ගුවන සරසන කාන්තා පැරෂුට් සෙබළියෝ
හමුදා සේවය බොහෝ රළුපරළු වෘත්තියකැයි ඇසූ පමණින් සිතෙන්නේ ගිනි අවිය සේම තනි හිතද බරක් යැයි නොසිතා රටක රැකවරණයේ බරද ඔවුන් දරනා හෙයිනි. ලකඹර සුරකින්නට ගුවනත වසාගත් මහා සෙවණැල්ල වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්යභාරය තුළ ඔවුන්ගේ අභිමානය සටහන් කරගත් තවත් අවස්ථාවක් වන්නේ පැරෂුට් පැනීමයි. රට රැකීමේ කාර්යයට අමතරව රටේ අභිමානය සුරැකීමේද කාර්යයට උරදුන් ඔවුන්ගේ වටිනාකම් තවත් වැඩිවන්නේ පැරෂුට් කාන්තා සෙබළියන් නිසාවෙනි. ඔවුන් ඉහළ අහසේ සිට නිරුපද්‍රිතව මහ පොළොවට එන්නේ කාන්තාවන් කෙතරම් සවිමත්දැයි මෙන්ම කෙතරම් නිර්භීතදැයි කියන්නට මෙනි.
පිරිමි පැරෂුට් භටයන් හා කරට කර හිඳිමින් නිල් අහස තරණයට පැරෂුට් ගුවන් කාන්තාවන් සවිමත් බව ඔවුන්ගේ විස්මිත දස්කම් හමුවේ මැනවින් සනාථ වෙයි. එසේ වන්නේ ඔවුන් සතු ධෛර්යයත්, නොපසුබස්නා උත්සාහයත් හේතුවෙන් බව නම් නොකිවමනාය.ගුවන් හමුදාවේ පැරෂුට් පුහුණු පාසල ආරම්භ වන්නේ 2004 වසරේ ජනවාරි මස 12 වන දින ගෘප් කැප්ටන් පී.ආර්. පෙරේරා අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරමිනි.
ලංකාවේ පළමු වරට පැරෂුට් කාන්තාවන් ලෙස පාඨමාලාව හදාරා නිම කරන්නේ 2008 වසරේදී කාන්තාවන් 08 දෙනෙකි. එයින් පසුව පළමු වතාවට පැරෂුට් කාන්තාවක් ලෙස ගොඩබසින්නේ ඒඩබ්/2557 නායක ගුවන් කාන්තා හේවාගමගේ 2008 පෙබරවාරි 15 දින කටුනායක ගුවන් හමුදා කඳවුරටය. එම කණ්ඩායමේ සිටි සෙසු පැරෂුට් පනින්නියන් වූයේ නායක ගුවන් කාන්තා පතිරණ එම්.පී.ඒ., නායක ගුවන් කාන්තා කුමාරසිංහ එස්.කේ.ඩබ්.එම්.බී.එන්., ගුවන් කාන්තා ප්‍රනාන්දු එස්.ඩී.බී.කේ., ගුවන් කාන්තා අනුරාධා එම්.එස්.සී., ගුවන් කාන්තා රණසිංහ කේ.එච්.එන්. සහ ගුවන් කාන්තා රාජපක්ෂ ආර්.එම්.අයි.ඩී. යන ගුවන් කාන්තාවන්ය.
මේ වනවිට පැරෂුට් පාඨමාලාව හදාරා ඇති ගුවන් කාන්තාවන් 28 දෙනෙකු පමණ සිටින අතර ඒ අතර ගුවන් හමුදා අධිකාරී ලත් නිලධාරිනියක්ද වෙයි. ගුවන් හමුදා පැරෂුට් කණ්ඩායම ඉතාමත් දක්ෂ ලෙස පැරෂුට් සංදර්ශන හා තරගවලදී තම දක්ෂතා දක්වමින් ගුවන් හමුදාවේ කීර්තිනාමය ඔප් නංවන බව නම් කිව යුතුමය.
