'අපේ සමාජය තුළ 'ගෙදර බුදුන් අම්මා' කියා පැවසුවත් එය ක්‍රියාවට නංවන්නේ කීයෙන් කීදෙනෙක්ද යන්න ගැටලුවක
ගෝලීය මට්ටමින් මෙන්ම රාජ්‍ය වශයෙන්ද මේ දිනවල ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී ඇත්තේ කාන්තා හිංසනය හා ප්රචණ්ඩත්වය පිළිබඳ කතා කිරීමයි. සමාජයට කාන්තාවක් වන ඇය විටෙක මවක්, දියණියක්, නැඟණියක් ආදී වශයෙන් නොයෙකුත් භූමිකාවන් නිරූපණය කරයි. එමෙන්ම සමාජ සංස්කෘතික පසුතලය මත ඔවුන්ගේ ක්රියාකාරීත්වයේ යම් සීමාවක්, පාලනයක් දැක්වීම සුලබව සිදුවන්නකි. නමුත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත කාන්තාවටද සිය අයිතිවාසිකම් නිදහසේ භූක්ති විඳීමට ඉඩකඩ ලබාදිය යුතුය. නිවසේදී, ආයතනයේදී සහ පොදු ප්‍රවාහනයේදී ඇයට සිදුවන අඩන්තේට්ටම් පිළිබඳ නැගී සිටිය යුතුය. එමෙන්ම මේ පිළිබඳ නීතිය තිබෙන්නාක් මෙන්ම එය ක්‍රියාත්මක කිරීමේදීද සුපරික්ෂාකාරීව විමර්ශනය කළ යුතුය. එහි ඇතැම් නීති සංශෝධනය විය යුතුය. මේ පිළිබඳ සමාජයේ නොයෙක් දෙනා නොයක් මත පැවසූවත්, නෛතික, සමාජීය මෙන්ම ශාස්ත්‍රීය පදනමක පිහිටා ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විද්වතුන් කිහිපදෙනෙකු අපි 'අද' හා සම්බන්ධ කර ගත්තෙමු.
ඇයගෙන් ලැබෙන ආර්ථික බලය අපි නිහඬව භාර ගන්නවා - සමන්තිකා ප්‍රියදර්ශනී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලය
'ස්ත්‍රී පුරුෂ සමාජභාවය මිනිසුන්ගේ චර්යාවන් හා වැඩ බෙදී ඇති ආකාරය අනුව වෙනස් වීමක් මිස ස්ත්‍රී පුරුෂ ලිංගභාවය අනුව බෙදෙන්නක් නොවේ. කුඩා අවධියේ ළමයින්ට අපි කියනවා උපතින්ම රෝස පාට ගැහැනු ළමයෙකුට බෝනික්කා තමයි සෙල්ලම් කරන්න ඕන කියලා. පිරිමි ළමයෙක් නම් එයාට තුවක්කුව, කාර් එක ආදී වශයෙන් පොඩි කාලයේ සිටම වැඩ බෙදීමක් සිදුවෙනවා. මේ පාට සහ එතනින් එහාට පැවරෙන වැඩ ප්‍රමාණය මාධ්‍යත් සමග එහෙමත් නැතිනම් අධ්‍යාපන ක්‍රමය හෝ සමාජානුයෝජන ක්‍රියාවලිය ආදී සෑම ආකාරයක් තුළින්ම ඒකකෘත ස්ත්‍රියක් බිහිකර තිබෙනවා. මේ ප්‍රශ්නයත් සමගම තමයි අපට අද දවසේ කාන්තා හිංසනය කියන දෙයට මුහුණදෙන්න සිදුවෙලා තිබෙන්නේ. ආගම ඇතුළතම ස්ත්‍රිය කෙසේ විය යුතුද යන්න කතිකා වෙනවා. සංවර වෙන්න ඕන, එයා හයියෙන් කෑ ගහන්න බෑ, කකුල් දෙක ළං කරගෙන ඉන්න ඕන, ගස් නගින්න බැහැ ආදී වශයෙන් නියාමන සංග්‍රහයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා යම්කිසි විදිහකට සංස්කෘතිය තුළ වුවත් ස්ත්‍රියට හිංසනය පිළිබඳ කතා කරන්න බැහැ. පුරුෂයා බොහෝම ශක්තිමත්. නමුත් ස්ත්‍රිය ළාමකයි, දුර්වලයි ලෙසයි සලකන්නේ. මෙය අද ඊයේ පමණක් සිදු වූ දෙයක් නොවේ. එය අතීත සමාජයේ සිට සිදුවන්නක්.
