සමස්ත බාලක ශූරතාව මීගමුව මාරිස්ටෙලා විදුහලත්, එහි බාලිකා ශූරතාව වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයත් දිනාගනිමින් ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 84 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද (15දා) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය. සමස්ත තරගාවලිය තුල නව තරග වාර්තා 22 ක් හා එක් තරග වාර්තාවක් සම කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ.
මාරිස්ටෙලා විදුහල මෙම ශූරතාවට නොකඩවා හිමිකම් කියූ දෙවැනි අවස්ථාව මෙහෙයවන අතර, ඔවුන් පසුගියදා (07දා) නිමාවූ සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේද බාලක ශූරතාව දිනාගැනීමට සමත්විය. රත්නායක විදුහල 2011 වසරේ හිමිකරගත් අනුශූරතාව හැරෙන්නට 1998 වසරේ සිට මෙම ශූරතාවට හිමිකම් කියයි.
සමස්ත ශූරතාව හිමිකරගත් මීගමුව මාරිස්ටෙලා විදුහල
සමස්ත බාලිකා ශූරතාව හිමිකරගත් වලල ඒ. රත්නායක විදුහල
තරගාවලියේ බාලිකා අනුශූරතාව රත්නපුර සුමනා බාලිකා විසින් හිමිකරගත් අතර, බාලක අනුශූරතාව වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ විසින් හිමිකරගනු ලැබීය. සුමනා බාලිකාවන් නිමා වූ සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ බාලිකා ශූරතාව ජයග්‍රහණය කළ පාසල වේ.
තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙස පානදුර සුමංගල බාලිකා විද්‍යාලයේ සාරංගි ද සිල්වා සම්මාන හිමිකර ගත්තාය. වයස 20 පහල දුර පැනීම ඉසව්ව නියෝජනය කළ ඇය මී. 6.01ක දක්ෂතාවක් දැක්වූවාය.
දක්ෂතම මලල ක්‍රීඩිකාව සාරංගි ද සිල්වා
දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ඒ.වී.ජී. අචිල රවිශංක සම්මාන හිමිකරගත් අතර, මීටර් 110 කඩුලු මතින් දිවීම ඉසව්ව නියෝජනය කළ ඔහු තත්. 14.21 දක්ෂතාවක් දැක්වීමට සමත් විය.
දක්ෂතම මලල ක්‍රීඩකයා ඒ.වී.ජී. අචිල රවිශංක
තරගාවලියේ පිටියේ ඉසව් බාලිකා ශූරතාව රත්නපුර සුමනා බාලිකා විද්‍යාලය හිමිකරගත් අතර, එහි බාලක ශූරතාව වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලට හිමිවිය.
ජවන ඉසව් බාලිකා ශූරතාව වලල ඒ රත්නායක විදුහල විසින් දිනාගත් අතර, එහි බාලක ශූරතාවද එම විද්‍යාලය සතුවිය. සුමනා බාලිකා විද්‍යාලය බාලිකා සහාය දිවීමේ ශූරතාව දිනාගත් අතර, මාරිස්ටෙලා විදුහල එහි බාලක ශූරතාවට හිමිකම් කීය.
උස පැනීමේ ඉසව් සඳහා ඉහළම දක්ෂතාවය දැක්වීමට වයස 18 පහළ බාලක ඉසව්ව නියෝජනය කළ ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ ආර්.ආර්.ඩී. රණතුංග (මී.1.08) සමත්විය.
දුර පැනීම ඉසව්වල ඉහළම දක්ෂතාව දැක්වීමට අවුරුදු 20 පහළ බාලක ඉසව්ව නියෝජනය කළ රත්නපුර කුමර විද්‍යාලයෙ මලීන් උදය කුමාර (මී. 7.35) සමත්විය.
මීටර් 400 ඉසව්වේ ඉහළම දක්ෂතාව මහනුවර ත්‍රිත්ව විදුහලේ 20 පහළ බාලක ඉසව්ව නියෝජනය කළ කේ.ඩී. රත්නායක (තත්. 48.35) දැක්වීය.
තරගාවලියේ වයස 16 න් පහළ බාලිකා ශූරතාව සුමනා බාලිකා විදුහල විසින්ද, එහි බාලක ශූරතාව කොටහේන බෙනඩික් විද්‍යා විසින්ද දිනාගත් අතර, වයස 18 පහළ බාලිකා ශූරතාව අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයද, බාලක ශූරතාව මීගමුව මාරිස්ටෙලා විදුහල විසින්ද හිමිකරගත්තේය. වයස 20 පහළ බාලිකා බාලිකා ශූරතාව ද්විත්වයම වලල ඒ රත්නායක විදුහල සතුවිය.
තරග ඉසව් 100කින් සමන්විත මෙම තරගාවලිය සඳහා පාසල් හාරසියකට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තුන්දහස් පන්සීයකට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ.
ඡායාරූප ශමීර රාජපක්ෂ