මෙසේ පැරෂුට් පැනීමේ කාන්තාවක ලෙස නිපුණත්වය ලබන්නට නම් ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසල තුළින් නිවැරදි පුහුණුවක් ලබාගත යුතුය. එහිදී දුෂ්කර, අසීරු පුහුණු පාඨමාලාවක් හැදෑරිය යුතුව තිබෙන අතර, මෙම පුහුණුව පිරිමි පැරෂුට් භටයන් මෙන්ම කාන්තාවන්ද එක සේ සිදුකළ යුතුය. මුල්ම පැරෂුට් පැනීමට ප්‍රථම දුෂ්කර ගොඩබිම් පුහුණුවක් නිමකළ යුතු අතර, එහිදී පැරෂුට් පැනීම සඳහා ශාරීරික යෝග්‍යතාව සකස් කිරීම, පැරෂුට් පැනීමේ මූලික පියවර ප්‍රගුණ කිරීම, පැරෂුට් පැනීම් පුහුණු වීමේ කුලුන ආශ්රිත පුහුණු වීම් නිමාකළ යුතු වෙයි. මේ සියල්ල සිදු කිරීමෙන් පසුව පළමු පැනීම සිදු කරනු ලබයි. පැරෂුට් ලාංඡනය පිරිනැමෙන්නේ නියමිත පැනීම් ගණන සම්පූර්ණ කිරීමෙන් අනතුරුවය.
පැරෂුට් පැනීමේ මූලික පාඨමාලාව පමණක් සම්පූර්ණ කිරීමෙන් පසුව කාන්තා පැරෂුට් සෙබළියන් සඳහාද පැරෂුට් එතීමේ පාඨමාලාව, නිදහස් පැරෂුට් පැනීමේ පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව ලබා දී තිබේ. ඒ අනුව නිදහස් ආර යටතේ අඩි 10,000 ට ඉහළ අහසේ පියාසර කරන ගුවන් යානයක සිට පැන සීරුවෙන් පොළොවට පතිත වීමේ හැකියාව සහිත ගුවන් කාන්තා සෙබළියන් ගුවන් හමුදාව සතු වෙයි. කාන්තා පැරෂුට් සෙබළියන්ද ගුවන් හමුදාවේ සියලු සංදර්ශන ඔපවත් කරමින් සිය දායකත්වය දක්වන අතර ගුවන් කරණම්ද සහිතව සිය දක්ෂතා දක්වනු දැකිය හැක. මේ වනවිට එහි අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන්නේ විංග් කමාන්ඩර් ජගත් ගොඩකන්දය.
පැරෂුට් සම්බන්ධ ඉගෙනීම්වලින් ලැබෙන දේ මුළු ජීවිත කාලෙටම වටිනවා - OW 01083 ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් පියුමි ජයසුන්දර
පැරෂුට් කිරීම කියන එකම අභියෝගාත්මකයි. කෙල්ලෙක් එහෙම කරයිද කියන එකම ගොඩක් දෙනා හිතනවා. ඒ වුණාට හුඟක් දෙනෙක් ඉන්නව පැරෂුට් කාන්තාවන් විදිහට. හමුදාව විදිහට අපට අභියෝග බාරගන්න එක පුරුදුයි. ගෙදරින් කිසිම ප්‍රශ්නයක් නෑ. මම තාම අවිවාහකයි. අපට අනිවාර්යයෙන්ම ගෙදරින් සහයෝගය අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි හම ගැන පැහැය ගැන හිතනවට වඩා මේ දෙයින් ලැබෙන අත්දැකීම වටිනවා. සමට වෙන දෙයක් නැවත ලබාගන්න පුළුවන්. නමුත් පැරෂුට් සම්බන්ධ ඉගෙනීම්වලින් ලැබෙන දේ මුළු ජීවිත කාලෙටම වටිනවා. මේකෙදි අපි පනින හැම පැරෂුට් පිම්මක්ම අලුත් පිම්මක් විදිහටයි සලකන්නෙ. එක පිම්මකින් පස්සෙ හැම වෙලාවකම අලුත් තත්ත්වයක් යටතෙයි පනින්නෙ.