මේ අනුව පුරුෂාධිපත්‍ය තුළ කාන්තාව හිංසනයට ලක් වෙනවා. එය කායික, වාචික හෝ මානසික වශයෙන් විය හැකියි. ඇතැම් විට සමාජයේ බොහෝ දෙනා කාන්තාවක් අතරවරයට ලක් වූවහොත් පමණක් හිංසනයට ලක් වී ඇති බව පිළිගන්නවා. නමුත් කායික වශයෙන් පමණක් නොව මානසික වශයෙන් වුවත් ස්ත්‍රීයක් හිංසනයට ලක්විය හැකියි. සමහර විට එය බොළඳ විහිළුවක් වෙන්න පුළුවන්. නමුත් ඒ ප්‍රකාශය මගින් ඇය මානසිකව වේදනාවකට පත්විය හැකියි. විශ්වවිද්‍යාල ක්ෂේත්රය පිළිබඳ ගත්තත්, පරිපාලන ක්ෂේත්රය තුළ ගත්තත් 50%ක් වැනි ප්‍රතිශතයක් සම සමව ස්ත්‍රීන් සිටිනවා. මේ අනුව ස්ත්‍රියට අධ්‍යාපන හිමිකම ලැබී තිබෙනවා. නමුත් යම්කිසි ලෙසකින් සමාජය තුළ යම් යම් තැන්වල ආයතනික වශයෙන් හෝ කුටුම්භය තුළද හිංසනයට ලක්වෙන අවස්ථා තිබෙනවා. උදාහරණයක් වශයෙන් ඇයට අනිවාර්යයෙන්ම ගර්භිණීභාවය හිමියි. ඇය මවක්. නමුත් මේ දේවල් සමග ඒ සම්බන්ධයෙන් සමාජයේ ක්රමෝපායක් එහෙමත් නැතිනම් පද්ධතියක් සකස් වී නැහැ. ප්‍රසූතියෙන් පසුව දරුවාට මාස 06ක් වනතුරු ඇයට නිවාඩු හිමිවෙනවා. ඉන් පසුව දරුවාට කුමක්ද කරන්නේද යන වගකීම් ස්වාමියා යම් ප්‍රමාණයකට බැලුවත් බහුතර වගකීමක් පැවරෙන්නේ ඇයට. අද අපේ සමාජය තුළ ගෙදර බුදුන් අම්මා කියා පැවසුවත් එය ක්‍රියාවට නංවන්නේ කීයෙන් කීදෙනෙක්ද යන්න ගැටලුවක්.
විද්‍යා ඝාතනය, ෙස්යා ඝාතනය, කහවත්තේ සිදු වූ ස්ත්‍රී ඝාතන පෙළක් අපි දැක්කා. මේ සිදුවීම් දෙස බැලීමේදී පෙනෙන කාරණයක් තමයි සමාජය විසින් ඇය දමා ඇති තත්ත්වය. විද්‍යා තවමත් ඇතැම් මාධ්‍ය මගින් නොයෙක් අවස්ථාවල දූෂණයට පත්වෙනවා. %කෑල්ලක්^, 'බඩුවක්', 'අයිටම් එකක්' යනාදී වශයෙන් අපි නම් කරන ඈ, අද වනවිට හරි මෘදු මොළොක් පරිභෝජන භාණ්ඩයක් බවට පත් වී තිබෙනවා.
අද වනවිට කාන්තාවගේ භූමිකාව අධ්‍යයනය කරන විට දියණියක්, මවක් යන භූමිකාවලින් ඔබ්බට ඇය ගමන් කර අවසානයි. නමුත් මේ වනවිට ඇයට සිදුවෙලා තිබෙන්නේ, කුමන දේ තිබුණත් පවුල කියන සමාජ ඒකකය රැකගන්න. ඇයගේ පළමු දෙය වන්නේ එයයි. ඇය තමයි උදෙන්ම අවදි වෙන්නේ. ඒ වගේම අවසානයේ නින්දට යන්නේ. වැඩ බෙදීමේ අඩුවක් තවම සිදු වී නැහැ. තවමත් බහුතරයක් මධ්‍යම පාන්තික නිවෙස්වල මුලින්ම අවදි වී සියලු වැඩ අවසන් කර නින්දට යන්නෙත් ඇය.
