SLC ඉහළ පුටුවලට සුදුසුකම් නැති පිරිසක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනය ගත් තීන්දුවක් අනුව ඉදිරියේදී එහි ඉහළ පුටුවල ලොකු වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිත බව %අද^ට වාර්තා වේ.
ඒ අනුව සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයන් කිහිපදෙනෙකුට ඉහළම තනතුරු ලබාදීමට ක්‍රිකට් විධායක කමිටුවට නිර්දේශ පැමිණ ඇති අතර, එය ඉදිරියේදී අනුමත කර අදාළ පුද්ගලයන් එම තනතුරුවලට පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයෝ චෝදනා කරති.
මෙහිදී වඩාත් ප්‍රශ්නකාරීම පත්වීම ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන අංශයේ (Admin Section) ප්‍රධානියා ලෙස අරුණ ද සිල්වා මහතා පත්කිරීමයි. අරුණ ද සිල්වා මහතා පසුගිය බංග්ලාදේශ තරගාවලියේදී තරග ප්‍ර‘වේශපත්‍ර බාරව කටයුතු කළ පුද්ගලයාද වන අතර, එම තරගාවලියේ ක්‍රිකට් ආයතන සේවකයන්ට හිමි ප්‍ර‘වේශපත්‍ර ලබානොදීමෙන් ගැටලුකාරී වාතාවරණයක්ද මතුවිය. ඒ පිළිබඳ 'අද' පුවත්පතින් කරුණු වාර්තා කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයන්ට හිමි නිදහස් ප්‍ර‘වේශපත්‍ර ලබාදීමට ක්‍රිකට් ආයතනය පසුව පියවර ගත්තේය.
කෙසේ වෙතත් අරුණ ද සිල්වා පරිපාලන අංශයේ ප්‍රධානියා වශයෙන් පත්කිරීමට වත්මන් පාරිපාලනය තීරණය කර ඇත්තේ ඔහුගේ සුදුසුකම් පරීක්ෂා‘වකින් තොරව හුදෙක් හිතවත්කම් පදනම් කරගෙන බව ක්‍රිකට් ආයතනයේ නිලධාරීහුම චෝදනා කරති. ඔවුන් පෙන්වා දෙන්නේ හෙතෙම විධායක කමිටු (Exco Member) සාමාජිකයෙකු වුවද, නිසි සුදුසුකම් සපුරාලීමෙන් තොරව මෙවැනි තනතුරකට පත්කිරීමට තරම් ශ්‍රී ලංකා ක්‍රිකට් අයාලේ ගොස් ඇති බවයි.
මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ අසන්ත දසනායකය. කෙසේ වෙතත් ඔහු වෙනුවට සුදුසුකම් නොමැති අරුණ ද සිල්වා පත්කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් යළිත් සිතා බැලිය යුතු යැයි එහි සේවකයෝ පවසති.එසේම මේ වනවිට ක්‍රිකට් පරිපාලන අංශයේ නිලධාරීන් 07 දෙනෙකු සේවය කරන අතර, ඉන් නිලධාරීන් 05 දෙනෙකුම කළමනාකරුවන් (Managers) ලෙස සේවය කිරීම සුවිශේෂීය. එනිසා ශ්‍රී ලංකා ක්‍රිකට්හි වැදගත් මර්මස්ථානයක් වන පරිපාලන අංශයට විධායක කමිටු සාමාජිකයෙකු පත්කිරීම නීතිවිරෝධී බවද එහි නිලධාරීහු පෙන්වා දෙති.
ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, ක්‍රිකට් ක්‍රීඩා කර නොමැති (පිළිගත් දේශීය තරගාවලි තුළ), මෙම තනතුරට අදාළ නිසි පරිපාලන සුදුසුකම් සපුරා නොමැති විධායක කමිටු සාමාජිකයෙකු රු. ලක්ෂ 02කට වැඩි වැටුපක් ගෙවමින් පරිපාලන අංශයේ ප්‍රධානියා ලෙස පත්කිරීමෙන් සමස්ත ක්‍රිකට් ක්‍රීඩාව හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද අරාජික විය හැකි බවයි.
