රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක්
රටේ අනාගත නායකත්වය බිහිකිරීමට අවශ්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා සහාය වියහැකි වඩාත් නිදහස් පරිසරයක් විශ්වවිද්‍යාල තුළ ගොඩනැගීම රජයේ ප්‍රධාන අරමුණ වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
දිවයින පුරා පිහිටා ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ඇරඹුම සනිටුහන් කරමින්, ඊයේ (22) වවුනියාව විශ්වවිද්‍යාලයේ නව ශිෂ්‍ය නේවාසිකාගාරය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාළව ඉදිවන ප්‍රථම නේවාසිකාගාරය මෙය වීම විශේෂත්වයකි.එම ව්‍යාපෘතිය යටතේ වවුනියාව විශ්වවිද්‍යාලයට හිමිවී ඇති සමස්ත නේවාසිකාගාර සංඛ්‍යාව 04කි.
එම ව්‍යාපෘතියට අනුව වවුනියාව විශ්වවිද්‍යාලය තුළ ඉදිකෙරෙන මෙම නේවාසිකාගාර ගොඩනැගිල්ල, මහල් හතරකින් සමන්විත වන අතර, සිසුන් 200 කට පමණ එකවර නේවාසිකාගාර පහසුකම් ලබාදිය හැකිය.ඒ සඳහා රජය ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 231 කට අධිකය.
එමෙන්ම එම ව්‍යාපෘතිය යටතේ තවත් සිසුන් 200 කට පමණ නේවාසිකාගාර පහසුකම් ලබාදිය හැකි නේවාසිකාගාරයක් ද, සිසුන් 400 කට පමණ පහසුකම් සැපයිය හැකි නේවාසිකාගාර 02ක්ද මෙම විශ්වවිද්‍යාලය තුළ ගොඩනැගීමට නියමිතය.
මෙහිදී, නව ශිෂ්‍ය නේවාසිකාගාරය සඳහා අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබීම සිදුකිරීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍යවරිය මෙසේද පවසා සිටියාය,
2026 වසරේදී අපට පුළුවන් වුණා දශක ගණනාවකට පස්සේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍ය සුබසාධනය නංවාලීම සඳහා ආයෝජනයක් කරන්න. ඒ හරහා නේවාසිකාගාර 55ක් ඉදිකිරීමට කටයුතු අප ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. එම ව්‍යාපෘතියේ ආරම්භය වවුනියාව විශ්වවිද්‍යාලයෙන් පටන් ගැනීම පිළිබඳ මම ඇත්තටම සතුටු වෙනවා.
ඒ විතරක් නෙමෙයි මෙම නේවාසිකාගාරයට අමතරව තවත් නේවාසිකාගාර 03ක් මෙම ව්‍යාපෘතිය හරහා වවුනියාව විශ්වවිද්‍යාලයට හිමිවීමට නියමිතයි. ඒ හරහා එම විශ්වවිද්‍යාලයේ සිසුන් මුහුණදෙන නේවාසිකාගාර ගැටලුවලට තිරසාර විසඳුම් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.
එමෙන්ම, විශ්වවිද්‍යාල තුළ යටිතල පහසුකම් ගොඩනැගීමේදී අප අලුතෙන් පටන් ගත්ත විශ්වවිද්‍යාල සහ නගරබද ප්‍රදේශවලින් පිටත ඇති විශ්වවිද්‍යාල සඳහා මූලික අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව රජරට, අග්නිදිග සහ නැගෙනහිර යන විශ්වවිද්‍යාලවලට නේවාසිකාගාර 55ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය හරහා අප ප්‍රමුඛතාවක් ලබා දී තිබෙනවා. එම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිටින සිසුන් 16000 කට පමණ නේවාසිකාගාර පහසුකම් ලබා දෙන්න අප බලාපොරොත්තු වෙනවා.
එම නේවාසිකාගාර 55ක් ගොඩනැගීමේ ව්‍යාපෘතිය ඔස්සේ, සබරගමුව විශ්වවිද්‍යාලයට සහ රජරට විශ්වවිද්‍යාලයට ව්‍යාපෘති 7 බැගින් වෙන් කරලා තියෙනවා. එසේම, අග්නිදිග විශ්වවිද්‍යාලයට නේවාසිකාගාර ව්‍යාපෘති 6කුත්, නැගෙනහිර විශ්වවිද්‍යාලයට ව්‍යාපෘති 5කුත්, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයටත් ව්‍යාපෘති 6කුත් වශයෙන් ලබා දෙන්න අප සැලසුම් කරලා තියෙනවා.
ඒ වගේම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සහ වයඹ විශ්වවිද්‍යාලයට ව්‍යාපෘති 4 බැගින් වෙන් කරලා තියෙනවා. රුහුණු විශ්වවිද්‍යාලයට ව්‍යාපෘති 4කුත්, යාපනය විශ්වවිද්‍යාලයට ව්‍යාපෘති 2කුත් ලැබෙනවා. අවසාන වශයෙන්, මොරටුව, ත්‍රිකුණාමලය සහ ගම්පහ වික්‍රමආරච්චි යන විශ්වවිද්‍යාල සඳහා නේවාසිකාගාර ව්‍යාපෘති 2 බැගින් අප එම ව්‍යාපෘතිය හරහා වෙන් කරලා තියෙනවා.
එසේම, මෙම නේවාසිකාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සිසුන්ට නිසි ප්රතිලාභ ලබාගත හැකි වන අයුරින් නිවැරදි කාල සීමාව තුළ අවසන් කිරීමට අප කටයුතු කළ යුතුයි. ඒ වගේම, නිසි පරිදි එම සම්පත් ආරක්ෂා කරමින්, නඩත්තු කටයුතු නිසි පරිදි සිදු කරමින් ඊළඟ පරම්පරාවට භාරදීමේ වගකීමද ඔබ සියලු දෙනාම භාරගත යුතු වෙනවා.
විශ්වවිද්‍යාල යනු රටේ අනාගත නායකත්වය බිහිකරන ස්ථාන වන බැවින්, විශ්වවිද්‍යාල සිසුන්ට ගුණාත්මක අධ්‍යයන ක්‍රියාකාරකම්, අංගසම්පූර්ණ යටිතල පහසුකම් මෙන්ම නිවැරදි දේශපාලන සංස්කෘතික ජීවිතයක් ද ලබාදිය යුතු වෙනවා. ඒ නිසා තමයි විශ්වවිද්‍යාල තුළ නිදහස් අධ්‍යාපන සංස්කෘතියක් තිබෙන පරිසරයක් ඇති කිරීම සඳහා අප රජයක් ලෙස ආයෝජනය කරන්නේ.
මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ නියෝජ්‍ය අමාත්‍ය ආර්. එච්. උපාලි සමරසිංහ යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. තිලගනාදන් සහ එම්. ජෙගදීස්වරන් යන මහත්වරුන් මෙන්ම, වවුනියාව විශ්වවිද්‍යාලයේ උප කුලපතිතුමා ප්රමුඛ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නිලධාරීන් සහ සිසුන් පිරිසක් සහභාගී වූහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