මේ වැඩවලට අමතරව ඇය දැන් ආර්ථික වශයෙන්ද වෙනස්ම තැනකට ගොස් රැකියාවක්ද කරනවා. මේ සියල්ලම තුළ ඇය ඇයගේ ජීවිතයේ සතුට විඳිනවාද? පුරුෂයාට පුරුෂයාගේ සතුට ගැන තීරණ ගත හැකියි. නමුත් ඇයට ඇයගේ සතුට ගැන තීරණ ගැනීමේ හැකියාව තිබෙනවාද? ඉතා සරල උදාහරණයක් ගතහොත් ඇය ඇයගේ සතුටට මොනවද කරන්නේ. රූපවාහිනිය බලනවාද, චිත්‍රපටයක් බලනවාද, මුහුදු වෙරළකට ගිහින් ඉන්නවද, නැහැ ඇය ඇයගේ සතුට කැප කරන්නේ තම දරුවන් හා ස්වාමියා වෙනුවෙන්. බහුතරයක් වෙනුවෙන් ඇය ඇයගේ සතුට කැප කර සිටින අවස්ථාවේ අනිත් අංශයෙන් පාරිතෝෂිකයක් වශයෙන් ඇයට මොනවද ලැබෙන්නේ. අපි ගෙදර ඉන්න අම්මා ඇගේ ශ්‍රමය කැප කරනවාට කොහොමද ඇයට සලකන්නේ, ඇයගේ ශ්‍රමය කොහොමද අගය කරන්නේ. ඇයගේ විවේකය ඇයට දෙන්නේ කොහොමද? එතනින් එහාට ගොස් සමාජයට ගියාම සමස්ත සංස්කෘතිය යටතේ කාන්තාවන් හිංසනයට ලක්වෙනවා. පොදු ප්‍රවාහන පද්ධතිය තුළ ඇය හිංසනයට නිරන්තරයෙන් ලක්වෙනවා.
මෙවැනි හිංසනික ක්‍රියා සම්බන්ධයෙන් නීතිරීති ඉතා විශාල ප්‍රමාණයක් සෑදී තිබෙනවා. හැබැයි ඒවා සංස්කෘතිය තුළ අපේ අනන්‍යතාව තුළ ක්‍රියාවට නැංවන්න බැහැ. අපේ සංස්කෘතිය තුළ අම්මයි තාත්තයි රණ්ඩු වුණාට අම්මා කවදාවත් ගෙදර අතඇරලා යන්නේ නැහැ. මේ සියල්ල ඇය දරාගෙන සිටියා. හැබැයි මේ නිසාම අපි හිතන්නැතුවම ගෘහස්ථ හිංසනයක් සිදුෙවනවා.
නමුත් සිදුවිය යුත්තේ අපේ ආකල්ප සහ චින්තනමය වශයෙන් වෙනස්කමක්. ලංකාවේ කාන්තාවට තියන තැන පිළිබඳ බැලුවහොත්, ලංකාවේ ආර්ථිකය අයිති කාන්තාවන්ට. නමුත් ඇයගෙන් ලැබෙන ආර්ථික බලය අපි නිහඬව භාර ගන්නවා ලංකාවේ ආර්ථික බලය බහුතරයක් කාන්තාවන් උසුලන්නේ. නමුත් ඇයගේ ගර්භාෂය පවා ඇයට අහිමියි. මෙය සමාජයේ මතභේදාත්මක කාරණයක්. මොනතරම් දූෂණයට ලක් වූවත් ඇයගේ කලලය ඇය අනිවාර්යයෙන් ආරක්ෂා කරගත යුතුයි. මේ දරුවා කවර දූෂිතයෙකුගේ වූවත් ඇය ගර්භාෂයේ දරුවාව පෝෂණය කළ යුතුයි. ඇයට වියදම් කරන්නේ කවුද, දරුවාගේ පියාගේ නමට දමන්නේ කුමක්ද යන නොයෙක් සමාජ අපවාදයන්ට ඇය ලක්වෙනවා.
සමහර තැන්වල නීතිමය වශයෙන් කවුළුව විශාල කරන්න හදනවා. ලංකා ඉතිහාසය ගත්තහම අපි හරි ආඩම්බර වෙනවා ලොකේ ප්‍රථම අගමැතිනිය ලංකාවෙන් බිහිවුණා කියලා. ඒවගේම ප්‍රථම ජනාධිපතිනය බිහිවූවා කියලා. හැබැයි එයින් එක් සමාජ ස්ථරයක් පමණයි නියෝජනය වන්නේ. ඒ නිසා හැම කාන්තාවකටම දේශපාලනයට ප්‍රවේශ වීමේ නිදහස තිබෙනවා කියා සාධාරණීකරණය කරන්න බැහැ.