පරිපාලන අංශයේ ප්‍රධානියා ලෙස නම්කර සිටින අරුණ ද සිල්වාට එම තනතුරට අමතරව තරගාවලි සංවිධායක (Tour Organizer) තනතුරක්ද පිරිනමා ඇති අතර, මෙවැනි ආකාරයෙන් තනතුරු ලබාදෙන්නේ කුමන පදනමකින්ද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයෝ ප්‍රශ්න කර සිටිති. එමෙන්ම තනතුරට අදාළව දුරකථන, පෙට්‍රල් දීමනා හා මෝටර් රථයක්ද ඔහුට ලබාදීමට නියමිතය බවත්, ඒ අනුව වැඩි වැටුප් පැකේජයක් අනුමත කර ඇති බවත් ඔවුහු චෝදනා කරති.
2012 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඇතිවූ යම් ගැටලුකාරී තත්ත්වයක් මත මෙවර පරිපාලන අංශයට පත්වීමට නියමිතව සිටින ප්‍රධානියාව එවකට සිටි පරිපාලනය මගින් ඔහු දැරූ තනතුරින් ඉවත් කර තිබුණේ පරිපාලන දුර්වලතා හේතුවෙන් බවද, එවැනි පුද්ගලයෙකු යළිත් පරිපාලන අංශයේ ප්‍රධානියා කිරීම ගැටලුකාරී බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ පෙළේ නිලධාරියෙක් 'අද'ට පැවසීය.
මේ අතර දේශීය ක්‍රිකට් මෙහෙයුම් යන්ත්‍රණය බාරව සිටි කාල්ටන් බර්නාඩස්ගේ තනතුරට ඩුබායිහි වාසය කරන චින්තක එදිරිමාන්න ආනයනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන ඇතැයිද, එවැනි තනතුරක් සඳහා විදේශයක වාසය කරන පුද්ගලයෙකු ගෙනැවිත් දේශීය ක්‍රිකට් ක්‍රීඩාව නංවාලිය හැකිදැයි එහි සේවකයෝ වැඩිදුරටත් ප්‍රශ්න කර සිටිති. එමෙන්ම වත්මන් පරිපාලනය ප්‍රියන්ත සොයිසා ක්‍රිකට් විධායක කමිටුවට නම් කිරීම එහි සේවකයන් පෙන්වා දෙන්නේ හිතවතුන්ට තනතුරු ලබාදීමක් වශයෙනි. එනිසා මෙවැනි පත්වීම් නිසියාකාර ක්‍රියාපටිපාටියකට අනුව සිදු නොකිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්හි කීර්තිනාමය දිනෙන්දින පිරිහෙන බවද එහි සේවකයෝ පෙන්වා දෙති.
අප්සාරි තිලකරත්න ලෝක කුසලාන තරගාවලියට
මේ අතර හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයෙක් හා වත්මනෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෙකු වන හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න මහත්මිය කාන්තා ලෝක කුසලානය සඳහා නිල වශයෙන් පිටත්කර යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් පරිපාලනය තීන්දු කර ඇති බවට වාර්තා වන අතර, ඒ පිළිබඳ කළ විමසීමකදී එහි ඉහළ නිලධාරියෙක් පැවසුවේ තවම එවැනි තීන්දුවක් ගෙන නොමැති බවයි.
ක්‍රිකට් ආයතනයේ සේවකයන් පවසන්නේ මේ ආකාරයට වත්මන් පරිපාලනයට හිතැති පුද්ගලයන්ට තනතුරු ලබාදෙන අතරතුර ක්‍රිකට් පළාත්වලට ව්‍යාප්ත කරන මුවාවෙන් සේවක කප්පාදුව අඛණ්ඩව සිදුකරන බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට්වලට කොන්ත්‍රාත් සේවකයන් බරක් යැයි පවසමින් ඔවුන්ගෙන් බහුතරයක් (පළාත්වලට අනුයුක්ත කළද බහුතරයකට රැකියා අහිමිව තිබේ) රැකියාවලින් ඉවත් කළ අතර, ඉහළ වේතන හා පහසුකම් ලබාදෙමින් හිතවතුන්ට රැකියා ලබාදීම නම් අඩුවක් නොමැතිව සිදුවෙමින් පවතින බවද ඔවුහු වත්මන් පරිපාලනයට චෝදනා කරති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

