දිත්වා නිසා ලැබුණ රු. ලක්ෂ 5 බැගින් වූ වන්දිය ආපසු රජයට භාරදුන් උතුම් මිනිස්සුන් දෙදෙනා
දිට්වා සුළි කුණාටුව නිසා තමන්ට සිදු වූ හානි වෙනුවෙන් රජයෙන් පිරිනැමූ රුපියල් ලක්ෂ පහක (500,000) වන්දි මුදල, තමන්ට වඩා අසරණ වූ පිරිසක් වෙනුවෙන් යොදවන ලෙස පවසමින් වයෝවෘද්ධ පුද්ගලයින් දෙදෙනෙකු එම මුදල යළි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතම භාර දී තිබේ.
ඔවුන් දෙදෙනා රජයට ආපසු ලබා දුන් මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ 10 කි. මෙම අගනා පූර්වාදර්ශය මානුෂීයත්වයේ උදාර ආදර්ශයක් ලෙස මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වාර්තා වේ.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවූ දේපළ හානි වෙනුවෙන් තක්සේරු කළ වන්දි මුදල් හිමිකම ලද 152 මාකඩුවාව පදිංචි එච්.එම්.ඒ.රංබණ්ඩා (80) හා 169 මානිංගමුව පදිංචි ආර්.අයි.බී.ඩිංගිරි අම්මා (82) යන දෙදෙනා මෙම මුදල් ලබා නොගන්නා බව සඳහන් කරමින් ලිපියක් මගින් ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි.
මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් ඔහු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ එම මුදල වෙනත් ප්‍රදේශවල ආපදාවන්ට ලක් වූ ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙසය.
"මට වඩා අසරණ අය ඕනෑතරම් ඉන්නවා. මට මේ ආපදාවෙන් යම් හානියක් වුණා තමයි. ඒත් මට තවමත් නැගී සිටින්න ශක්තියක් තියෙනවා. මම දැක්කා මේ විපතින් තමන්ගේ මුළු ජීවිතයම අහිමි වෙලා, අදටත් කන්න බොන්නවත් විදිහක් නැතිව අන්ත අසරණ වෙලා ඉන්න මිනිස්සු. රජයේ මුදල් කියන්නේ ජනතාවගේ මුදල්. ඒ නිසා මේ ලක්ෂ පහ මට වඩා අසරණ වෙච්ච කෙනෙක් වෙනුවෙන් යොදවනවා නම් මම වඩාත් සතුටු වෙනවා. මීර මීට පෙර මට ලැබුණු රුපියල් විසිපන් දහසින් (25000) හානි වෙලා තිබුණු කොටස හදා ගත්තා."තමන් මෙවැනි තීරණයක් ගැනීමට හේතුව පිළිබඳව අදහස් දක්වමින් ඔහු එසේ පැවසීය.
මුදල් පරිත්‍යාගය පිළිබඳව අදහස් දැක්වූ මහව ප්‍රාදේශීය ලේකම් නදුන් ආර්.සම්පත් මහතා සඳහන් කළේ,
වන්දි ලබා ගැනීමට මිනිසුන් පොරකන යුගයක, තමන්ට ලැබුණු මුදල පවා අනුන් වෙනුවෙන් කැප කිරීමට තරම් නිහතමානී වූ මෙම පුද්ගලයාගේ ක්‍රියාව මුළු මහත් සමාජයටම ආදර්ශයක් බවයි.
අදාළ මුදල රජයේ නියමිත පටිපාටියට අනුව නැවත ආපදා සහන කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගන්නා බවද කීය.
මුල් අවස්ථාවේ අපි ලබා දුන් රුපියල් විසිපන් දහස මුදල ලබා ගෙන අවශ්‍ය කටයුතු සිදු කරගත්තා. ඔවුන්ට හිමි ලක්ෂ පහ මුදල තමයි පරිත්‍යාග කරන්නේ. එම මුදල වෙනත් රජයේ කටයුතු සඳහා යොදාගන්නා ලෙස දන්වමින් ලිපි මගින්
මාව දැනුවත් කළා. එම දෙදෙනා විසින් රුපියල් ලක්ෂ දහයක මුදලක් ආපසු පරිත්‍යාග කිරීමට කටයුතු කිරීම පිළිබඳ මාගේ කෘතඥතාවය පළ කර සිටිනවා යැයිද කීය.



මහව සංජීවිකා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