බොහෝ කාන්තාවන් කාන්තා හිංසනය සම්බන්ධ නීති හරි ආකාරව නොදන්නාකමත් හිංසනයට ලක්වෙන්න එක හේතුවක් -ස්වර්ණා සුමනසේකර කාන්තා කටයුතු අමාත්‍යාංශයේ කමිටු සභාපති
'ගෘහස්ථ හිංසනය, පොදු ප්‍රවාහනයේදී වන හිංසනය හා වැඩකරන ස්ථානයේ වන හිංසනය ආදී සියල්ල මගින් කාන්තාවන්ට හිංසනය සිදුවෙනවා. නමුත් මේවා එළිදරව් වීම සිදුවන්නේ ඉතාම අල්ප වශයෙන්. කාන්තාවක් බස් රථයේ යන විට හිංසනයකට ලක් වූවහොත් ඒ ගැන ප්‍රතික්‍රියාවක් දක්වන්නේ අඩුවෙන්. ඒවගේම වැඩකරන ස්ථානයේ වූවත් මේ සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යාංශ මට්ටමින් කමිටු පිහිටුවීමට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා, ඒ සම්බන්ධ අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීමට. නමුත් ඒවා හෙළිදරව් වන අවස්ථාවන් ඉතාමත් අඩුයි.
මෙම කාන්තා හිංසනික ක්‍රියා වැළක්වීම සඳහා නොයෙකුත් ක්‍රමවේද තිබෙනවා. නමුත් අපේ රටේ කාන්තාවන් අධ්‍යාපනය අතින් මෙන්ම රැකියාව අතින් ඉදිරියට ගියත්, අපේ රටේ කාන්තාවන් දෙස සමාජය තවමත් බලන්නේ සංස්කෘතික දෘෂ්ටිකෝණයකින්. පුරුෂ මූලික සමාජ ක්රමයේ සංකල්ප තවමත් අපේ රටේ ඉතිරි වී තිබෙනවා. මේ හේතුව නිසා පිරිමින් සිතන්නේ, ගැහැනිය ස්වකීය මෙවලමක් ලෙස භාවිත කිරීමට හැකිය යන්නයි. බලය පිළිබඳ අපේ රටේ තිබෙන ප්‍රධාන හේතුවක් තමයි එය. මම සිතන අයුරින් නම් පුරුෂයාට තිබෙන මේ බලය නිසා කාන්තාවන් හිංසනයට භාජනය වෙනවා. බස් රථයේ ගමන් ගන්නා විට වූවත් පුරුෂයන් සිතනුයේ කාන්තාවන්ට වද දීමට තමන්ට හැකියි කියා. අනෙක් කාරණය වන්නේ මේ සම්බන්ධයෙන් පොලීසියට යන විට විශේෂයෙන් ගෘහස්ථ හිංසනය වැනි කාරණයකට, ඔවුන් වූවද සිතනුයේ මෙය නිවසේ 'බත ඉදෙනකම් පමණක් පවතින දෙයක්^ යනුවෙනි. මේ අයුරින් ඔවුන් තාවකාලිකව එය විසඳුවත් නැවතත් නිවසට පැමිණෙන කාන්තාවට සිදුවන්නේ, නැවත නැවතත් හිංසනයට ලක් වීමටයි. මෙවැනි දේ සඳහා දඬුවම් දීමට පොලීසිය පවා යොමුවන්නේ ඉතාම කලාතුරකින්.
අනෙක් අතට අපේ රටේ ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය මේ සඳහා එක් ආකාරයකින් වගකිව යුතුයි. ඕනෑම නිවසක දැන් ජංගම දුරකථන එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම තිබෙනවා. එයින් පුරුෂයන් අන්තර්ජාලය ඔස්සේ කාමුක හැඟීම් ඇතිවන චිත්‍රපට නරඹා හැඟීම් පිටකිරීම සඳහා කාන්තාවන් යොදා ගන්නා අවස්ථාවල් තිබෙනවා. ඒවගේම නොයෙක් අවස්ථා මෙවැනි වැරදි හැසිරීම් සහිත ක්‍රියා පෞද්ගලිකත්වය එළිවන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කරනවා. මෙයින් පැහැදිලි වන්නේ මිනිසුන්ගේ සදාචාරාත්මක ගතිලක්ෂණ, තමන්ගේ ආගම පිළිබඳ ඇති හැඟීම කෙමෙන් කෙමෙන් ක්ෂය වන බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තා නිරුවත් ඡායාරූප නිකුත් කිරීම වැනි සිද්ධීන් නිරන්තරයෙන් වාර්තා වෙනවා. නමුත් මේ සම්බන්ධ පවතින වාරණ නීතිය එතරම් ශක්තිමත් නැහැ කියන එකයි මගේ මතය.
