හතුරුසිංහ 11දා දිවයිනට - තනතුර භාර ගැනීම 26දා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ජාතික පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමට නියමිතව සිටින බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාරීත්වය භාර ගැනීම සඳහා මෙම මස 11දා දිවයිනට පැමිණීමට නියමිතය. එහෙත් ඔහු නිල වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර ධුරය භාර ගැනීමට නියමිතව ඇත්තේ 26 වැනිදාය.
හතුරුසිංහ මහතා දිවයිනට පැමිණීමෙන් අනතුරුව මෙම මස 18 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ එහි නිලධාරීන් සමග ඉදිරි ඉලක්ක සහ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්චා කිරීමට නියමිත බවට වාර්තා වේ. අනතුරුව මෙම මස 20 වැනිදා ඔහුගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත නිල වශයෙන් ලබාගැනීමේ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිත අතර, පසුව ඔහු නිල වශයෙන් තනතුරේ රාජකාරි කටයුතු භාරගැනීම සිදුවනුයේ මෙම මස 26 වැනිදාය. හතුරුසිංහ මහතාගේ ඉදිරි වැඩපිළිවෙළ අනුව මෙම දින වකවානු වෙනස් විය හැකි බවද ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේය.
කෙසේ වෙතත් ඔහුගේ පැමිණීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිලධාරියෙක් පවසා සිටියේ හැකි ඉක්මනින් ඔහුගේ සේවය ලබාගැනීමට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බවයි.
&‘හතුරුසිංහ 18 එනවා. එහෙත් ඔහු දැන්ම රාජකාරි භාර නොගනීවි. මම හිතන විදිහට ඔහු රාජකාරි භාර ගැනීමට නියමිතව ඇත්තේ ජනවාරි මාසයේදී’ යනුවෙන් එම ඉහළ නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඊයේ (06දා) නිමා වූ ඉන්දීය සංචාරයෙන් අනතුරුව ජනවාරි මස පැවැත්වීමට නියමිත එක්දින තරග 03කින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ සිට හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත්වීමත් සමග මේ වනවිට අතුරු පුහුණුකරු (interim coach) ලෙස කටයුතු කරන නික් පෝතාස් යළිත් පන්දු රැකීමේ පුහුණුකාර ධුරයේ කටයුතු කිරීමට නියමිත බවට වාර්තා වේ.
චන්දික හතුරුසිංහ කලක් (කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන සමයේ) ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෙකු (Shadow Coach) ලෙස කටයුතු කළ අතර, පසුව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගත්තේය. ඊට පෙර ඔහු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත කණ්ඩායමකද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය. හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ධුරයට පත්වීමෙන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායම ආසියාවේ මෙන්ම ලොව ප්‍රබල කණ්ඩායමක් ලෙස ශීඝ්‍ර දියුණුවක් ලැබූ බව නොරහසකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