පළමුවෙනි පැනීමම අලුත් දෙයක්. බිම ඉඳන් කරපු පැනීම්වලින් පස්සෙ අඩි 1,000 න් කරන පළමු පැනීම බය හිතෙන්නෙ නෑ කියන්න බෑ. බයක් දැනුණත් ඒ අභියෝගය ජයගන්න එක තමයි සාර්ථකත්වය. පළවෙනිම වෙලාවෙ දොරට යනකොට හිතුණෙ මම දැන් පනින්න යන්නෙ කියලා. පැන්නම එළිය දැක්කම අමුතු සතුටක් දැනුණා. පැරෂුට් එක විවෘත වෙනවා දැනුණයින් පස්සෙ බිමට බහින්න ලෑස්ති වෙනවා. මම පළමුවෙනි පැනීම කළේ 2013 ජනවාරිවල. මීට අමතරව මම බෝම්බ නිෂ්ක්‍රීය කිරීම පිළිබඳවත් හැදෑරීම් කළා. මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරපු මම තමයි දැනට මේ කණ්ඩායමේ ඉන්න එකම කාන්තා නිළධාරිනිය.
මම තමයි දැනට කාන්තාවන්ගෙන් වැඩිම පැනීම් ගාණක් කරලා තියෙන්නෙ - AW 2723 LAC රාජපක්ෂ
මම ගුවන් හමුදාවට ආවේ 2007. ගම මාතලේ. 2008 ඉඳන් පැරෂුට් කළා. දැනට පැනීම් 478 ක් කරලා තියෙනවා. මම තමයි දැනට කාන්තාවන්ගෙන් වැඩිම පැනීම් ගාණක් කරලා තියෙන්නෙ. මම පාඨමාලා තුනම හදාරලා තියෙනවා. ගුවන් හමුදා පැරෂුට් කණ්ඩායම සහභාගි වන හැම පැරෂුට් සංදර්ශනයකටම මම සහභාගි වෙනවා. කොහොම වුණත් මට හැම පැරෂුට් පැනීමක්ම අලුත් පැනීමක්. ඒක හැම අතින්ම අලුත් අත්දැකීමක්. පළමුවෙනි එකේ ඉඳන්ම ඒක එහෙමයි. පළමුවෙනි පැනීම් ටිකක් බයයි. මොකද අපි පුහුණුවීම් කළේ පොළොව මට්ටමේ ඉඳලයි. එතනින් එහාට ගිහින් මුල්ම පැනීම කරද්දි ටිකක් බයයි. මොනවගේ අත්දැකීමකට මුහුණදෙන්න වෙයිද කියලා හිතෙනවා. දැන් මම විවාහකයි. සැමියාත් ගුවන් හමුදාවේ පැරෂුට් පුහුණු කඳවුරේම තමයි. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. පැරෂුට්වලට එන්න මුලින්ම එන්න ලොකු ආසාවක් තිබුණා. ඒ හින්දා බයක් තිබුණෙ නෑ.
මගෙත් එක්ක හැදෑරීම් කරපු අනිත් හැමෝම පිරිමි අය - AW 2724 LAC වික්‍රමසිංහ
මගේ ගම රත්නපුර ගොඩකවෙල පැත්තේ. ගුවන් හමුදාවට ආවෙ 2007. මම මේ කණ්ඩායමේ අන්තිමටම පුහුණුවීම් කරලා ආවෙ. ආසාවෙන් හිටියෙ මේ පාඨමාලාව කරන්න, ඉතින් කළා. මගෙත් එක්ක හැදෑරීම් කරපු අනිත් හැමෝම පිරිමි අය. ඒ අයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මට බැරිවෙයි කියලා හිතපු හැම වෙලාවකම මට පුළුවන් කියන ශක්තිය දුන්නෙ ඒ අය. හුගක් හොඳින් මම පාඨමාලාව හැදෑරුවා. කිසිම අනතුරක් වුණේ නෑ. මේ දේ තෝරාගත්තෙ ආසාව නිසාමයි. පාඨමාලාව කරන කාලෙ කළුවෙලා හෙම තමයි හිටියේ. ඒත් ඉතින් පස්සෙ ඒවා හදාගන්න පුළුවන් නිසා එච්චරම හිතුවෙ නෑ. අභියෝගයක් වුණත් ආසාවෙන් මුහුණ දුන්නම සාර්ථකව කරගන්න පුළුවන්. පළමුවෙනි පැනීම සඳහා උඩට ගිය වෙලාවෙ ඉඳන් බය තිබුණා. පනිද්දිත් ටිකක් බය හිතුණා. ඒත් දැන් ඒක ගාණක් නෑ.