කාන්තාවන් සම්බන්ධ ගෘහස්ථ ප්රචණ්ඩත්වය පිළිබඳ පනත, ඒ වගේම නවක වදය සම්බන්ධයෙන් විශ්වවිද්‍යල පනත මෙන්ම අපරාධ නීති සංග්‍රහයේ කාන්තාවන් සම්බන්ධ නීති රැසක් තිබෙනවා. හිංසනයට, ලිංගික අපරාධවලට එරෙහි නීතිමය ප්‍රතිපාදන මේ මගින් ආවරණය වී තිබෙනවා. නමුත් මම හිතන්නේ මෙහි ගැටලු පැන නගින්නේ එය ක්‍රියාත්මක කරන විටයි. බොහෝ කාන්තවන් මේ සම්බන්ධ නීති හරි ආකාරව නොදන්නා කමත් මෙයට එක් හේතුවක්. මේ අයුරින් නොදැනීම සහ දැනුවත් වූවත් එය ක්‍රියාවට නැංවීමේ මැළිකමක් කාන්තාවන් තුළ තිබෙනවා. විශේෂයෙන් මුස්ලිම් නීතියේ තිබෙන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත තුළින් කාන්තාවන්ට විශාල අවාසනාවන්ත තත්ත්වයකට මුහුණපාන්නට සිදුව තිබෙනවා. අවුරුදු12ක් වයසැති ගැහැනු දරුවාට පවා විවාහ වීමේ හැකියාව තිබෙනවා. මේ තුළ පොදු නීතිය බලපවත්වන්නේ නැහැ. ඒවගේම ඔවුන්ගේ තිබෙන %කාති^ උසාවිය. ඔවුන්ට තිබෙන පැමිණිලි ඉදිරිපත් කළ යුත්තේ කාති උසාවියටයි. මෙම උසාවියේ විනිශ්චකරුවන් සියල්ල සිටින්නේ පිරිමි පුද්ගලයන්. ඒ නිසා මෙය කාන්තාවන් දෙස සංවේදීව බලන ක්‍රමයෙක් නොවේ යන්නයි මගේ මතය. මේවා වූවත් සංශෝධනය කිරීම සඳහා මූලික කටයුතු අපි කරලා තිබෙනවා. මෙම නීති ජාතීන් හා ආගම් සමග බද්ධ වී තිබෙන නිසා ඔවුන්ගේ දායකත්වයද අපට අවශ්‍ය වෙනවා මෙහි වෙනස්කම් ඇති කරන්න. බොහෝ කාන්තාවන් කාන්තා හිංසනය සම්බන්ධ නීති හරි ආකාරව නොදන්නාකමත් හිංසනයට ලක්වෙන්න එක හේතුවක් වෙනවා.
අපි මෙවැනි හිංසනයට පත් කාන්තාවන් සඳහා උපදේශන සේවා සිදුකරනවා. නීති ආධාර ලබා දෙනවා. මේ සම්බන්ධ කටයුතු කිරීමට අධිකරණය, ළමා හා කාන්තා කාර්යාංශය කටයුතු කරනවා. මේ සම්බන්ධ සොයා බැලීම, කාන්තාවන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම වෙනම නිලධාරීනියක් පත්කොට තිබෙනවා. නමුත් මේ අයුරින් ප්‍රතිපත්ති, ව්‍යාප්ත සැලසුම් කොතෙක් පැවතියත් අනෙක් අතින් ඒවා ක්‍රියාත්මක වීමේදී සංවේදී අඩු බව සහ ඒ සම්බන්ධ කැපවීමකින් යුතුව කටයුතු කිරීමේ අඩුවක් දැකගැනීමට පුළුවන්. මේ සම්බන්ධ නීතියක් නොමැතිනම් කෑ ගහලා හරි එය සම්පාදනය කරන මෙන් ඉල්ලා සිටිය හැකියි. නමුත් ප්‍රධාන වශයෙන් මෙම දුර්වලතාව දැකගත හැකිවන්නේ ක්‍රියාත්මක කිරීමේදීයි'.
