ජගත් ක්‍රිකට් පිටියේ මහේල - සංගා බැඳීමෙහි ශක්තිමත් බවත්, තිලකරත්න ඩිල්ෂාන්ගේ තුන් ඉරියව් දක්ෂතාත් හේතුවෙන් සංචාරක එංගලන්ත කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (16දා) පැවැති හත්වැනි හා අවසන් එක්දින තරගයෙන් ලකුණු 87 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එම ජයග්‍රහණයත් සමග තරග 5-2 ක් ලෙස තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
දෙරට අතර ක්‍රිකට් ඉතිහාසයේ එංගලන්තය පරාජය කර ශ්‍රී ලංකාව ලැබූ හයවැනි එක්දින තරගාවලි ජයග්‍රහණය මෙය වේ. 1981 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගාවලි දහයක් පවත්වා ඇත. ඉන් තරගාවලි තුනක් එංගලන්තය ජයගෙන ඇති අතර, එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 303 ක ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 45.5 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 215 ක් පමණි. සුපුරුදු පරිදි මෙම තරගාවලිය පුරා එංගලන්ත කණ්ඩායමේ එකම ගැලවුම්කාරයා වූ ජෝ රූට් රැස්කළ ලකුණු 80 හැරෙන්නට වෙනත් පිතිකරුවෙකුට සාර්ථක ඉනිමක් ගොඩනැගීමට නොහැකි විය.
.gif)
දශක දෙකකට ආසන්න කාලයක් තමන්ට අතිශය ආදරය කළ ක්‍රීඩාලෝලීන්ට දේශීය තරග බිමෙන් සිය සමුගෙන යාමේ තරගයේදීද සුවිශේෂී මතක සටහනක් එක්කිරීමට සංගා - මහේල සුසංයෝගය අමතක නොකළහ. ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගෙන දුන් එංගලන්ත ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ජේම්ස් ට්‍රැඩ්වෙල් මහේල ජයවර්ධනගේ පන්දුවක් හමුවේ කුමාර් සංගක්කාරගේ ස්ටම්ප් කිරීමට හසුව දැවී ගියේය. වසර හතකට (2007 වසරේ) පසු මහේල එක්දින තරගයක පන්දු යැවූ පළමු අවස්ථාව මෙය වේ.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 302 ක් රැස්කිරීමට සමත්විය.
.gif)
මහේල ජයවර්ධන සමගින් තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 55 ක වේගවත් ආරම්භයක් ලබාදුන්හ. මහේල ජයවර්ධන (28) හැරී ගර්නිගේ පන්දුවක් හමුවේ ක්‍රිස් වෝක්ස් අතට උඩපන්දුවක් ලබාදී පළමු කඩුල්ල ලෙස ඉවත්ව ගියේය.
.gif)
ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නා බව මහේල නිල වශයෙන් තහවුරු කර ඇති අතර, ටෙස්ට් හා විස්සයි20 තරග බිමෙන්ද සමුගෙන ඇති ඔහු ශ්‍රී ලංකාවේදී ක්‍රීඩාකළ අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයද මෙය වේ.
මහේලගෙන් පසු කුමාර් සංගක්කාර පන්දුවට පහරදීමට පැමිණි අතර, තිලකරත්න ඩිල්ෂාන් සමගින් එක්වූ ඔහු තවදුරටත් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය. ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුණු 65 ක් එක්කරමින් සිටියදී මොයින් අලිගේ පන්දුවක් හමුවේ ජේම්ස් ට්‍රැඩ්වෙල් අතට උඩ පන්දුවක් ලබාදීමත් සමග සංගක්කාරගේ (33) ඉනිම අවසන් විය.
.gif)
ඉනිමේ තුන්වැනි කඩුල්ල ලෙස ඇන්ජලෝ මැතිව්ස් (20) මුළු ලකුණු 156 දී (පන්දුවාර 31.6) දැවී ගියේය. කෙසේ නමුත් එම දැවීයාමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට බලපෑමක් නොවීය. ඉන් අනතුරුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් ඩිල්ෂාන් සමගින් සිවුවැනි කඩුල්ලට ලකුණු 80 ක සබඳතාවක් ගොඩනගා ශ්‍රී ලංකා ඉනිම 236 ක් දක්වා රැගෙන ආවේය.
.gif)
සිවුවැනි කඩුල්ල ලෙස සිය 18 වැනි එක්දින ශතකය වාර්තා කළ ඩිල්ෂාන් (101) දැවී ගියේය. මෙය ඔහුගේ 300 වැනි එක්දින ජාත්‍යන්තර තරගය වූ අතර, මෙම තරගයේදී ඩිල්ෂාන්ට එක්දින ලකුණු 9000 (9004) කඩඉමද පසුකර යාමට හැකිවිය. එම කඩඉම පසුකළ ලොව 15 වැනි පිතිකරුවා ඔහු වන අතර, පස්වැනි ශ්‍රී ලංකා පිතිකරුවාද වේ.
.gif)
ඉන් අනතුරුව පිටියට පිවිසි තිසර පෙරේරා ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකරමින් ඉනිම ප්‍රබල තත්ත්වයකට රැගෙන ආවේය. ලකුණු 54 ක් රැස්කළ තිසරට ඒ සඳහා වැයවූයේ පන්දු 26 ක් පමණි. ශ්‍රි ලංකා ඉනිමේ බිඳවැටුණු අවසන් කඩුල්ල ලෙස සීක්කුගේ ප්‍රසන්න එකදු පන්දුවකට හෝ මුහුණුදීමට මත්තෙන් දුවද්දී දැවීයාමකට හසුවිය. ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම කළ ඉනිමක් ගොඩනැගූ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 55 ක් රැස්කළේය.
තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා ලෙස තිලකරත්න ඩිල්ෂාන් සම්මාන හිමි කරගත්තේය. දශක දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම දිනවීම වෙනුවෙන් අනුපමේය මෙහෙයක් ඉටුකළ කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන තරගයෙන් අනතුරුව තමන්ට ආදරය කරන දේශීය ක්‍රීඩාලෝලීන්ට ක්‍රීඩාංගණයට වටා ගොස් ආචාර කිරීමට ඔවුන් දෙදෙනා අමතක නොකළහ.
ශ්‍රී ලංකා කණ්ඩායම
මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, සීක්කුගේ ප්‍රසන්න, ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, ඩිල්රුවන් පෙරේරා
එංගලන්ත කණ්ඩායම
ඇලෙක්ස් හේල්ස්, ඇලෙස්ටියාර් කුක් (නායක), මොයින් අලි, ජේම්ස් ටේලර්, ජෝ රූට්, ඉයන් මෝගන්, ජෝස් බට්ලර්, ක්‍රිස් වෝක්ස්, ක්‍රිස් ජෝඩන්, ජේම්ස් ට්‍රැඩ්වෙල්, හැරි ගර්නි
ඡායාරූප - ශාන්ත රත්නායක