මම ගැහැනු ළමයෙක් ඒ නිසා මට මේක කරන්න බෑ කියලා මම කවදාවත්ම හිතුවෙ නෑ - AW 2891 LAC සඳුනිකා
මම ගුවන් හමුදාවට ආවේ 2007. මගේ ගම කුරුණෑගල. මම කොහොමත් විවිධ හැදෑරීම්වලට ආසයි. විශේෂයෙන් අභියෝග බාරගන්න කැමතියි. ඒ නිසාමයි මේ පාඨමාලාවට සම්බන්ධ වුණේ. පැරෂුට් පැනීම කියන්නෙ අමුතුම දෙයක්. ඒක ජීවිත කාලෙටම අමතක නොවන අත්දැකීමක්. ලබාදුන්න පුහුණුව ඉතාමත්ම හොඳයි. හරියටම පුහුණුව කළොත් කිසිම හානියක් නැතිව සාර්ථක පැනීමක් කරන්න පුළුවන්. මම අවිවාහකයි තාමත්. ගෙදරින් නම් ප්‍රශ්නයක් නෑ මේ වගේ දෙයක් කළාට. අනික මට බයක් කියල දෙයක් දැනුණෙවත් අවදානමක් කියලා හිතුණෙවත් නෑ.
ඒ නිසා බය නැතිව මම හැදෑරීම් කළා. මේක හමුදාවක්. මුලින්ම අපි එන්නෙ යුද්ධෙකට වුණත් මුහුණදෙන්න. ඉතින් එහෙම එන එකේ පැරෂුට් එකකින් පනිනවා කියන්නෙ මහ ලොකු දෙයක් නෙවෙයි. ඒ හින්දා මම ඒ ගැන හිතුවෙ නෑ. අනික මම ගැහැනු ළමයෙක් ඒ නිසා මට මේක කරන්න බෑ කියලා මම කවදාවත්ම හිතුවෙ නෑ. මේක අවදානමක් නෙවෙයි. උවමනාවක් තියෙනවා නම් ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරන්න පුළුවන්.
පළමුවෙනි පැනීමේදී ජීවිතයත් මරණයත් අතර බය හැඟීමක් දැනුණා - AW 2972 LAC රත්නායක
මම ගුවන් හමුදාවට බැඳෙන්නෙ 2009 දි. ගම නුවර. දැනට නම් මම විවාහකයි. පැරෂුට් පාඨමාලාව කරද්දි නම් මම අවිවාහකයි. පාඨමාලාව කරද්දි ගෙදරින් දන්නෙ නෑ. ගෙදරට කිවුවෙත් නෑ. පස්සෙ තමයි මම කිවුවෙ මම මෙහෙම පාඨමාලාවක් කරනවා බයවෙන්න දෙයක් නෑ කියලා. සැමියා ගුවන් හමුදාවෙමයි. දැනට නම් අකමැත්තක් නෑ. ඒත් අනිත් පාඨමාලා කරනවට නම් එච්චර කැමැත්තක් නෑ. ටිකක් ඒ ගැන බයයි. මම මූලික පැරෂුට් පාඨමාලාව විතරයි කළේ. ඒත් මේක ජීවිතේට අලුත් අත්දැකීමක්. පළමුවෙනි පැනීමේදී ජීවිතයත් මරණයත් අතර බය හැඟීමක් දැනුණා. එදා තිබුණෙ ආසාවත් බයත් එකතු වෙච්ච හැඟීමක්. කොහොම වුණත් එන බාධක මොනවද? මොනවගේ දේවල්වලට මුහුණදෙන්න වෙයිද වගේ හැමදේම හඳුනාගන්න ලැබෙන්නෙ පළමුවෙනි පැනීමේදිම තමයි ඉතින්.
