පිරිමින්ට හා ගැහැනුන්ට ලෙස වෙන වෙනම වෙන්කරන ලද රැකියාවන් අතීතයේ තිබුණද වර්තමානය වන විට ගැහැනුන් පිරිමින් හා කරටකර එම රැකියාවන්හී නිරත වනු දැකිය හැකියි. එලෙසම පිරිමි අයට දැරිය හැකි අවදානම් සහගත තත්ත්වයන් පවා කාන්තාවන් දරා ගනිමින් එම අවදානම් සහිත තත්ත්වයන්ට සාර්ථකව මුහුණදෙනුද දැකගත හැකිය. එලෙස දින ගණන් වනාන්තරයේ ගතකර වනසතුන් කැමරාකාච ගත කර ගැනීමද මෑතක් වනතුරු සිදුවූයේ පිරිමි ඡායාරූප ශිල්පීන් අතිනි. කාලය ක්‍රමයෙන් ගතවෙත්ම කාන්තාවන්ගේ දෑතට කැමරාව හුරුපුරුදු භාණ්ඩයක් බවට පත්වෙද්දී වනජීවී ඡායාරූපකරණයටද කාන්තාවන්ද යොමුවන්නට පටන් ගැනිණි. එලෙස වනජීවී ඡායාරූපකරණයේ යෙදී සිටින බැංකු නිලධාරිනියක පිළිබඳ අපට අසන්නට ලැබිණ. කාංචනා දසනායක නම් වන ඇය ඒ පිළිබඳව අප සමග මෙලෙස අදහස් බෙදාහදා ගත්තාය.
ගෙවත්තේ සිටින සත්තු ෆොටෝ ගන්න එක තමයි මුලින්ම කළේ
මම වනජීවී ජායාරූපකරණය කෙරෙහි යොමුවෙලා දැන් අවුරුදු හතරක් විතර වෙනවා. නමුත් පොඩි කාලේ ඉඳන් මම මේ ක්ෂේත්රයට ගොඩාක් ආසාවෙන් හිටියේ. ඒ කාලේ මගේ ළඟ හොඳ කැමරා තිබුණෙ නැහැ. ඒ නිසා ලස්සන ෆොටෝස් එකතු කරන්න පටන් ගත්තා. මගේ ස්වාමිපුරුෂයාගේ සහෝදරයා මේ ක්ෂේත්‍රෙය් නියැලී සිටියා. එයත් එක්ක කතාබහ කරද්දී වනජීවී ජායාරූපකරනයට තිබුණු ආසාව තවත් වැඩි වුණා. ඊට පස්සෙ මම පොඩි කැමරාවක් ගත්තා. කැනොන් 1100 කියන පොඩිම වර්ගයේ කැමරාවකින් තමයි මම ඡායාරූපකරණය ආරම්භ කළේ.
ඊට පස්සෙ පොඩි ලෙන්ස් ගත්තා. මගේ අම්මලා ඉන්නෙ නවගමුවේ. ඉතින් සෙනසුරාදා ඉරිදා ගෙදර ගියාම ගෙවත්තේ සිටින සත්තු ෆොටෝ ගන්න එක තමයි මුලින්ම කළේ. පොඩි පොඩියට පින්තූර අරන් ෆේස්බුක් දාන එක තමයි කළේ. මීළඟට මම කුරුල්ලන්ගේ ඡායාරූප ගැනීමට පටන් ගත්තා. ඒ තලංගම වැව ආශ්‍රිතව. මම මේ ක්ෂේත්රයට ආස නිසා මගේ සැමියත් මෙයට යොමු වුණා. ඊට පස්සෙ අපි දෙන්නයි, නිශාන්තයි, අමිල ගුණතිලක කියන අයියයි කණ්ඩායමක් විදිහට වනාන්තරවලට ගිහින් ඡායාරූපකරණයේ යෙදුණා. යාල , කුමන, විල්පත්තු වගේ සංචාර පටන් ගත්තේ ඉන් පසුවයි. කණ්ඩායමක් ලෙස මේ වගේ ගමන් යන එක වියදම් අඩුකරගන්න හොඳ ක්‍රමයක්.
අපේ විවාහ ජීවිතය සතුටින් ගතකරන්නත් ඡායාරූපකරණය උදව් වුණා කිව්වොත් නිවැරදියි
මම ආසකරන ක්ෂේත්රයට මගේ ස්වාමිපුරුෂයත් පිවිසීම නිසා දවස් ගණන් වනාන්තරවල සංචාරය කරමින් ජායාරූප ගැනීමට ලොකු සහයක් මට ලැබුණා. ඇත්තම කිව්වොත් අපේ විවාහ ජීවිතය සතුටින් ගතකරන්නත් මේක උදව් වුණා කිව්වොත් නිවැරදියි. මොකද අපි දෙන්නම එකම මාතෘකාවක් ගැන කතාබහ කරන්නත්, එකම විදිහකට හිතන්න ආසා කරන්නත් මේක නිසා හුරු වුණා.
අපි ගෙදර හිටියත් කතා කරන්නේ ෆොටෝ එකක් ගැන. ඒ වගේ අඩුපාඩු තියෙනවා නම් ඒවා අපි කතා කරනවා. තනි අදහසකට වඩා අපි දෙන්නගේම අදහස් බෙදාගන්නකොට ඒකෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වගේම වැඩකටයුතු කරගෙන යන්නත් පහසුයි. අපි මේ ගැන හදාරලා නැති වුණත් ඡායාරූපකරණයේ යෙදිලා ලබාගත්ත දැනුම අති විශේෂයි.
