ක්‍රීඩා පුහුණුවීමකදී විසි කරන ලද හෙල්ලක් ඇස අසලින් කිඳාබැසීම නිසා පනාමුර මහ විදුහලේ 17 හැවිරිදි සිසුවෙකු අද (09දා) දහවල් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළේය.
සිසුවාගේ ඇස ළඟින් ශරීරගත වී තිබුණු හෙල්ලය සමග අද (09දා) දහවල් ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කරන ලදී. පසුව පැයක පමණ ශල්‍යකර්මයකින් පසු එම සිසුවාගේ ඇස ළඟින්ම ශරීරගත වී තිබුණු හෙල්ලයේ වැඩි කොටසක් කපා ඉවත් කිරීමට වෛද්‍යවරු කටයුතු කළහ.
ඉතිරිව ඇති අඩියක පමණ හෙල්ල කොටස සිසුවාගේ ඇසට නුදුරින් කිඳා බැස තිබියදීම, එය ඉවත් කිරීම සඳහා ඔහු කොළඹ මහ රෝහල වෙත එවීමට වෛද්‍යවරු පියවර ගත්හ.
විදුහලේ ශිෂ්‍ය නායකයෙකු වන කේ.එච්. ගයාන් මධුසංඛ (17) මේ අනතුරට ලක්වූයේ ක්‍රීඩා පිටියේදී හෙල්ල විසිකිරීමේ යෙදුණු ක්‍රීඩකයන්ට සහාය දක්වමින් සිටියදීය.