දඬුවම් පැමිණවීමෙන් පමණක් මෙය සිදුකළ නොහැකියි, තමන් තුළ ස්වයං විනයක් ඇති කරගත යුතුයි - නීතිඥ පාලිත අමරසිරි
'අපි ගෘහස්ථ ප්රචණ්ඩත්වය ගැන කතා කළොත් මේ සම්බන්ධයෙන් ලංකාවේ දැනට බලපවත්වන නීතිය වන්නේ අංක 34 දරන 2005 වර්ෂයේ ගෘහස්ථ ප්රචණ්ඩත්වය පිළිබඳ පනත. මෙය අන්තර්ජාතික ප්රඥප්තියක්. අන්තර්ජාතික කාන්තාවන්ට සිදුවන සියලු ආකාරයේ ප්රචණ්ඩත්වය වැළැක්වීමේ ප්රඥප්තිය ලංකාවට ගෙනවිත් නීතිගත කළ අවස්ථාවක් තමයි මෙහි තිබෙන්නේ. කාන්තාවන් මෙන්ම ළමයින් පවා මෙම ප්රඥප්තිය යටතේ ආරක්ෂා වෙනවා. කුඩා ළමයෙකුට තම පියාගෙන් සිදුවන හිංසනික ක්‍රියා පිළිබඳ ළමා රක්ෂණ අධිකාරියට හෝ පොලිස් ප්‍රධානියෙකුට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් මෙම නීතිය යටතේ තිබෙනවා. එමෙන්ම තමන්ට ප්රචණ්ඩත්වය දක්වන ඕනෑම කෙනෙකුට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කිරීමට මේ යටතේ ඉඩ සලසා තිබෙනවා. මේ නීතිය යටතේ ආරක්ෂණ නියෝග ක්‍රියාත්මක වෙනවා. මෙම ප්රඥප්තියේ 5 වැනි වගන්තියේ සිට පහළට යෑමේදී මේ පිළිබඳ දීර්ඝව සඳහන් වෙනවා. මෙය වෙනත් නීතිවල සඳහන් නොවන දෙයක්. ආරක්ෂක නියෝගයක් මගින් සිදුකරන්නේ, කාන්තාවන්ට හා ළමයින්ට කිසියම් පුද්ගලයෙකු විසින් පුද්ගලික ප්රචණ්ඩත්වයක් සිදුකරනවා නම් ඒ පුද්ගලයාගෙන් ආරක්ෂාව පතන තැනැත්තියට හෝ ළමයාට කරන නෛතික අඥාවක්. කාන්තාවකගේ පෙර ස්වාමිපුරුෂයා දැන් විවාහ වීමට අපේක්ෂා කරන පුරුෂයාට කරදරයක් සිදුකිරීමට සිටිනවා නම්, ඔහු සිටින ප්‍රදේශවලට පෙර ස්වාමිපුරුෂයාට ඇතුළු වීම තහනම් කළ හැකි නියෝගයක් පවා නිකුත් කළ හැකියි. මෙය අධිකරණයට අවශ්‍ය පරිදි තීන්දු කළ හැකියි. ඒ නිසා මීට පෙර නීතියෙන් හිමි නොවූ රැකවරණයක්, ආරක්ෂාවක් මේ යටතේ කාන්තාවන්ට හා ළමයින්ට හිමිවී තිබෙනවා. කුඩා ළමයින් සම්බන්ධයෙන් 1998 අංක 50 දරන ළමා ආරක්ෂණ අධිකාරියේ පනත දැනට නීතිගතව තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙමගින් ළමයින්ගේ ඉහළම සුභසාධනය සැලසීම. ළමයෙක් වෙනුවෙන් කරන ඕනෑම ප්රචණ්ඩණ්ඩත්වය මුදාහැරීමක් හිංසාවක් ලෙසයි සිතන්නේ. නමුත් මෙහිදී කායික මෙන්ම මානසික යන අංග දෙකම සැලකිල්ලට ගනිමින් ප්රචණ්ඩත්වය මුදාහැරීම පදනම් කරගනිමින් එයට එරහිව ගොඩනැගී තිබෙනවා. ඕනෑම වරදකදී භෞතික මෙන්ම මානසික අංගයකුත් තිබෙනවා. මේ දෙකම එකතු වූ විටයි වරද නිර්මාණය වන්නේ. උදාහරණයක් වශයෙන් මිනිසෙක් ඝාතනය කළහොත් මැරීම භෞතික අංගය වශයෙන් සැලකෙනවා. ඝාතකයාට මරණ සිතිවිල්ල හෙවත් චේතනාව ඇති වීම මානසික අංගයයි. ඒ අනුව යම් වරකදී මානසික හා භෞතික අංග දෙකම සිදුවෙනවා. කාන්තාවන්ට එෙරහිව ප්රචණ්ඩත්වය මුදාහරින විටද භෞතික මෙන්ම මානසික වදයක් දීමත් වරදක් ලෙස සැලකෙනවා. ළමා අපචාර පිළිබඳ හැඳින්වුවහොත් ළමයින්ගේ අකමැත්තෙන් ළමයින්ගේ ශරීරයට කරන ඕනෑම බලහත්කාර ක්‍රියාවක් මේ යටතට අයත් වෙනවා.
