කැවුම් වූ කලී අවුරුදු කෑම මේසයට නැතිවම බැරි කැවිලි විශේෂයකි. කැවුම් ඉවීම ගජරාමෙට කෙරෙන්නේද සිංහල අවුරුදු කාලයටය. එකල සෑම සිංහල ගෙදරකින්ම පාහේ කිසියම් රස කැවිල්ලක සුවඳ විහිදී ආවේය. කොටින්ම කිවහොත් කැවුම්, කිරිබත් නොමැති උත්සවයක් සිංහලයාට නොමැති තරම්ය. සැබවින්ම සිංහල කැවිලි වර්ගවලට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි. කැවිලි වර්ග වැඩි වශයෙන්ම දක්නට ලැබී ඇත්තේ නුවර යුගයේදීය. විවිධ මාදිලියේ කැවිලි වර්ග ඉවීමට අපේ ගැමි කාන්තාවට ඇත්තේ සුවිශේෂී වූ හැකියාවකි.
කැවුම් වර්ගවලට නම් පටබැඳී ඇත්තේ කැවුම් ඉවීම සඳහා යොදාගන්නා ද්‍රව්‍ය අනුවය. ඒ අනුව නාරං කැවුම්, පැණි කැවුම්, සීනි කැවුම්, හැඳි කැවුම්, කොණ්ඩ කැවුම්, මුං කැවුම් ආදී කැවුම් වර්ග රාශියකි. කොණ්ඩයක් නොමැති කැවුම් හැඳින්වෙන්නේ අතිරස වශයෙනි. එමෙන්ම වලස්මුල්ල ප්‍රදේශටම ආවේණික වූ කැවුම් වර්ගයක්ද ඇත්තේය. එම කැවිලි වර්ගය හැඳින්වෙන්නේ මුකුදු යනුවෙනි. අපේ ගැමි කාන්තාවන් විසින් සාදන කැවිලි වර්ග ඉතා රසවත්ය. එදා රොබට් නොක්ස් පවා අපේ රටේ ළඳුන් විසින් සාදනු ලැබූ රසකැවිලි අනුභව කොට එම රස කැවිලිවලට වශී වී තිබේ. එමෙන්ම ඕලන්දකාරයන් මෙරටට පැමිණි අවධියේ ඔවුන් හට රාජකීය සංග්‍රහයක් කිරීමට කැමති වූ උඩරට රජු මොවුන්ට කැවුම් පිස යවන ලෙස රාජපුරුෂයන් හට නියම කොට තිබේ.
එම කැවුම් කා පුදුමයට පත්වී ඇති ඕලන්දකාරයන් එපමණ ප්‍රණීත ආහාරයක් මිනිස් අතකින් නම් සෑදිය නොහැකි යැයි සිතා මේවා ගස්වලින් කඩා ගන්නා දෙයක් දැයි අසා ඇති බව රොබට් නොක්ස්ගේ %එදා හෙළදිව^ නමැති ග්‍රන්ථයේ සඳහන් වී ඇත්තේය. &මේ රටේ කාන්තාවන් විසින් සාදනු ලබන රසකැවිලි විවිධය. ඒ රසකැවිලි අතර ප්‍රධානත්වයක් ගන්නා කැවුම් සහල් පිටියෙන් හා පැණියෙන් සාදාගනු ලැබේ. සහල් පිටි අනා ගුලි ගසා කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලිකොට පෑහෙන තෙල් ඇතිලියේ බහා පදමට කරවූ පසු තෙලෙන් එළියට ගනියි යනුවෙන් එදා ගැමි කාන්තාව කැවුම් ඉවීම කළ අයුරු රොබට් නොක්ස් හරි අපූරුවට එහි විස්තර කොට තිබේ.
එමෙන්ම රසකැවිලි අතර ප්‍රමුඛයා වන කැවුම් මිනිසාගේ පමණක් නොව දෙවි බඹුන්ගේද රස නහර පිනවීමට සමත් කෑම විශේෂයකි. නොයෙකුත් දේවපූජා, ශාන්තිකර්ම සඳහාද කැවුම් ගෙඩිය අවශ්‍යම දෙයකි. කුඩා දරුවන් ගණ දෙවියන්ගෙන් නුවණ ඉල්ලා යදින්නේද අතිරස අග්ගලා පුදමි යනුවෙන් පොරොන්දු වීමෙනි. සැබවින්ම රසකැවිලිවලින් මිනිසාගේ රස නහර පමණක් නොව අපේ සිංහල බස්වහරද පෝෂණය වී තිබේ.
සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝධයා* මේ එවැනි ජනවහරකි. සිංහලයා කොයි දේට අදක්ෂ වුවත් කැවුම් කෑමට ශූරයෙකු බව මේ ජනවහරින්ද පැහැදිලි වන්නේය. එමෙන්ම සිංහලයා කොතනද කැවුම්ද එතැනය. අදටත් අපේ පැරැන්නෝ මේ වැකිය කියමින් තමාටම සරදම් කර ගනිති. එකල අපේ කොල්ලෝ, කුරුට්ටෝ පවා අප්පුඩි ගසමින් &අප්පුඩි පුඩි පුවත්තා කැවුම් දෙකක් දියත්තා යනුවෙන් කැවුම් ඉල්ලූහ.
සැබවින්ම කෙතරම් අගහිඟකම් ඇති ගැමි නිවසක වුවද ගැමිලිය අලුත් අවුරුද්දට කැවුම් ඉවීමට අමතක නොකරයි. කැවුම් ඉවීම සෑම කාන්තාවකටම කළ හැකි දෙයක් නොවේ. එදා කැවිලි පෙවිලි ඉවීමට දක්ෂ කාන්තාවන් සෑම ගමකම පාහේ සිටියේය. එවැනි ගැමි කාන්තාවන් අදත් ගම්බද ප්‍රදේශවල සිටිති. මෙම කතුන් හඳුන්වන්නේ කැවුම් අම්මලා යනුවෙනි.
එවැනි කැවුම් ඉවීමට දක්ෂ තැනැත්තියක් අපට පසුගියදා හමුවිය. ඇය ගාල්ලේ උළුවිටිකේ ඕපාත පදිංචි එස්. ඒ. උදුලාවතී මහත්මියයි.
මේ ඇය අප හා දැක් වූ අදහස්ය.
කැවුම් ඉවීම ලේසි වැඩක් නොවෙයි. නියම විදියට පදම ගන්න ඕන. පදම වැරදුනොත් ඔක්කොම ඉවරයි. හාල් දියේ දාලා පිටි කොටා ගන්නෙත් අපිමයි. අසල්වැසි කාන්තාවන් එක්වෙලා තමයි පිටි කොටන්නේ. එකිනෙකාට උදව් කර ගනිමින් තමයි වැඩ කළේ. ඒ කාලයේ හාල් සේරු දෙකක තුනේ කැවුම් උයලා තියෙනවා. දැනුත් මඟුල් ගෙවල්වල කැවුම් උයන්න යනවා. ඇත්තටම ඒ කාලයේ කැවුම් ඉවීමට දක්ෂ ගැහැනු ළමයි දෙතුන් දෙනෙක් හැම ගෙදරකම හිටියා. දැන් ඉන්න ගැහැනු ළමයින්ට කැවුම් ගෙඩියක් උයන්න තියා තෙල් වළඳක්වත් ළිපේ තියාගන්න බැහැ. මේ කාලයේ හැම දෙයක්ම වෙනස් වෙලා
ගාල්ලේ, උණවටුනේ, මැටරඹ පදිංචි කේ.එම්.කුසුමා ප්‍රියංගනී(54) මහත්මියද කැවුම් ඉවීමට දක්ෂ කාන්තාවකි. ඇය තම දියණිය සමග එක්වී ස්වයං රැකියාවක් වශයෙන් කැවිලි පෙවිලි සෑදීමේ ව්‍යාපාරයක්ද පවත්වාගෙන යන්නීය. ඇය කැවිලි පෙවිලි සාදන්නේ සිංහල අලුත් අවුරුදු කාලයට පමණක් නොවේ. ඇය සතියකට දින තුන හතරක්වත් කැවිලි පෙවිලි සාදයි. ඈ සාදන කැවුම්වලට ඇත්තේ හොඳ ඉල්ලුමකි.
