මෙතෙක් කලක් බොහෝ ස්මාට්ෆෝන් නිෂ්පාදක සමාගම් (LG, Samsung, Apple, Motorola වැනි) ස්මාට් වොච් නිපදවීමේ පෙරමුණ ගෙන සිටියද, මේ වනවිට කෙමෙන් කෙමෙන් අත්ඔරලෝසු නිපදවීමේ පුරෝගාමී සමාගම් එය තම අතට ගැනීමේ විප්ලවයක නිරත වෙනවා. එසේම මෙම අත්ඔරලෝසු ඉතාමත් සුඛෝපභෝගී ලෙස නිමවන නිසා එයට වෙනස් පාරිභෝගික පිරිසක් ඇති වීමද සිදුවෙයි. එනිසා මෙය සුඛෝපභෝගී අත්ඔරලෝසු සමාගම්වලට තම වෙළඳාම් දියුණු කරගැනීමටත් වඩා තම වෙළඳ පොළ පුළුල් කරගැනීමක් ලෙස දැක්විය හැක.
Tag Heuer සමාගමද මෙම ස්මාට් වොච් කටයුත්තට එළැඹි අතර මෙම සටහන එම ඉයට එළඹෙන තවත් ප්රමුඛ පෙළේ සුඛෝපභෝගී අත්ඔරලෝසු නිපදවන්නෙකු වන Breitling සමාගම පිළිබඳවය. මේ පිළිබඳ දැනුම්දී බොහෝ කලකට පසු නිපදවුණු මෙම ස්මාට්වොච් උපාංගය Breitling Exospace B55 ලෙස දැක්වෙන අතර, එය බ්ලූටූත් තාක්ෂණයෙන් ඔබ සේමාට්ෆෝනය හා සම්බන්ධ වෙයි. මෙම ඔරලෝසුව සහ එයට සමගාමී ස්මාට්ෆෝන් යෙදුම ස්විට්සර්ලන්තයේ නිපදවෙන අතර, සාමාන්‍ය ඇනලොග් අත්ඔරලෝසුවක් ලෙස එය දිස්වනු ඇත.
මෙහි විශේෂතම අවස්ථාවක් ලෙස මාස දෙකක කාලයක් පුරා පවතින මෙහි බැටරි ආයු කාලය දැක්විය හැක. එය බොහෝ ස්මාට් වොච් උපාංග අසමත් වන ස්ථානයකි. SuperQuartz ආකාරයේ ගමනක් (Movement) දැක්වෙන මෙහි සාමාන්‍ය Quartz ගමනකට වඩා දස ගුණයක නිරවද්‍යතාවක් දක්වන බව නිෂ්පාදකයෝ පවසති.
කළු පැහැ ඔරලෝසුව මිලිමීටර 46ක් පළලය. මිලිමීටර 15.25ක් ඝනකමය. සැෆයර් පළිඟුවකින් ආරක්ෂාව සැලසෙන අතර, දිලිසීමකින් තොරව පහසුවෙන් තිරය දැකිය හැකි ලෙස සකසා ඇත. ජලය ගැඹුරෙහි මීටර් 100ක් තෙක් හානියකින් තොරව භාවිතා කළ හැක.
ඒවියේටර් වර්ගයේ අත්ඔරලෝසුවක් නිසා ගුවන් ගමන් වෙනුවෙන් දත්ත එක්රැස් කරන බොහෝ විශේෂාංග ඔරලෝසු මුහුණතෙහි දිස්වනු ඇත. ස්මාට්ෆෝනයකට සම්බන්ධ වූ වහා මෙහි ඔබට ලැබෙන ඊමේල්, කෙට් පණිවුඩ, වට්ස්ඇප් පණිවුඩ, දුරකථන ඇමතුම් සහ ඉදිරියේදී කිරීමට යොදාගත් වැඩකටයුතු දැක්වෙනු ඇත. මෙහි මිල සම්බන්ධ සඳහනක් නැතද ඇමෙරිකානු ඩොලර් 150-300ක් අතර වන සාමාන්‍ය ස්මාට් වොච් ඔරලෝසුවකට වඩා පැහැදිලි මිල වෙනසක් දැකිය හැකි වනු ඇත.