වයස අවුරුදු 18ට අඩු ඕනෑම කෙනෙකු අපි දරුවෙක් වශයෙන් හඳුන්වනවා. ඒ අනුව ලංකාවේ වෙසෙන අවුරුදු 18ට වැඩි ඕනෑම කෙනෙකුට කිසිදු බලපෑමකින් තොරව විවාහයට පත්විය හැකියි. දෙමවුපියන්ගේ අකමැත්ත තුළ වූවද විවාහ වීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ලංකාවේ විශේෂිත පුද්ගලයන්ට තිබෙනවා විශේෂ වූ නීති. ඒ නීති යටතේ වයස අවුරුදු 18ට අඩු ළමයෙක් වූවද විවාහ කර දීමේ හැකියාව තිබෙනවා. මුස්ලිම් නීතිය අනුව ළමයෙක් විවාහ කරදීමේ හැකියාව වයස අවුරුදු 12න් පසු එළඹෙනවා. පුද්ගල කොට්ඨාසවලට අනුව මෙය වෙනස් වෙනවා. මුස්ලිම් ආගම අදහන්නන් හට පමණක් මුස්ලිම් නීතිය වලංගු වෙනවා. මේ නීතියට අනුව ගැහැනු ළමයාගේ කැමැත්ත, අකමැත්ත වැදගත් වන්නේ නැහැ. පොදු නීතියක් සම්බන්ධයෙන් එකම කරුණක් සමග ගැටීමේදී විශේෂ නීතිය ප්රමුඛත්වයක් ගන්නවා. මේ නිසා මෙය සමාජයේ ගැටලුකාරී තත්ත්වයක් මතු කරනවා. මෙවැනි අඩු වයසකින් විවාහ දිවියට එළඹෙන දැරිය අධ්‍යාපනය ලබන වයසක සිටීම, විවාහ වීමට ඇය ජීව විද්‍යාත්මකව වුවත් නොගැළපීමට ප්‍රධාන කාරණාවන් වෙනවා. මේ නීතිය බරපතළ වශයෙන් ළමා අයිතීන් උල්ලංඝනය කිරීමක්. මෙවැනි නීති වෙනස් විය යුතු කාලය මේ වන එළඹි අවසානයි. ඒ වගේම මුස්ලිම් නීතියට අනුව කානාතාවන් ලිංගික විච්ඡේදනය කරනවා. මෙය තවමත් රහසිගතව සිදුවන්නක්. මුස්ලිම් අයගේ %බෝරා^ ජන කොට්ඨාසය තවමත් මේ ක්‍රියාව සිදුකරනවා. මෙය ඉතාම අමානුෂික දෙයක්.
මුස්ලිම් ජාතිය තුළ පුරුෂාධිපත්‍ය ඉතාම ප්රබලව ක්‍රියාත්මක වන්නක්. මෙවැනි ක්‍රියා ස්වභාව ධර්මයට එෙරහිව ක්‍රියාත්මක වන්නක්. මේ අනුව ළමා රක්ෂණ අධිකාරිය මේ පිළිබඳ මීට වඩා අවධානයක් යොමුකළ යුතුයි. ඔවුන් ආගමක් ලෙස මෙලෙස ක්‍රියා කරනවා නම් එය ආගමක් විය නොහැකියි. අප්‍රිකානු රටවලද මෙය තවමත් ක්‍රියාත්මක වන දෙයක්. මෙවැනි දේ නතර කිරීම සඳහා වහාම නීති ක්‍රියාත්මක කළ යුතුයි. මේ අනුව රටේ පොදු නීතියට සාපේක්ෂව මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය වෙනස් විය යුතු බවයි මගේ යෝජනාව.
අතවරයට ගැහැනු ළමයෙක් පත් වු විට මේ හා සම්බන්ධ, තමන් අකමැති පුද්ගලයෙක් වෙනුවෙන් ඇතැම් අවස්ථාවල කුඩා දරුවෙක් බිහිකළ යුතුයි. මෙය ස්වකීය කැමැත්තෙන් සිදු වූවක් නොව. ළමයාගේ අකමැත්තෙන් බලහත්කාරකමින් සිදු වූවක්. නමුත් පවතින නීතිය නිසා මේ ළමයාට හා ළමයාගේ මවුපියන්ට මේ දරුගැබ ඉවත් කිරීමේ හැකියාව නොමැතියි. ලංකවේ ගබ්සා නීතිය පිළිබඳ අප නැවත සලකා බැලිය යුතුයි. ලංකාවේ ගබ්සා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් දෙයක්. අම්මගේ ජීවිතයට තර්ජනයක් වෙනවා නම් පමණක් දරුගැබ විනාශ කිරීමේ අවස්ථාව ලැබෙනවා. අබ්බගාත දරුවෙක් බලහත්කාරකමින් අතවරයට ලක්වෙනවා. මේ ළමයාට තවත් දරුවෙකු දැරීමට හැකියාවක් නැහැ. නමුත් අපේ රටේ ක්‍රියාත්මක වන නීතියෙන් බලහත්කාරයෙන්ම එය දරන්නට නියම වී තිබෙනවා. ඒ විදිහට තමයි අපේ සමාජයේ නීති පද්ධතිය සකස් වී තිබෙන්නේ. මේ නිසා ගබ්සා නීතිය වෙනස් විය යුතු කාලය හොඳටම ඇවිත් තිබෙනවා.
