update (පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සිට)/ ඡයාරූප ශාන්ත රත්නායක
සංචාරක එංගලන්ත කණ්ඩායම පරාජය කර ලකුණු 90ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම දැන් සමත්විය. ඒ අනුව තරග හතකින් සමන්විත එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තරග 4-2ක් ලෙස ඉදිරියෙන් සිටියි.
ශ්‍රී ලංකාව ජය පෙනෙන මානයේ
සංචාරක එංගලන්ත කණ්ඩායම පරාජය කර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන හයවැනි එක්දින තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය ඇත්තේ තවත් එක් කඩුල්ලක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 293ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටින එංගලන්ත කණ්ඩායම මේ වනවිට පන්දුවාර 39.5 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 193 රැස්කරගෙන සිටියි.
ඉනිමේ අවසන් කඩුල්ල ලකුණු 41ක් රැස්කරගෙන සිටි ලෙස ක්‍රිස් වෝක්ස් තිලකරත්න ඩිල්ෂාන්ගේ පන්දුවක් හමුවේ ඔහුටම උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්ව ගියේය. මේ වනවිට ඔවුන් ජයග්‍රහණයට තවත් ලකුණු 100ක් පසු පසින් සිටියි.
විදුලි ආලෝකය ලබාදෙයි
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට ඉහළ අහස මේ වනවිට අඳුරුවෙමින් තිබෙන අතර, ඒ හේතුවෙන් විදුලි ආලෝකය ලබාදීමට කටයුතු යොදා ඇත.
මේ වනවිට පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටින එංගලන්ත කණ්ඩායම පන්දුවාර 32ක් අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 164ක් රැස්කරගෙන සිටියි. සටන්කාමී ඉනිමක් ගොඩනගමින් සිටින ජෝ රූට් ලකුණු 53ක් රැස්කරගෙන සිටින අතර, ඔහුට අනගි සහයක් ලබාදෙන ක්‍රිස් වෝක්ස් ලකුණු 30 රැස්කරගෙන සිටියි. ඔවුන් දෙදෙනා හත්වැනි කඩුල්ලට ලකුණු 36 සබඳතාවක් මේ වනවිට ගොඩනගා ඇත.
එංගලන්තය ලකුණු 191 පසු පසින්
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 293ක ඉලක්කයකට පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටින එංගලන්ත කණ්ඩායම පන්දුවාර 21ක් අවසන් වන විට කඩුලු 05ක් දැවී ලකුණු 102ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව කඩුලු පහක් අතැතිව ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 191ක් පසු පසින් ඔවුන් සිටියි. නොදැවී පන්දුවට පහරදෙමින් සිටින ජෝ රූට් ලකුණු 29ක් හා ජෝෂ් බට්ලර් ලකුණු 14ක් රැස්කරගෙන සිටියි.
එංගලන්තයට ලකුණු 293ක ඉලක්කයක්
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන හයවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 292ක් රැස්කිරීමට සමත්විය. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ලකුණු 293ක ඉලක්කයක් හිමිවිය.
තරග හතකින් සමන්විත මෙම තරගාවලියේ මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3-2ක් ලෙස ඉදිරියෙන් සිටින අතර, ඒ හේතුවෙන් ඔවුන්ට තවදුරටත් තරගාවලියේ රැදී සිටීමට නම් මෙම තරගය ජයගැනීම අනිවාර්යය වේ.
සංගාගෙන් ක්‍රීඩා ලෝලීන්ට ආචාරය
එංගලත්ත කණ්ඩායමට එරෙහිව තම 20 වැනි එක්දින ශතකය වාර්තා කළ කුමාර් සංගක්කාර ලකුණු 112 රැස්කරගෙන සිටියදී ක්‍රිස් ජෝඩන්ගේ පන්දුවක් හමුවේ මොයින් අතට උඩපන්දුවක් ලබාදී මීට සුළුවේලාවකට පෙර පිටියෙන් ඉවත්ව ගියේය.
නිෂ්චිතවම තහවුරුකර නොහැතිව වුවත් සංගක්කාර ලෝක කුසලාන තරගාවලියෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නා බව මේ වනවිට ප්‍රකාෂකර ඇති අතර, ඒ හේතුවෙන් ඔහු පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩාකළ අවසන් එක්දින තරගය මෙය වන ඇත. ඒ හේතුවෙන් ඔහු සිය දැවීයාමෙන් පසු ක්‍රීඩාගාරයට යන අතරවාරයේ සංගක්කාර තම උපන් ප්‍රදේශයේ ක්‍රීඩා ලෝලීන්ට සිය ආචාරය පළකරන අයුරු දැකගත විය. විශේෂයෙන් මෙම තරගය නැරඹීම සඳහා පල්ලෙකැලේ ක්‍රීඩාංගණය වටා එක්රැස් වී සිටින ක්‍රීඩා ලෝලීන්ද සංගක්කාර වෙත උණුදුම් ප්‍රතිචාර ලබාදෙනු දැකගත හැකිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 46ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 254ක් රැස්කරගෙන සිටියි. පන්දුවට පහරදෙමින් සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 17ක් හා තිසර පෙරේරා ලකුණු 08ක් රැස්කරගෙන සිටියි.