ඇය අප හා මෙසේ අදහස් දැක්වූවාය.
මද්දු ආච්චිගෙන් තමයි මට කැවිලි පෙවිලි හදන්න පුළුවන් වුෙණ්. ඇය කැවිලි හදනවා බලන් ඉඳලා තමයි කැවිලි හදන්න පුරුදු වුණේ. සීනි උණුකරලා තමයි කැවුම් හදන්න ගන්න ඕන. සමහරක් අය සීනි උණු කරන්නේ නැතිව කැවිලි හදනවා. එහෙම හැදූවිට කැවිලි වැඩි දවසක් තියාගන්න බැහැ හයි වෙනවා. හාල් සේරුවකින් කැවුම් ගෙඩි 55ක් විතර හදන්න පුළුවන්. අතිරස, කොකිස්, මුං කැරලි, කොණ්ඩ කැවුම්, නාරං කැවුම් දොදොල් වගේ රසකැවිලි වර්ග හදනවා.
ඉස්සර ගල් වංගෙඩියෙන් කෙටූ පිටි තමයි කැවුම් උයන්න ගත්තේ. දැන් නම් ගල් වංගෙඩිවල පිටි කොටන්න යන්නේ නැහැ. මෝලට ගිහින් පිටි කොටාගෙන එනවා. අලුත් සහල්වලින් පිටි කොටන්නේ නැහැ. පරණ සහල් තමයි පිටි කොටන්න ගන්නේ. දර ලිපේ නම් දැන් කැවුම් උයනවා අඩුයි. ගෑස් ලිපේ තමයි කැවුම් ඉවීම කරන්නේ. දැන් ඉතින් හැමදෙයක්ම දියුණුවෙලානේ. ඒ වුණත් කැවුම් හදන්න අතේ හුරුව තියෙන්න ඕන. අලුත් අවුරුදු කාලයට කැවිලි පෙවිලි හදන්න ගොඩක් ඇණවුම් එනවා. ඒ කාලයට පමණක් නෙවෙයි කොහොමත් දින දෙකකට සැරයක් කැවුම් හදන්න ඇණවුමක් මට එනවා. පොල්තෙල්, සීනි, පිටි වගේ දේවල්වල මිල වැඩිවෙලා තියෙනවා. ඒ නිසා මේ ජනවාරි මාසයේ සිට කැවුම් ගෙඩියක මිල රුපියල් 20කින් වැඩි කළා
කැවිලි ඉවීමද එතරම් පහසු කාරියක් නොවේ. ගින්දර රස්නේ කාගෙන කැවුම් ඉවිය යුතුය. ඒ විතරක් නොව කැවුම් ඉවීමට ගන්නා පිටි සීනි අඩංගු මිශ්‍රණය නියම පදමට තිබිය යුතුය. එසේ නොවුණහොත් නියම ප්‍රමිතියට කැවුම් ඉවීම කළ නොහැකිය. දැනට වසර පහළොවක විස්සක පමණ සිට කැවුම් උයන කුසුමා අම්මාට නම් කැවුම් ඉවීමට පදම සකස් කරගැනීම එතරම් අපහසු කාරියක් නොවේ. ඇය දර කොලපු කිහිපයක් ගිනි දල්වා දර ලිපේ කැවුම් ඉවීම කළාය. ඇය සාදනු ලබන කැවුම් ගෙඩිවලින් අමුතු සුවඳක් විහිදී අවේය.
කුසුමාගේ වැඩිමහල් දියණිය ඩිනිෂා හේමාලි විසිපස් හැවිරිදි වියේ පසුවන්නීය. ඇයද කැවිලි පෙවිලි ඉවීමට හොඳ පළපුරුදුකාරියකි. ඇයද දැනට වසර පහ හයක පමණ සිට කැවිලි පෙවිලි සැදීම සිදුකරගෙන යන්නීය.
ඇය අප සමග මෙසේ අදහස් දැක්වූවාය.
කැවුම් ගෙඩියේ රසය මෙන්ම හැඩයද ඉතා වැදගත්. කැවුම්වල හැඩය නැති වුණොත් විකුණන්න බැහැ. අලුත් අවුරුදු කාලයට නම් 13 වැනිදාත් කැවුම් උයනවා.