කවදාවත්ම මම කාන්තාවක් කියන එක මේකෙදි ප්‍රශ්නයක් වුණේ නෑ - AW 3238 LAC රුක්ෂාණි
මම පදිංචිය කතරගම. ගුවන් හමුදාවට බැඳිලා අවුරුදු 05 ක් විතර වෙනවා. පැරෂුට් කරන්න අරගෙන අවුරුදු 03 ක් විතර. ගුවන් හමුදාවට එන්න ලොකු ආසාවක් තිබුණා. ඒ ආසාවම පැරෂුට් පාඨමාලාව හදාරන්නත් තිබුණා. ඉතින් බයක් හිතුණෙ නෑ. ආසාව හින්දාම ඉගෙනගත්තා. තෝරගනිද්දි මට කරන්න පුළුවන් වෙයිද කියලා හිතුණා. ඒත් ඉතින් කරලම බලන්න තීරණය කළා. කවදාවත්ම මම කාන්තාවක් කියන එක මේකෙදි ප්‍රශ්නයක් වුණේ නෑ. මට කලින් ගොඩක් ගැහැනු ළමයි පාඨමාලාව කරලා තිබුණා. ඒ නිසා යන්තම් හරි බයක් තිබුණා නම් ඒකත් නැති වුණා. යන ගුවන් යානයකින් පනිනවා කියන්නෙ ලොකු අභියෝගයක් තමයි. ඒත් දැඩි කැමැත්තත් ආසාවත් නිසා කළා. මම තාම අවිවාහකයි. අම්මලාගේ අකමැත්තක් තිබුණා. ඒත් මම කළා. ඉදිරි පාඨමාලාත් හදාරන්න බලාපොරොත්තු වෙනවා.
හිතේ තිබුණු ආසාව නිසා අභියෝගයක් කියලා නොසලකා හැදෑරීම් කරන්න ආවා - AW 3069 LAC සමරකෝන්
මගේ ගම කුරුණෑගල. මම ගුවන් හමුදාවට ඇවිත් අවුරුදු පහක් වෙනවා. පැරෂුට්වලට ඇවිත් අවුරුදු 02 යි. මට පැරෂුට් ඉගෙනගන්න හිතුණෙ මට කලින් පාඨමාලාව කරපු අයව මම දැක්කාමයි. අභියෝගයක් කියලා හිතුණා. ඒත් හිතේ තිබුණු ආසාව නිසා අභියෝගයක් කියලා නොසලකා හැදෑරීම් කරන්න ආවා. යන්න කලින් අමාරු ඇති කියලා හිතුණට පාඨමාලාවට ගියාට පස්සෙ නම් එහෙම හිතුණෙ නෑ. පුහුණු කරන්න අපට නිවැරදිව මගපෙන්වීම ලැබුණා. කියපු දේවල් ඒ විදිහටම කළාම අමාරුවක් නැතිවම හොඳට පාඨමාලාව කරන්න පුළුවන්කම ලැබුණා. පළමුවෙනි පැනීමෙදි නම් ටිකක් බය හිතුණා. පස්සෙ ඒක හරි ගියා. පාඨමාලාවට එද්දි මට මේක කරගන්න පුළුවන් වෙයිද කියලා හිතුණා. එද්දිම නම් ශාරීරික යෝග්‍යතාවක් තිබුණෙ නෑ. ඒත් පස්සේ හදලා ගත්තා. මම දැන් විවාහකයි. සැමියා ගුවන් හමුදාවෙ. ඒ නිසා ගාණක් නෑ. ගෙදර අය නම් ඉස්සර වගේම තාමත් බයෙන් ඉන්නේ.
ටිකක් හරි බය හිතුණත් ඊට වඩා හිතේ ධෛර්යය තිබුණා - AW 3070 LAC ඩිල්ෂානි
මගේ ගම මුද්දරගම. දැන් ගුවන් හමුදාවට ඇවිත් අවුරුදු 06 ක් වෙනවා. පැරෂුට් කරන්න තෝරගත්තේ ආසාව හින්දයි. මේක කලින් කරපු අය දැක්කම කරන්න හිතුණා. කෙල්ලෙක් හින්දා මට බැරි වෙයි කියලා නම් මට කවදාවත් හිතුණෙ නෑ. ටිකක් හරි බය හිතුණත් ඊට වඩා හිතේ ධෛර්යය තිබුණා. පළමුවෙනි පැනීමෙදි නම් බයක් හිතුණා. ටිකකින් ඒකත් හරිගියා. ගුවන් යානයෙන් එළියට ආවට පස්සේ දැනුණෙ සතුටක්. ඒක හරි ලස්සන අත්දැකීමක්. අම්මලා මුලින් මේක කරනවාට අකමැති වුණා. ටිකක් බය වුණා. පස්සේ නම් එයාලට ගාණක් නෑ. හම ගැන මුහුණ ගැන එච්චර ගාණක් නෑ. ඒ ගැන එච්චර කල්පනා කළෙත් නෑ. මොකද හමුදාවට ඇවිත් වැඩ කරද්දි කොහොමටත් පෙනුම ගැන ඒ තරම්ම හිතන්නෙ නැති හින්දා ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. අපි ඒවට සූදානම් වෙලාම තමයි හමුදාවට එන්නෙ. ඒ නිසා ඒක ගාණක් නෑ.
