ජාත්‍යන්තර කාන්තා දිනය හෙටට( 08 දා) යෙදී තිබේ. මෙවර අපේ රටේද එය උත්කර්ෂවත් අයුරින් සමරන්නට අවශ්‍ය සියලුම කටයුතු රාජ්‍ය මට්ටමින් මෙන්ම සංවිධාන මට්ටමින්ද සූදානම් කර අවසානය. දැයේ දරු දැරියන් හා කාන්තාවන්ගේ සංවර්ධන කටයුතු භාර ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා මෙවර ජාතික සැමරුම වෙනුවෙන් තෝරාගෙන ඇති මාතෘකාව වන්නේ 'ඇගේ ශක්තිය දැයේ ශක්තියයි' යන්නයි.
රට තුළ සාමය හා නිදහස ස්ථාපිත වී රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා පියවර තබන වකවානුවක ශ්‍රී ලංකාව ආර්ථික හා සමාජීය වශයෙන් ඔසවා තබන්නට කාන්තාවන් ලබාදෙන අසමසම දායකත්වය ගෞරවයෙන් සිහිපත් කිරීමට සමස්ත ජාතියම එක්කර ගැනීමට ලැබීම භාග්‍යයක් ලෙස තමා සලකන බව අමාත්‍යවරයාගේ කාන්තා දින නිල ප්‍රකාශයේ සඳහන් කර තිබේ.
සෙනෙහෙබර මවක්, දියණියක්, සොහොයුරියක් සහ බිරිඳක් ලෙස විවිධ වූ භූමිකා මගින් කාන්තාව පවුලේ පැවැත්ම වෙනුවෙන් කාර්යභාර්යයන් රාශියක් ඉටුකරනු ලබයි. ඒ සඳහා ඇය ලබාදෙන ශක්තිය ජාතිය ගොඩනැගීමට අවශ්‍යවන්නාවූ ශක්තියම වන්නේය. ඇගේ ශක්තියෙහි වටිනාකම මෙන්ම ඇගේ දියුණුව එහි ඇති දායකත්වය අගේ කිරීම සඳහා මෙන්ම ඇගේ ශක්තියෙහි අගය ලොවට පසක් කරලීමද අරමුණු කොට ගෙන මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සඳහා 'ඇගේ ශක්තිය දැයේ ශක්තියයි' යන තේමාව යොදාගත් බව අමාත්‍යවරයාගේ නිල ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
කාන්තාවන් අතර ස්වයං රැකියා සහ අතිරේක ආදායම් මාර්ග වැඩිදියුණු කිරීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම සඳහා ව්‍යවසායක කාන්තාවන්ට පොලී රහිත රුපියල් ලක්ෂ දෙකහමාරක් දක්වා ණය ලබාදෙන 'ලිය ඉසුර' විශේෂ ණය යෝජනා ක්‍රමය දියත් කිරීමද මෙවර ජාතික කාන්තා දින සැමරුමට සමගාමීව සිදුකිරීමට නියමිතය. මෙවර ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම හෙට (08දා) කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී ජනාධිපති ආර්යයා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.