඇයට සවියක් විය හැකිය. ඇයව දුරකථනය හරහා සම්බන්ධ කරගැනීමට 071 1 940 093 අංකය අමතන්න.
බළන්ගොඩ - අරුණ දිසානායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