අනිත් අය කරද්දි එයාලට පුළුවන් නම් මටත් පුළුවන් ඇති කියලා හිතුවා - AW 3186 LAC කෞෂල්‍යා
මම ගුවන් හමුදාවේ දැනට අවුරුදු පහක්. පදිංචිය මාතර. මම පැරෂුට් තෝරගත්තේ මට දැක්කම හුඟක් ආස හිතුණ හින්දා. තෝරගනිද්දි නම් ටිකක් බය හිතුණා මේක කරන්න. ඒත් පුහුණු වීම්වලට ගියාම තේරුණා මේක කියන තරම් අමාරු දෙයක් නෙවෙයි කියලා. මුලදි හිතුණා කෙල්ලෙක් හින්දා මට කරන්න පුළුවන් වෙයිද කියලා. ඒත් අනිත් අය කරද්දි එයාලට පුළුවන් නම් මටත් පුළුවන් ඇති කියලා හිතලා කළා. ගෙවිච්ච හැම දෙයක්ම අලුත් දේවල්. කලින් කරලා තිබුණෙ නෑ ඒ මොනවත්. ඉතින් හැම පාඩමක්ම අලුත් අත්දැකීමක් වුණා. පළමුවෙනි පැනීම බය තිබුණා. දෙවැනි දවසෙත් තිබුණා. පස්සෙ නම් හරි ගියා. ඉස්සරහට නම් කරන්න ලොකු බලාපොරොත්තුවක් නෑ. බය හින්දා නෙවෙයි. ඒත් කරන්න බැරි වෙයි.
අද වෙනකම්ම වැටිලා තුවාලයක්වත් සීරීමක්වත්වෙලා නෑ - AW 2960 LAC දිනුෂානි
මගේ ගම රඹුක්කන. මම ගුවන් හමුදාවට ඇවිත් අවුරුදු පහමාරක් විතර වෙනවා. පැරෂුට්වලට ඇවිත් අවුරුදු දෙකක් විතර වෙනවා. පැරෂුට්වලින් පැනීම තෝරගත්තෙ ආසාව තිබුණු හින්දයි. පැරෂුට් කරනකොට මොනවගේ අත්දැකීමක් ලැබෙයිද කියලා දන්නෙ නැති හින්දා බයක් තිබුණා. කුතුහලයක් තිබුණා. පුහුණුවීම් කරගෙන යද්දි මේ හැදෑරීමත් සාමාන්‍ය දෙයක් වුණා. ඒ නිසා සාමාන්‍ය විදිහටම හිතලා පුහුණුවීම් දිගටම කරගෙන ගියා. හොදටම පුහුණුවීම් කරපු නිසා අද වෙනකම්ම වැටිලා තුවාලයක්වත් සීරීමක්වත්වෙලා නෑ. අනික පුහුණුවීම් කරද්දි හරියන්න පුළුවන් තැන් වගේම වරදින්න පුළුවන් තැනුත් ඒ අය අපිට කියලා දෙන හින්දා ප්‍රශ්නයක් නෑ. හරියටම පැනීම් කරන්න පුළුවන්. පළමුවෙනි පැනීම වෙලාවෙනම් හිතා ගන්න බෑ මොනවද කරන්නේ කියලා. දෙවෙනි එකේ ඉදන් නම් වෙන්නේ මෙහෙමයි කියලා දැනන් හිටිය හින්දා බය අඩු වුණා. ගෙදරින් අම්මා නම් හොදටම බය වෙලා හිටියේ. දැන් නම් ගාණක් නෑ. මම විවාහකයි. එයා යුධ හමුදාවේ.
