2016 පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි දස දෙනාගේ වටයේදී ශ්‍රී ලංකාව ජයගත යුතුම තරගයක් හෙට (26දා) ඉන්දියාවේ දිල්ලි හි ෆෙරොස් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම වටයේදී පළමු කාණ්ඩයෙන් තරග වදින බ.ඉ.කොදෙව්වන් මේ වන විට ඔවුන් මුහුණදුන් තරග තුනම ජයගෙන සිටින අතර, එංගලන්තය තරග දෙකක ජය හිමි කර ගත්තේය.
ශ්‍රී ලංකාව තවමත් ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් බැවින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් තවදුරටත් බලාපොරොත්තු තබාගන්නට නම් හෙට පැවැත්වෙන එංගලන්තය සමග තරගය ජයගැනීම අනිවාර්ය සාධකයකි. කෙසේ වෙතත් හෙට පැවැත්වෙන තරගය ජය ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායම සතුය.
තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවැනි තරගය වූ බ.ඉ.කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී තිලකරත්න ඩිල්ෂාන්ට එරෙහිව ලබාදුන් තීන්දුවත්, දුර්වල පන්දු රැකීමත් පරාජයේ ප්‍රධාන සාධක විය. ඒ අතරින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකිය. ජාත්‍යන්තර තරග බිමේදී එවැනි දුර්වල පන්දු රැකීමක් කිසිවිටකත් අපේක්ෂා කළ නොහැකිය.
දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට යම් තරමක හෝ වාසනාවක් තිබුණේ නම් එහි ප්‍රතිඵලය බොහෝදුරට වෙනස් වන්නට ඉඩ තිබුණි. තරගයක් ජයග්‍රහණය කිරීමට දක්ෂතාව සමග වාසනාවද යම් ප්‍රමාණයකට අවශ්‍ය යැයි අපි විශ්වාස කරන්නෙමු. කෙසේවෙතත් එම තරගයේ පරාජයට ප්‍රධානම සාධකය පිතිකරණ අංශය දුර්වල වීම බව සඳහන් කළ යුතුමය.
ලෝක කුසලාන තරගාවලියට පෙර සිටම ලකුණු අතර නොසිටි ළහිරු තිරිමාන්න කණ්ඩායමෙන් ඉවත් කිරීමට එවකට සිටි තේරීම් කමිටුව කටයුතු කළද, නව තේරීම් කමිටුව සිය රාජකාරිය බාරගත් විගසම ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යාමට දින කිහිපයකට පෙර ළහිරු නැවතත් කණ්ඩායමට කැඳවන්නට තරම් එඩිතර විය. පුහුණු තරග දෙකේදී ඔහු ලකුණු අතරට පිවිසියද අවශ්‍යම මොහොතේ අසාර්ථක විය. ළහිරුගේ ගැටලුව වන්නේද එය බව තේරීම් කමිටුව තේරුම් නොගැනීම බලවත් පාඩුවකි.
දැන් කරන්නට දෙයක් නොමැත. වළට වැටුණු කෙනා වළ කටින්ම ගොඩ ආ යුතුය. එහෙයින් හෙට පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ රැඩිකල් වෙනසක් සිදුකළ යුතු යැයි අපගේ විශ්වාසයයි. ළහිරු තිරිමාන්න වෙනුවට ෂෙහාන් ජයසූරියත්, නුවන් කුලසේකර වෙනුවට දසුන් ශානක හෝ සචිත්ර සේනානායක යන දෙදෙනාගෙන් කෙනෙකුත් කණ්ඩායමට කැඳවන්නේ නම් මේ මොහොතේ වැඩි ප්‍රතිඵල අත්කරගත හැකි යැයි අපි විශ්වාස කරන්නෙමු. දසුන් සහ සචිත්ර අතරින් මේ අවස්ථාවේ හොඳම තේරීම දසුන් බවද සඳහන් කළ යුතුය.
දසුන් කණ්ඩායමට කැඳවන්නේ නම් මේ වන විට ගැටලුවක්ව ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අංශය තවදුරටත් ශක්තිමත් කළ හැකිය. එසේ වුවහොත් පළමු පන්දුවාර 06 තුළ අවදානමක් ගනිමින් කඩුලු එකක් හෝ දෙකක් වැය කොට වේගවත් ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමේ උත්සාහයක නිරත වීමේ අවස්ථාවද ශ්‍රී ලංකා කණ්ඩායමට උදාකරගත හැකිය. ඒ සඳහා ෂෙහාන් ජයසූරිය අවසන් 11 දෙනා අතර සිටීමද වැදගත් වේ. එපමණක් නොව දසුන් යනු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බැවින් අවසන් පන්දුවාර කිහිපයේදී වේගවත් ලකුණු කිහිපයක් ලබාගැනීම ඔහුගෙන් ඉටුකර ගත හැකි යැයි අපගේ විශ්වාසයයි. තවද යම් හෙයකින් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් ප්‍රහාරයකට ලක්වුවහොත් දසුන්ගෙන් පන්දුවාර කිහිපයක්ද යවාගත හැකිය.
