සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 362ක ඉලක්කයක් හඹායමින් තම දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සිවුවැනි දිනට ඊයේ (12දා) තරගය නතර කරන විට කිසිවකුත් නොදැවී ලකුණු 32ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා අද දිනය තුළ තවත් ලකුණු 330ක් රැස්කරගත යුතුව ඇත. කෙසේ නමුත් තරග 2 - 0 ක් ලෙස සත්කාරක එංගලන්ත කණ්ඩායම මේ වනවිට තරගාවලිය ජයගෙන සිටියි.
නොදැවී කඩුල්ලේ රැදී සිටින ආරම්භක පිතිකරු යුගලය වන දිමුත් කරුණාරත්න ලකුණු 19ක් හා කෞෂාල් සිල්වා ලකුණු 12ක් රැස්කරගෙන සිටියි.
මෙම තරගයේ තම දෙවැනි ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 233 ක් රැස්කර ඉනිම අත්හිටුවූ අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 362ක ඉලක්කයක් හිමිවිය. ඉනිම අත්හිටුවන විට නායක ඇලෙස්ටියාර් කුක් නොදැවී ලකුණු 49ක් රැස්කරගෙන සිටියේය. ඊට අමතරව ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් අත්‍යවශ්‍ය ලකුණු 94ක් ඉනිමට එක්කළේය.
ඊයේ ඇඳහැළුණු වර්ෂාව හේතුවෙන් දිවා ආහාරය වනතෙක් කිසිදු පන්දුවාරයක් යොමුකිරීමට නොහැකි වූ අතර, දිවා ආහාරයෙන් පසු තරගය ආරම්භ කිරීමට තරඟ තීරකවරයා කටයුතු කළේය. කෙසේ නමුත් ඉන් අනතුරුවද තරගයට වර්ෂාවෙන් බාධා ඇති විය.
පසුගිය බ්‍රහස්පතින්දා (09දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම තෝරාගත් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 416 ක් රැස්කිරීමට සමත්විය. ඔවුන් පළමු දිනය නිමා වනවිට කඩුලු 06 ක් දැවී ලකුණු 279 ක් රැස් කරගෙන සිටි අතර, දෙවැනි දින (10දා) තේ විවේකයට පෙර සියල්ලන් දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
එංගලන්ත පළමු ඉනිමට වටිනාකමක් එක්කළ ජොනී බෙසාර්ටෝව් නොදැවී ලකුණු 167 ක් රැස්කිරීමට සමත්වූ අතර, එය වසර 85කට පසු එංගලන්ත කඩුලු රකින්නෙකු ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ක්‍රීඩාකළ දීර්ඝතම ටෙස්ට් ඉනිම විය. අවසන් වරට 1931 වසරේදී ලෙස් අමිස් (Les Ames) නවසීලන්තයට එරෙහිව ලකුණු 137 ක් රැස්කර තිබුණි. බෙයාස්ටෝව් මෙම ටෙස්ට් තරගාවලියේ රැස්කළ දෙවැනි ශතකය මෙය වන අතර, තරගාවලියේ මේ දක්වා ඉහළම ලකුණු රැස්කර ඇති පිතිකරුවාද වන ඔහු ලකුණු 387ක් රැස්කර සිටියි.
මෙහිදී පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිතිකරුවෝ සාර්ථක ආරම්භයක් ලබාගනිමින් තරගයේ දෙවැනි දිනය නිමා වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 162 ක් රැස්කර ප්‍රබල තත්ත්වයක පසුවිය.
පසුගිය තරග දෙකේදී දැකගත නොහැකිවූ සාර්ථක ආරම්භයක් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයගෙන් දැකගැනීමට මෙම තරගයේදී හැකිවූ අතර, එහිදී කෞෂාල් - දිමුත් සුසංයෝගය ඉනිමට ලකුණු 108 ක් එක් කළහ. කෙසේ නමුත් තරගයේ තෙවැනි දිනය වූ පෙරේදා (11දා) දිනයේ ලකුණු 126ක් ඇතුළත ඉතිරි කඩුලු සියල්ල දවාගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අනුව එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 128ක් පසුපසින් සිටිමින් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 288කට සීමා විය.
කෙසේ වෙතත් මෙහිදී මාස 06කින් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා අංක 06 පිතිකරු ලෙස පැමිණි ශ්‍රී ලංකා ඉනිමට අගනා ලකුණු 42ක දායකත්වයක් දැක්වීය.
එංගලන්තය පළමු ඉනිම 416/10 (පන්දුවාර 128.4)
ජොනී බෙයාස්ටෝ (නොදැවී) 167 (251, 4x18), ඇලෙස්ටෙයාර් කුක් 85 (173, 4x9), ක්‍රිස් වෝක්ස් 66 (142, 4x8), මොයින් අලි 25 (60, 4x3), රංගන හේරත් 4/81 (36), සුරංග ලක්මාල් 3/90 (27), නුවන් ප්‍රදීප් 2/104 (27)
ශ්‍රී ලංකාව පළමු ඉනිම 288/10 (පන්දුවාර 95.1)
කෞෂාල් සිල්වා 79 (152, 4x10), දිමුත් කරුණාරත්න 50 (101, 4x7), කුසල් පෙරේරා 42 (73, 4x7), රංගන හේරත් 31 (49, 4x5), කුසල් මෙන්ඩිස් 25 (55, 4x3), ස්ටීවන් ෆින් 3/59 (18), ක්‍රිස් වෝක්ස් 3/31 (17.1), ස්ටුවර්ට් බ්‍රෝඩ් 2/79 (23), ජේම්ස් ඇන්ඩර්සන් 2/61 (23)
එංගලන්තය දෙවැනි ඉනිම 233/7 (පන්දුවාර 71)
ඇලෙක්ස් හේල්ස් 94 (179, 4x10, 6x1), ඇලෙස්ටියාර් කුක් නොදැවී 49 (86, 4x3, 6x1), ජොනී බෙසාස්ටෝව් 32 (72, 4x1), කික් කොම්ප්ටන් 19 (35, 4x3), නුවන් ප්‍රදීප් 3/37 (15), ශමින්ද එරංග 3/58 (14)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 32/0 (පන්දුවාර 12)
දිමුත් කරුණාරත්න නොදැවී 19 (36, 4x3), කෞෂාල් සිල්වා නොදැවී 12 (36, 4x2)