ඕල් ස්ටාර්ස් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේදී හයේ පහර 06ක් හා හතරේ පහර 06 ක් සමගින් පන්දු 30 කදී ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර සංගක්කාර රැස්කළ ලකුණු 70 හේතුවෙන් සචින් ටෙන්ඩුල්කාර්ගේ බ්ලාස්ටර්ස් පරදවා ශේන් වෝන්ගේ වොරියර්ස් කණ්ඩායම ලකුණු 57 ක දෙවැනි ජයක් හිමිකරගත්තේය.
ඇමෙරිකාවේ හූස්ටන්හි මිනිට්මේඩ් පාර්ක් බේස් බෝල් ක්‍රීඩාංගණයේදී ඇමෙරිකා වේලාවෙන් ඊයේ (11දා) මෙම තරගය පැවැති අතර, කාසියේ වාසිය දිනූ සචින්ගේ බ්ලාස්ටර්ස් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් වෝන්ගේ වොරියර්ස් ක්‍රීඩකයෝ ලකුණු 262 ක් රැස්කරගත්හ.
සංගක්කාරට අනගි සහායක් ලබාදුන් ජැක් කලිස් හා රිකී පොන්ටින් පිළිවෙළින් ලකුණු 45 ක් හා 41 ක් බැගින් රැස්කළහ. ලාන්ස් ක්ලූස්නර් ලකුණු 45 කට කඩුලු 2 ක් දවාගත්තේය.
දැවැන්ත ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි සචින්ගේ බ්ලාස්ටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 205 ක් පමණි.ෂෝන් පොලෝක් 07 වැනි පිතිකරුවා ලෙස පැමිණ පන්දු 22 කදී ලකුණු 55 ක් රැස්කළද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. ඇන්ඩ්‍රෘ සයිමන්ස් ලකුණු 70 කට කඩුලු 4ක් දවාගත්තේය.
මෙහි පළමු තරගයද වෝන්ගේ වොරියර්ස් කණ්ඩායම ජයගත් අතර, ඒ අනුව තරග 3 කින් සමන්විත තරගාවලිය තරග 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔවුහු සමත් වූහ.
කුමාර සංගක්කාර තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය. මෙහිදී සචින්ගේ බ්ලාස්ටර්ස් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් හා මහේල ජයවර්ධන ක්‍රීඩා කළ අතර, මුරලි පන්දුවාර 4කදී ලකුණු 46 ක් ලබාදුනන්නද කඩුලු ලබාගැනීමට නොහැකිවිය. මහේල පන්දු 07 කදී ලකුණු 5 කට දැවී ගියේය.
වෝන්ගේ වොරියර්ස් 262/5 (පන්දුවාර 20)
කුමාර සංගක්කාර 70 (30 4x6, 6x6), රිකී පොන්ටින් 41 (16, 4x5, 6x3), ලාන්ස් ක්ලූස්නර් 2/45(පන්දුවාර 3)
සචින්ගේ බ්ලාස්ටර්ස් 205/8 (පන්දුවාර 20)
ෂොන් පොලොක් 55 (22, 4x1, 6x7), සචින් ටෙන්ඩුන්කාර් 33 (20, 4x3, 6x2), ඇන්ඩ්‍රෘ සයිමන්ස් 4/70 (පන්දුවාර 4)