වර්තමාන තේරීම් කමිටුවට මෙන්ම නායක ඇන්ජලෝ මැතිව්ස්ද ළහිරු ගැන දැඩි විශ්වාසයක් ඇති බව පෙනෙන්නට තිබෙන බැවින් හෙට පැවැත්වෙන තරගයටද ඔහු කැඳවීමට වැඩි අවස්ථාවක් ඇත. එසේ වුවහොත් තේරීම් කමිටුවේ මෙන්ම කණ්ඩායමේද විශ්වාසය වැඩි කිරීමට ළහිරුට සිදුවේ. මන්ද ළහිරුට හිමිවන අවසන් අවස්ථාව එය විය හැකි බැවිනි.
දඟපන්දු යවන්නන් හමුවේ කවදත් අසාර්ථක වන එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ සිය දඟපන්දු යවන්නන් යොදාගන්නා අාකාරය අනුව හෙට තරගයේ තීරණය විසඳෙනු ඇත. එබැවින් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ද හෙට පැවැත්වෙන තරගයේදී රැඩිකල් වෙනසක් අවශ්‍යය. ෆෙරොස් ෂා කොට්ලා පිටියේදී එංගන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරගයේදී ඇෆ්ගනිස්තානු පන්දු යවන්නන් එංගලන්ත කණ්ඩායම ලකුණු 142ට සීමා කර ගත්තේය. ඒ සඳහා ඇෆ්ගනිස්තානු නායක අශ්ගර් ස්ටැනික්සායි යොදාගත් පන්දු යවන්නන් පස් දෙනාගෙන් සිව් දෙනෙකුම දඟපන්දු යවන්නන්ය.
එවැනි වටපිටාවක් යටතේ, විශේෂයෙන්ම දඟපන්දු යවන්නන්ට සහාය දක්වන තණතීරුවක් වන කොට්ලා තණතීරුවේදී ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ට වැඩි වාසි අත්කරගත හැකිය. මෙවර තරගාවලියේදී ඩිල්ෂාන් තවමත් පන්දු යැවීමට යොදා නොගැනීමද ගැටලුවකි. ඩිල්ෂාන්ගෙන්ද පන්දුවාර එකක් හෝ දෙකක් යවා ගැනීමේ අවස්ථාව ඇත.
ජෝ රූට් යනු වසරක පමණ කාලයක සිට ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්සයි20 යන තරග රටා ත්‍රිත්වයේම එංගලන්තය වෙනුවෙන් උපරිම රිද්මයේ පසුවන පිතිකරුවාය. රූට් ඉතාමත් සංයමයෙන් යුතුව පන්දුවට පහර දෙමින් අවශ්‍ය මොහොතේදී වේගවත් පහරවල් කරා යන පිතිකරුවෙකි. ඔහු කඩුල්ලේ රැඳී සිටියහොත් එංගලන්ත ලකුණු සංඛ්‍යාව ඉහළ යෑම වැළැක්විය නොහැකිය.
එංගලන්තය කණ්ඩායම- ඉයන් මෝගන් (නායක), මොයින් අලි, සෑම් බිලින්ග්ස්, ජෝස් බට්ලර්, ලියම් ඩෙව්සන්, ඇලෙක්ස් හේල්ස්, ක්‍රිස් ජෝඩන්, ලියම් ප්ලන්කට්, ආදිල් රෂිඩ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටෝක්ස්, රොසී ටොප්ලෙ, ජේම්ස් වින්ස්, ඩේවිඩි විලී
ශ්‍රී ලංකාව කණ්ඩායම- ඇන්ජලෝ මැතිව්ස් (නායක), දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්, තිලකරත්න ඩිල්ෂාන්, රංගන හේරත්, ශෙහාන් ජයසූරිය, චාමර කපුගෙදර, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, සචිත්ර සේනානායක, දසුන් ශානක, මිලින්ද සිරිවර්ධන, ළහිරු තිරිමාන්න, ජෙෆ්රි වැන්ඩර්සෙ
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (26දා) පස්වරු 3.00ට ආරම්භ විමට නියමිතය.