මට බැරි වෙයි කියලා මම කවදාවත්ම හිතුවෙ නෑ - AW 3556 LAC කළුආරච්චි
මම පැරෂුට් කරන්නෙ 2014 ඉඳන්. පදිංචිය නාවලපිටියේ. අනිත් අය කරද්දි ආස හිතුණ හින්දයි කරන්න ආවේ. හුඟක්ම තිබුණෙ ආසාව. ඒ වෙද්දි මම විවාහ වෙලා හිටියෙත් නෑ. ඒ හින්දා ඉතින් මේක හැදෑරීම් කළා. බයක් කියලා හිතුණෙත් නෑ. අනික මට බැරි වෙයි කියලා මම කවදාවත්ම හිතුවෙ නෑ. ඒ නිසා පුළුවන් කියලා හිතාගෙන කරපු නිසාම වෙන්න ඇති මට බයක් දැනුණෙ නෑ. පෙනුම ගැන එච්චරම හිතුවෙත් නෑ. පළමුවෙනි පැනීම වෙලාවෙ නම් පුංචි බයක් හිතුණා. ඊට පස්සෙ මට මේ තරම් දෙයක් කරන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටු හිතුණා. දැන්නම් ප්‍රශ්නයක් නෑ. හැදෑරීම් කාලෙ ඉඳන්ම හොඳට කරගෙන ගිය හින්දා අභියෝගයක් නෑ. හොඳින් කරගෙන ගියා. දැන් විශේෂයක් නෑ ඉස්සරහට බබා ලැබුණමත් කරන්න පුළුවන් වුණාම ඉතිරි ටිකත් කරගෙන යනවා.
අහසෙ ඉඳන් පනිනකොට මොකද වෙන්නෙ, ඒක කොහොම වෙයිද කියන අත්දැකීම ලබාගන්න ලොකු වුවමනාවක් තිබුණා - AW 3097 LAC මධුභාෂිණී
මම ගුවන් හමුදාවට ඇවිත් අවුරුදු 05 ක් විතර වෙනවා. මගේ ගම මතුගම. පැරෂුට් කරන්න ආවෙ 2013. ආසා හිතුණ හින්දයි පැරෂුට් ඉගෙනගන්න පාඨමාලාවට සම්බන්ධ වුණේ. බයක් හිතුණත් ආසාවත් එක්ක ලොකු ශක්තියක් තිබුණා. ඒ නිසා හොඳට පාඨමාලාව කළා. අනික ඒ දවස්වල ශරීරය ගැන හිතනවට වඩා හිතුවෙ පාඨමාලාව ගැන. ඒකෙ තියන විශේෂත්වය ගැන. ලැබෙන බැජ් එක ගැන. එතකොට අහසෙ ඉඳන් පනිනකොට මොකද වෙන්නෙ, ඒක කොහොම වෙයිද කියන අත්දැකීම ලබාගන්න ලොකු වුවමනාවක් තිබුණා.
ඒ නිසා මේක කළා. ඉස්සෙල්ලාම නම් බයක් හිතුණා. උඩට ගියාම අම්මා ඇතුළුව හැමදේම මතක් වුණා. මොනවා වෙයිද කියලා දන්නෙ නෑනෙ. කොහොම වුණත් මේ වගේ දේවල් කරන්න ගැහැනු ළමයෙකුට වුණත් පුළුවන්. තමන් ගැන විශ්වාසයක් තියෙනවා නම්, ආත්ම ශක්තිය තියෙනවා නම් දරාගැනීමේ ශක්තිය හිතට එනවා. දැන්නම් මම විවාහකයි. සැමියා ගුවන් හමුදාවෙමයි. මට පොඩි බබෙක් ඉන්නවා. බබා ටිකක් ලොකු වුණාම ඉතුරු ටිකත් කරනවා. විවාහ වෙන්න කලිනුත් ප්‍රශ්නයක් තිබුණෙ නෑ. අම්මලාත් කැමැත්තෙන් හිටියෙ.
ඡායාරූප- ඒෂාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

