සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (02දා) කටක්හි බරබාටි ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතය.
මෙම තරගාවලිය හදිසියේ යොදාගත් තරගාවලියක් බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුවීම් සිදුකිරීමට තිබුණේ දින පහක කාලයක් බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය තරගාවලියට අවතීර්ණ වන්නේ පූර්ව සූදානමකින් තොරවය.
කෙසේ වෙතත් මෙම තරග පහ සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයට පෙර එක්දින තරග 19ක් හිමිවූ අතර, ඒ හරහා ලෝක කුසලාන තරගාවලියට අවසන් වශයෙන් ක්‍රීඩාකරන කණ්ඩායමේ සැකැස්ම පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා මෙම තරගාවලිය යොදා ගත හැකිය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මාවන් අතපත්තු මෙන්ම නායක ඇන්ජලෝ මැතිව්ස්ද ඒ බව තරගාවලිය සඳහා පිටත්ව යාමට පෙරාතුව පැවැති මාධ්‍ය හමුවේ දී පැවැසීය. ඒ අනුව තරගාවලිය සඳහා සූදානම් නැතිවුවත් ලෝක කුසලානයට සූදානම් වීමේ තරගාවලියක් ලෙස මෙම තරගාවලියට අවතීර්ණ වීම වැදගත් වෙයි.
තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නන් දෙදෙනා වන රංගන හේරත් හා ලසිත් මාලිංග එක් නොවේ. සචිත්ර සේනානායකද කණ්ඩායමේ නැති වීම හේතුවෙන් මෙම තරගයේ ජයග්‍රහණය බොහෝ විට පිතිකරුවන්ගේ දක්ෂතාව මත පවතිනු ඇත. ලසිත් කණ්ඩායමේ නැතිවීම හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේට මෙම තරගයේදී අවස්ථාවක් හිමිවීමට වැඩි ඉඩක් පවතියි.
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය 'ඒ' කණ්ඩායම අතර පැවැති තරගයේදී උපුල් තරංග හැරෙන්නට කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට අවස්ථාව නොවුණි. උපුල් පසුගිය කාලය පුරාවටම ශ්‍රී ලංකා ඒ කණ්ඩායමත් සමග තරගවලට ක්‍රීඩාකර රිද්මයේ පසුවීම ඊට හේතුව විය හැකිය.
අනෙක් පිතිකරුවෙකුට දක්ෂතා අතරට එක්වීමට නොහැකිවීමට නිසි පුහුණුවක් නොමැතිවීම හේතුවක් වශයෙන් දැක්විය හැකිවුවත් තරගාවලියේ රිද්මයට පැමිණීමට තිබූ පළමු අවස්ථාවද මෙම පුහුණු තරගය වෙයි.
කෙසේ වෙතත් පළමු තරගයේ සිටම පිතිකරුවන් රිද්මයට පැමිණීම අත්‍යවශ්‍ය කරුණකි. ඉන්දියාව පැත්තෙන් බැලූවිට දෝනි, බුවනේෂ්වර් කුමාර් හා මොහොමඩ් සාමි මෙම තරගාවලියට එක්නොවේ. ඉන්දීය කණ්ඩායමේ සිටින දක්ෂතම පන්දු යවන්නා වන බුවනේෂ්වර් කුමාර් ක්‍රීඩා නොකිරීම අස්වැසිල්ලක්වනු ඇත.
අනෙක් අතින් මෙම තරගයේදී කෝලිට ස්ථාවර වීමට අවස්ථාවක් ලබා නොදිය යුතුම වෙයි. ඒ පසුගිය කාලසීමාවේදී ලකුණු අතර නොසිටි කෝලි කොදෙව් තරගාවලියේදී නැවතත් ලකුණු අතරට පැමිණීම හේතුවෙනි. ඒ අනුව කෝලි මෙම තරගයේදී තීරණාත්මක සාධකය වනු ඇත.
කටක් බරබාටි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරග දෙකක් පවත්වා ඇති අතර කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන තිබේ. අවසන් වරට 2009 වසරේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු හතක පරාජයක් හිමිවී තිබේ. මෙම පිටියේ පැවැති තරග අතරින් ජයග්‍රහණය කළ තරග වලින් වැඩි තරග ප්‍රමාණයක්ම හඹාගොස් ජයගෙන තිබෙන හෙයින් තරගයේදී කාසිය වාසියය වැදගත් සාධකයක් වනු ඇත.
කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායම පන්දු රැකීමට වැඩි අවස්ථාවක් පවතින හෙයින් මුලින්ම පන්දුවට පහර දෙයිනම් ලකුණු 300 සීමාවට පැමිණීම අනිවාර්ය සාධකයක් වෙයි.
ඉන්දීය සංචිතය
01.විරාත් කෝලි (නායක), 02. ශිකර් දවාන්, 03. අජින්ක්‍යා රහානේ, 04. සුරේෂ් රයිනා, 05. අම්බති රයිදු, 06. රිද්දිමාන් සහා, 07. රවිචන්ද්‍රන් අශ්වින්, 08. රවින්ද්‍ර ජඩේජා, 09. උමේෂ් යාදෙව්, 10.ඉෂාන්ත් ශර්මා, 11.අමිත් මිශ්රා, 12.මුරලි විජේ, 13.වරුන් ආරොන්, 14.ආක්ෂාර් පටෙල්, 16.දවාල් කුල්කානි
ශ්‍රී ලංකා සංචිතය
01.ඇන්ජලෝ මැතිව්ස් (නායක), 02. කුසල් ජනිත් පෙරේරා,
03. තිලකරත්න ඩිල්ශාන්, 04. උපුල් තරංග, 05. කුමාර් සංගක්කාර, 06. මහේල ජයවර්ධන, 07. අශාන් ප්‍රියන්ජන්, 08. නිරෝෂන් දික්වැල්ල, 09. තිසර පෙරේරා, 10. නුවන් කුලසේකර, 11. ධම්මික ප්‍රසාද්, 12. ළහිරු ගමගේ, 13. චතුරංග ද සිල්වා, 14. සීක්කුගේ ප්‍රසන්න, 15. සුරාජ් රන්දීව්