තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ කෙසෙල් මිල යළිත් දැඩි ලෙස පහත වැටී ඇති බව ගොවීහු පවසති. රාජාංගනය, ගල්නෑව, තලාව, එප්පාවල, තඹුත්තේගම, බුල්නෑව ආදි ප්‍රදේශ ආශ්රිත කෙසෙල් අස්වනු ආර්ථික මධ්‍යස්ථානය වෙත ගෙන එන කෙසෙල් සදහා නිසි මිළක් නොලැඹෙන බව ගොවීහු පවසති. වැඩි කෙසෙල් අස්වැන්නක් වෙළෙද පොළට පැමිණීමත්, වෙළෙදුන්ගේ පැමිණීම සීමාසහිත වීමත් කෙසෙල් මිල පහත වැටීමට හේතුවී ඇති බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
මේ හේතුවෙන් දෛනිකව කෙසෙල් කිලෝ 800 ත් 1000 ත් අතර ප්‍රමාණයක් දෛනිකව ඉදි, කුණුවී ඉවත දැමෙන බව ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙද සංගමයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පැවසීය. මෙම මිල පහත වැටීම හේතුවෙන් කලාපයේ කෙසෙල් ගොවීහු දැඩි අසරණභාවයට පත්ව ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.
මෙම පසුබිම තුළ ඇඹුල් කෙසෙල් කිලෝවක තොග මිල රුපියල් 30 ත් 35 ත් අතර මිළකට පහත වැටී ඇති බවත්, සීනි කෙසෙල් කිලෝවක් රුපියල් 50 ත් 55 ත් අතර මිළකට සහ අලු කෙසෙල් කිලෝවක් රුපියල් 45 ත් 55 ත් අතර මිලකට අළෙවි වන බවත් ව්‍යාපාරිකයෝ පවසති. එමෙන්ම කැවන්ඩිස් කෙසෙල් කිලෝවක තොග මිලද රුපියල් 65 ක් දක්වා පහත වැටී ඇති බවද ඔවුහු පවසති.
මේ අතර එළවලු තොග මිළද ඉකුත් සතියට සාපේක්ෂව පහත වැටී ඇති බව සුනිල් සෙනෙවිරත්න මහතා කීවේය. ඒ අනුව කැකිරි කිලෝවක් රුපියල් 10 ත් 15 ත් අතර මිලකට පහත වැටී ඇති බව හෙතෙම කීය. පිපිඥ්ඤා කිලෝවක් රුපියල් 30 ත් 35 ත් අතර මිළකට අළෙවි වන බව ඔහු කීය.
අමු මිරිස් කිලෝවක් රුපියල් 250 ත් 300 ත් අතර මිළකට පහත වැටී ඇති බවද සෙනෙවිරත්න මහතා පැවසීය. බණ්ඩක්කා කිලෝවක් රුපියල් 50 ත් 60 ත් අතර මිලකටත්, තක්කාලි රුපියල් 70 ත් 80 ත් අතර මිළකටත්, වට්ටක්කා කිලෝවක් රුපියල් 50 ත් 60 ත් අතර මිලකටත්, මෑ කරල් රුපියල් 60 ත් 70 ත් අතර මිළකටත් පහත බැස ඇති බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති. මේ හේතුවෙන් සැලකිය යුතු එලවලු තොගද දෛනිකව ඉවත දැමෙන බව ඔවුහු පෙන්වා දෙති.
බුල්නෑව ප්‍රදීප් රණතුංග


