ධාන්‍ය ගබඩාවකට වන අලි ප්‍රහාරයක්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව, යකල්ල - ගල්කුලම් මාර්ගයේ පිහිටි පෞද්ගලික ධාන්‍ය ගබඩාවකට වන අලි සිව්දෙනෙකු කඩා වැදී එහි ගබඩා කර තිබූ වී සහ බඩඉරිඟු තොගයකට විශාල ලෙස හානි සිදුකර තිබේ.
පසුගිය දිනක රාත්‍රී කාලයේදී පැමිණ ඇති එක් ඇතෙකු සහ තවත් වන අලි තිදෙනෙකුගෙන් යුත් මෙම රංචුව ගබඩාව වටා ඉදිකර තිබූ ආරක්ෂිත තාප්පය පෙරළා දමා ගබඩාව තුළට ඇතුළුවී ඇති බව වාර්තා වේ. වන අලි රංචුව ගබඩාව තුළ තිබූ ධාන්‍ය මලු ඇද දමමින් ආහාරයට ගන්නා ආකාරය එහි සවිකර තිබූ CCTV කැමරා පද්ධතියේ ඉතා පැහැදිලිව සටහන්ව තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගබඩාවේ හිමිකරු වන තුෂාර මහතා මෙලෙස පැවසීය:
"අලි හතර දෙනෙක් ඇවිත් තාප්පෙත් කඩලා දාලා ගබඩාව ඇතුළටම ආවා. වී මලු සහ බඩඉරිඟු මලු ඇදලා දාලා කාපු එකෙන් මට රුපියල් ලක්ෂ දෙක හමාරකට වැඩි පාඩුවක් වෙලා තියෙනවා. හුරුළු රක්ෂිතය පැත්තේ ඉඳන් එන මේ අලි පාලනය කරන්න ගහලා තියෙන අලි වැටෙනුත් කිසිම වැඩක් නැහැ. උන් අතු කඩලා අලි වැට උඩට දාලා ඒක පාගාගෙන තමයි මේ පැත්තට එන්නේ. මේක දැන් ප්‍රදේශයේ මිනිස්සුන්ට ලොකු කරදරයක් වෙලා තියෙන්නේ. අපේ සේවකයෝ මෙතන හිටියත් ඒ වෙලාවේ ඔවුන් නිදාගෙන හිටපු නිසා බේරුණා."

ගබඩාවේ කළමනාකරු ලෙස කටයුතු කරන එස්. දුමින්ද මහතා ද පවතින තත්ත්වය පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය:
"අලි වැට නිර්මාණය කරලා තිබ්බට ජනතාවගේ ආරක්ෂාවට නිලධාරීන් පත් කරලා හිටියට ඒ අලි වැටේ ක්‍රියාකාරීත්වය දුර්වලයි. අලි ගම්මානයට එනවා කියන්නේ එතන ලොකු අඩුපාඩුවක් තියෙනවා. වනජීවී නිලධාරීන් දැනුවත් කළත් තාම නිසි පිළිතුරක් නැහැ. අද කඩනවා, හෙට හදනවා, ආයෙත් අලි ඇවිත් කඩනවා. මේක ප්රතිඵලදායී දෙයක් නෙමෙයි. ආරක්ෂාව දැඩි වෙනවා නම් අලි ගමට එන්නේ නැහැ. මේ පවතින දුර්වලකම නිසා තමයි අද ගමට අලි වදින්නේ."

ප්‍රදේශයේ පවතින උග්‍ර වන අලි ගැටලුව හේතුවෙන් ගොවි ජනතාව මෙන්ම ව්‍යාපාරික ප්රජාවද දැඩි බියකින් පසුවන අතර, තම දේපළ හා ජීවිත ආරක්ෂා කර දීමට බලධාරීන් කඩිනම් පියවරක් ගත යුතු බව ප්‍රදේශවාසීහු තවදුරටත් අවධාරණය කරති.








popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
