බ්‍රසීලයේ බ්‍රසීලියාහි පැවැත්වෙන 68 වැනි ලෝක කායවර්ධන ශූරතාවලියේ කිලෝ ග්‍රෑම් 65 බර පන්තිය නියෝජය කළ ශ්‍රී ලංකාවේ සුභාෂ් සිරිවර්ධන එම බර පන්තියේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළ බව ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය අද (16දා) නිවේදනය කළේය.
ඔහුට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙකු මෙම තරගාවලියට සහභාගී වූ අතර, ඔවුන්ට පදක්කමක් ජයග්‍රහණය කළ නොහැකි විය. කි.ග්‍රෑම් 60 බර පන්තිය නියෝජනය කළ වයි.ජී. අමිල සිවුවැනි ස්ථානයද, කි.ග්‍රෑම් 65 බර පන්තිය නියෝජනය කළ රනිල් සම්පත් හයවැනි ස්ථානයද හිමිවිය. වසන්ත ප්‍රදීප් 2009 වසරේදී රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීම ලෝක ශූරතා තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මේ දක්වා ඇති ඉහළම දක්ෂතාව වේ.
පසුගියදා කොළඹදී පැවැති ආසියානු කායවර්ධන ශූරතාවලියේ ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් ඔවුන් මෙම තරගාවලියට සුදුසුකම් ලැබූ අතර, එම තරගාවලියේදී වයි.ජී. අමිල කි.ග්රෑ 60 බර පන්තියේ රන් පදක්කම දිනාගත් අතර, සුභාෂ් සිරිවර්ධන කි.ග්රෑ 65 බර පන්තියෙන් රන් පදක්කම දිනාගැනීමට සමත් විය. ඊට අමතරව රනිල් සම්පත් කිලෝග්‍රෑම් 60 බර පන්තියේ රිදී පදක්කම හිමිකර ගත්තේය.
පසුගිය 12 වැනිදා රටවල් 72ක ක්‍රීඩකයන් සහභාගිත්වයෙන් ආරම්භවූ ලෝක කායවර්ධන ශූරතාවලිය අදින් (16දා) අවසන්වේ. තරගාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 18 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.