ජීවන අරගලය ජයගන්න තම ස්වාමිපුරුෂයාට ශක්තිය දෙමින් ඔහුගේ වඩු වැඩට සහාය වන අතරම ඉතිරිවන ලී කැබලිවලින් ඇය විසිතුරු නිර්මාණ කරයි. රැකියා සොයමින් කාලය අපතේ නොයවා තම දරු තිදෙනාට රැකවරණ සලසමින් කාලයෙන් උපරිම ප්රයෝජන ගන්නා ඇය හම්බන්තොට, පල්ලෙමලල ගෙවල් 9 ගම්මානයේ වෙසෙන පී.කේ ඒ සුනේත්රා නම් වේ. මිනිස් සිරුරට හා පරිසරයට හිතකර නව නිර්මාණ එනම් ලී පිඟන්, හැඳි, මල් පෝච්චි, අලු බඳුන්, ලාම්පු ආවරණ, මේස ලාම්පු ආදිය ඇය අතින් නිම වෙයි.
"මගේ මහත්තයා බුද්ධික. එයා ගෘහභාණ්ඩ සෑදීම කරනවා. අපි දෙන්නා එකටයි වැඩ කරන්නේ. මුලින් ඉතිරිවන ලී කැබලි අපි ලිපට දැම්මා. පස්සෙ මේ අපතේ යන ලී කැබලිවලින් එක් එක් නිර්මාණ කරන්න පුළුවන්නේ කියලා මට හිතුණා.
දැන් කුඩා කැබැල්ලක්වත් අපතේ යන්නෙ නැහැ. ඒ වගේම මෙලෙස නිර්මාණ කිරීමෙන් මානසික සතුටක් ලැබෙනවා. මට මේ ගමනේ ඉදිරියට යන්න දිරිය දුන්නේ පල්ලෙමලල ජනශක්ති බැංකුවයි" යනුවෙන් සුනේත්රා පැවසීය.
දෙබරවැව- චින්තා ඉවෝනි