ශ්රී ලංකාව 14 - 26 දකුණු කොරියාව
මැලේසියාවේ ක්වාලාලාම්පූර්හිදී අද (07දා) අවසන්වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරෙහි සිවුවැනි ස්ථානය හිමි කරගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය. ප්රබල දකුණු කොරියානු කණ්ඩායම සමග තුන් වැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 26-14 ක් ලෙස පරාජය වීමට සිදුවිය.
අවසන් පූර්ව වටයේදී හොංකොං කණ්ඩායම හමුවේ තියුණු සටනකින් අනතුරුව ලකුණු 10-07 ක් ලෙස පරාජය වීමට ශ්රී ලංකා කණ්ඩායමට සිදුවූ අතර, අනෙක් අවසන් පූර්ව තරගයෙන් ජපාන කණ්ඩායම හමුවේ 19-12 ක් ලෙස පරාජය වීමට දකුණු කොරියානු කණ්ඩායමට සිදු විය. ඒ අනුව කුසලාන ශූරතාව සඳහා පැවැති අවසන් තරගයෙන් ජපානය පරාජය කර ලකුණු 24-07 ක් ලෙස පහසු ජයක් ලැබීමට හොංකොං කණ්ඩායම සමත් විය.
පසුගිය සෙනසුරාදා (06දා) ආරම්භ වූ මෙම තරගාවලියේ 'බී' කාණ්ඩයෙන් තරග කළ ශ්රී ලංකා කණ්ඩායම මුහුණුදුන් පළමු තරගයෙන් කසකස්තාන කණ්ඩායම පරාජය කර ලකුණු 38-17 ක් ලෙස ජය ලැබීමට සමත්වූ අතර, දෙවැනි තරගයෙන් චීනය ලකුණු 33-22 ක් ලෙස පහසුවෙන් පරාජය කිරීමට සමත් විය.
ඒ අනුව එම කාණ්ඩයේ ශූරයන් වෙමින් අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත් ශ්රී ලංකා කණ්ඩායම එම තරගයේදී සත්කාරක මැලේසියානු කණ්ඩායම ලකුණු 28-07 ක් පරාජය කිරීමට සමත්විය.