එදා උපන්තේකට කොළඹට පා තබා නොතිබූ, පිටිසරබදව, නැතිනම් රටේ මධ්‍යම පළාත්වල ජීවත් වූ මිනිසුන් කොළඹ පැමිණි විට 'හෝ ගාන පොකුණ' බලන්නට පැමිණියේ ගාලු මුවදොරටය. එසේත් නැතිනම් කටට හුරුපුරුදු අයුරින් වහරන්නේ නම් 'ගෝල්ෆේස්' එකටය. එදා සිට අද දක්වා ගාලු මුවදොර හා බැඳුණු සංස්කෘතිය පරිණාමයට ලක්වී තිබුණත්, එතෙක් මෙතෙක් මිනිසුන් ගාලු මුවදොර හා ආදරයෙන් බැඳුණු හේතුව කෙදිනක හෝ වෙනස් වී නොමැතිවීම අපූර්වත්වයකි.
පශ්චාත් යටත්විජිත ශ්‍රී ලංකාවක් තුළ ගාලු මුවදොර ඉහළ පාංතික සහ ඉහළ මධ්‍යම පාංතික සමාජ ස්ථරයන්ගේ පැළැන්තිය හා බැඳුණු සංකේතයක්ව තිබූ බව පෙනී යයි. 'ගාලු මුවදොර පිටිය සහ එහි සන්ධ්‍යා පර්යාසයන්' ලොකු ලොක්කන්ගේ පුරුද්දක් යන හැඟීමෙන් මඩනා ලද, අලුත ධනවත් වූ අයවලුන්ද ඊට ඉක්මනින්ම හුරු වූ බවද පශ්චාත් යටත්විජිත සමයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලියැවුණු පොතපත ඇසුරින් දත හැකි දෙයකි.
කෙසේ වුවත් අද වනවිට 'ගෝල්ෆේස්' හා බැඳුණු මෙම සමාජ ස්ථරයන්ගේ පරතරය දියවී ගොස් තිබෙන අතර, විවිධ තරාතිරම්වල, විවිධ වයස් කාණ්ඩවල, විවිධ සමාජ මට්ටම්වල මෙන්ම විවිධ ජාතීන්ට අයත්වන බොහෝ දෙනාට සවස් යාමයේ විඩාව නිවන්නට, කෙළිදෙළෙන් හැසිරෙන්නට, මිත්‍ර සන්ධවයන් පවත්වන්නට මෙන්ම ප්‍රේම කරන්නටද ගාලු මුවදොර පිටිය තෝතැන්නක් බවට පත් වී තිබේ.
පසුගිය කාලවකවානුව තුළ ගාලු මුවදොර ආසන්නයේ නවතම තරු හෝටල් සංකීර්ණවල වැඩ කටයුතු ඇරඹෙනවාත් සමගින්ම කණින් කොණින් ඇසෙන්නට වූයේ බොහෝදුරට අනාගතයේදී ගාලු මුවදොර පිටිය සාමාන්‍ය ජනතාවට රිසිසේ හැසිරෙන්නට ඉඩ නොලැබෙන තහනම් කලාපයක් බවට, එසේත් නැතිනම් පෞද්ගලික වෙරළ තීරයක් හෝ වෙනත් සංවර්ධන වැඩ කටයුතු සඳහා වෙන් වූ කලාපයක් වනු ඇති බවයි. කෙසේ වුවත් මෙම ආරංචි හුදු කටකතා සහ නොනිල පුවත් පමණක් වූ අතර, මේ වනතුරුද නිල වශයෙන් එවැනි දෙයක් ඉඟිකරන ප්‍රකාශයක් හෝ නිකුත් වී නොමැති බව සඳහන් කළ යුතුය.
එසේ නමුත් එම කටකතා සහ ඕපාදූප වේගයෙන් පැතිර යෑමත් සමගින් බොහෝ සෙයින් කැළඹුණේ ගාලු මුවදොර පිටියේ සන්ධ්‍යා පර්යාසයකට ආශා කරන නාගරික සහ අර්ධ නාගරික පිරිස්ය. තමන් අත්විඳින විවිධ සංස්කෘතික වර්ණයන් මිශ්‍ර වූ ප්රමෝදයේ බිම්කඩක් වැනි ගාලු මුවදොර පිටිය නැතිවනු ඇතිදැයි යන සාංකාව පවා ඔවුන් තුළ කැළඹීමක් ඇති කරවන්නට සමත් වී තිබිණි.
මෙම කටකතාවල සත්‍යතාවක් තිබුණද, නොතිබුණද ඉස්සෝ වඩේ කරත්ත, ආහාර වෙළෙඳ සැල්, සරුංගල්, අරුමෝසම් වෙළෙඳුන් මෙන්ම ගාලු මුවදොර ක්ෂිතිජයෙන් බැස යන රත්පැහැ හිරුද සමගින් පරම්පරා ගණනාවක කතාන්තර රැස් කරගත් 'ගෝල්ෆේස්' සඳහා ආදේශකයක් නම් කෙදිනක හෝ හමුනොවනු ඇත.