සති දෙක තුනක් ඡායාරූප ගන්න යන්න බැරිවුණොත් හිතට ලොකු විඩාකාරී බවක් දැනෙනවා
කැලෑවේ ඡායාරූප ගන්න ගියාම අලි විතරක් නෙවෙයි අනෙක් භයානක සත්තුත් අපේ කඳවුරු තියෙන ස්ථාන අසල සැරිසරනවා. එක් වතාවක් විල්පත්තුවේදී අලියෙක් අපේ පසුපස පැන්නුවා. නමුත් කියන්න ඕන අපි සත්තුන්ට හිරිහැර කළේ නැත්නම් උන් අපිට කරදර කරන්නේ නැහැ. මේ වගේ දවසින් දවස වනජීවී ඡායාරූපකරණයට ආසාවයි වැඩි වුණා. ඇත්තටම වනාන්තරයකට ගියාම දැනෙන නිදහස වෙන කොහේදිවත් ලැබෙන්නෙ නැහැ. මම බැංකු නිලධාරිනියක ලෙසයි සේවය කරන්නේ.
ඉතිං රැකියාව තුළ මනසට එන පීඩනය වැඩියි. මුදල් එක්ක වැඩකරන එක වගකීම් වැඩියි. ඒකත් එක්ක කැලෑවකට ගියාම හිතට දැනෙන නිදහස නිසා මනස සැහැල්ලු කරගන්න පුළුවන්. සති දෙක තුනක් ඡායාරූප ගන්න යන්න බැරි වුණොත් හිතට ලොකු විඩාකාරී බවක් දැනෙනවා. විල්පත්තුව වගේ වනාන්තරයකට ගියාම දැනෙන නිදහස මම හිතන්නේ වෙන කොහේදිවත් ගන්න බැහැ. අපි පරිසරයේ කොටසක් කියන එක එහෙදි දැනෙනවා.
මේ වසරේ ලංකා බැංකුවේ කැලැන්ඩරය සඳහා යොදා ගැනුණේ මගේ ඡායාරූප
බැංකු ක්ෂේත්රයෙන් සමු අරන් ඡායාරූපකරණයේ යෙදෙන්න තියෙනවානම් හොඳයි කියලා හිතෙන අවස්ථා තියෙනවා. නමුත් මේ ක්ෂේත්රයෙන් ජීවත් වෙන්න පුළුවන් විදිහට ආර්ථිකමය වටිනාකමක් ලැබෙනවා නම් රැකියාවට සමු දීලා පූර්ණකාලීනව ඡායාරූපකරණයේ යෙදෙන්න ආසයි. මම මොරටුව විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරන නෙතදර කියන තරගයට පළමුවරට පසුගිය වසරේ ඉදිරිපත් වුණා. ඒකෙන් පළමු තැන මට දිනාගන්න ලැබුණා.
එච් ටී එස් එල් කියන ජාත්‍යන්තර තරගයක් තිබුණා. එයට මම ඉදිරිපත් කළ ඡායාරූප 2ක් තෝරාගෙන තිබුණා. මේ වසරේ ලංකා බැංකුවේ කැලැන්ඩරය සඳහා යොදා ගැනුණේ මගේ ඡායාරූප. ඒ NRFC ඒකකයේ අය ෆේස්බුක් හරහා මගේ ඡායාරූප දැකලා මගෙන් ඉල්ලීමක් කළා. බැංකුවේ අභ්‍යන්තර සේවකයෙක් මේ වගේ ඡායාරූප අරගෙන තිබුණේ නැති නිසා මට අවස්ථාවක් හිමි වුණා. අනාගතයේදී මේක නවත්තන්න කිසිම උවමනාවක් මට නැහැ. මොකද මේකෙන් හිතට ලැබෙන නිදහසේ වටිනාකම කියලා නිම කරන්න බැහැ.
අද ජීවත් වෙන කාන්තාවන්ට රැකියාවට ගියාට පස්සේ වෙනයම් දෙයක නියැලෙන්න අවස්ථාවක් නැති තරම්. මොකද ගෙදර උයනපිහන දේවල්, ස්වාමිපුරුෂයාගේ වැඩ ඒවත් කරන්න සිද්ධ වෙනවනේ. මේ නිසා කාන්තාවන් බොහෝසෙයින් මානසිකව පීඩනයට ලක්වෙනවා. ඒ පරිසරයත් එක්ක තමන්ට සතුටු දෙයක නියැළෙන්න කාන්තාවකට අවස්ථාව ලැබෙනවා කියන්නේ ලොකු දෙයක්. මම කියන්නේ ජීවත්වෙලා ඉන්න පොඩි කාලේ අනුන්ගේ වැඩ කර කරම ඉන්නෙ නැතිව තමන් කැමති දෙයකුත් කරන්න ඕන. අපි සතුටින් ජීවත් වෙන්න ඕන වගේම සතුටින් මැරෙන්න ඕන. ඒ නිසා අපි කැමති දෙයක නිරත වෙන්නත් කාලය වෙන්කර ගන්න ඕන.