විශේෂයෙන්ම විදේශ රැකියා සඳහා ගිය කතුන්ට සිදුවන අතවර පිළිබඳ සඳහන් කළ යුතුයි. අද අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ කාන්තාවන් විදේශගත කරවීමයි. අපේ රටේ ජනගහනයෙන් 10න් 01ක් විදේශගතව සිටින්නේ. මෙවැනි බොහෝ කාන්තාවන් යන්නේ මෙහෙකාර සේවයටයි. මොවුන්ට උගත්කමක් නැහැ. ළමයින් බලාගන්න මෙහෙකාර සේවයටයි ඔවුන් යන්නේ. ඔවුන් යන බොහෝ රටවල ගැහැනුන්ට හඬ නැගිය නොහැකියි. බෙහෝ විට මොවුන් ලිංගික වහලුන් බවට පත් වෙනවා.
මගේ පෞද්ගලික මතය නම් අපි පුළුවන් තරම් කාන්තාවන් විදේශගත වීම අවහිර කරන්න ඕන යන්නයි. ඒ වෙනුවෙන් පිරිමින්ට වෘත්තිය පුහුණුවක් ලබාදී ඔවුන් එම රටවලට යැවිය යුතුයි.
අප අද වන විට නිදහස් අධ්‍යාපනය භුක්ති විඳිමින් අවුරුදු 70ට වැඩි කාලයක් වෙනවා. නමුත් අපි මේ නිදහස් අධ්‍යාපනය සැමරුවාට කිසිම ඵලක් නැහැ. මොකද අවුරුදු 70ක් ගිහිල්ලත් අපේ රටේ ප්‍රධාන ආර්ථික මාර්ගය වී තිබෙන්නේ කාන්තාවන් රට යවන එක.
අපි කාන්තාවන් රට යවා විදේශීය විනිමය උපයා ගන්නවා නම් මම හිතන විදිහට ලංකාව අසාර්ථක රාජ්‍යයක්. මෙවැනි දේ පිළිබඳ සාකච්ඡා කරන විට විශේෂයෙන් මතක් කළ යුතුයි මේ සියල්ල නීති මගින් පමණක් කළ නොහැකි බව. දඬුවම් පැමිණවීමෙන් පමණක් මෙය සිදුකළ නොහැකියි. තමන් තුළ ස්වයං විනයක් ඇති කරගත යුතුයි. එයට පූර්වාදර්ශනයන් දිය යුත්තේ වැඩිහිටියන් විසින්. එපමණක් නොව ආගමික සදාචාරයෙන් මිනිසුන් සකස් කළ යුතුයි. නීති කොපමණ තිබුණත් ඉන් ඵලක් වන්නේ නැහැ නීතිය ක්‍රියාවට නංවන පුද්ගලයන්ට ඒ පිළිබඳ උනන්දුවක් අවශ්‍යතාවක් නොමැතිනම්. අද රජයේ බෙහෝ ආයතනයන්ගේ තිබෙන්නේ ඇඟ බේරා ගන්නා න්‍යායක්. මේ නිසා මම යෝජනා කරන්නේ පවතින ගැටලු සහගතභාවය නිසා නීතිපති දෙපාර්තමේන්තුව මගින් එක් නීතිඥයෙකු සෑම පොලිස් ස්ථානයකටම මේ සම්බන්ධ ක්‍රියා කිරීමට අනියුක්ත කළ යුතු බවයි. අද උසාවියේ නඩු සලකා බැලීමේදී නඩු 97%ක් දඬුවම් නොලබා බේරී යනවා. මෙවැනි දෑ සිදුවන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩුවක් ලෙසින්. විශේෂයෙන් ළමයින් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වෙන් වූ අධිකරණයක් තිබේ නම් එය ඉතා යෝග්‍ය දෙයක්.'
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