ඩිල්ෂාන් දැවී යයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස තිලකරත්න ඩිල්ශාන් දැවී ගියේය. ජේම්ස් ට්රැඩ්වෙල්ගේ පන්දුවක් හමුවේ රවී බොපාරා අතට උඩපන්දුවක් ලබාදී ඩිල්ශාන් දැවී යනවිට ලකුණු 68ක් රැස්කරගෙන සිටියේය. සංගක්කාර සමගින් ඩිල්ෂාන් ලකුණු 153ක සබඳතාතක් ගොඩනගා සිටියේය.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 35ක් අවසන් වී ලකුණු 162/2 ක් රැස්කරගෙන සිටියි. පන්දුවට පහර දෙමින් සිටින කුමාර් සංගක්කාර ලකුණු 77ක් රැස්කරගෙන සිටියි. සීක්කුගේ ප්‍රසන්න පන්දුවට පහරදීම පැමිණියේය.
සංගක්කාර - ඩිල්ෂාන් අර්ධ ශතක වාර්තා කරයි
කුමාර් සංගක්කාර හා තිලකරත්න ඩිල්ෂාන් අර්ධ ශතක වාර්තා කිරීමට දැන් සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 28 අවසන් වී මේ වනවිට ලකුණු 119/1 ක් රැස්කරගෙන සිටියි. දෙවැනි කඩුල්ලට ලකුණු 111 සබඳතාවක් ගොඩනගා ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කරමින් සිටින ඩිල්ෂාන් ලකුණු 53ක් කුමාර් සංගක්කාර ලකුණු 51 රැස්කරගෙන සිටියි. සංගක්කාර තම 92 එක්දින අර්ධ ශතකයද, ඩිල්ෂාන් 43 වැනි එක්දින අර්ධ ශතකයද අද වාර්තා කළේය.
සංගක්කාර ලකුණු 41කදී රවී බොපාරාගේ පන්දුවක් හමුවේ නායක ඇලෙස්ටියාර් කුක්ට පහසු උඩපන්දුවක් ලබාදුන්නට එය රැකගැනීමට නොහැකි විය.
ඩිල්ෂාන් - සංගා ඉනිම ගොඩනගයි
එංගලන්ත පන්දු යවන්නන්ගේ පීඩනය හමුවේ මන්දගාමී වූ ශ්‍රී ලංකා ඉනිම තිලකරත්න ඩිල්ශාන් හා කුමාර් සංගක්කාර විසින් මේ වනවිට ගොඩනගමින් සිටියි.
ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර 15 ක් මේ වනවිට අවසන් වී ඇති අතර, ලකුණු 51/1 රැක්කරගෙන සිටියි. පන්දුවට පහරදෙමින් සිටින කුමාර් සංගක්කාර හා තිලකරත්ත ඩිල්ෂාන් ලකුණු 22 බැගින් රැස්කරගෙන සිටියි.
මහේලගේ ඉනිම අවසන් වෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස මහේල ජයවර්ධන මීට සුළු වේලාවකට පෙර දැවී ගියේය. ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ ජේම්ස් ටේලර් අතට උඩපන්දුවක් ලබාදී මහේල දැවී යනවිට ලකුණු 05ක් රැස්කරගෙන සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 3.5ක ලකුණු 8/1 රැස්කරගෙන සිටින අතර, නොදැවී කඩුල්ලේ රැදී සිටින තිලකරත්න ඩිල්ශාන් ලකුණු 02ක් රැස්කරගෙන සිටියි. කුමාර් සංගක්කාර පන්දුවට පහරදීමට පැමිණ සිටියි.
මහේල - ඩිල්ෂාන් ඉනිම අරඹයි
පසුගිය තරගය කිහිපයේදී අසාර්ථක වූ කුසල් ජනිත් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්කර ඇති අතර, ඒ වෙනුවට මහේල ජයවර්ධන තිලකරත්න ඩිල්ශාන් සමගින් ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරයි.
චන්දි, සීක්කු හා ලක්මාල් ඇතුලට
ශ්‍රී ලංකා කණ්ඩායමට දිනේෂ් චන්දිමාල්, සීක්කුගේ ප්‍රසන්න හා සුරංග ලක්මාල් කැඳවා ඇති අතර, ඒ වෙනුවට අජන්ත මෙන්ඩිස්, කුසල් ජනිත් හා ධම්මික ප්‍රසාද් ඉවත්කර ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම
තිලකරත්න ඩිල්ශාන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, සචිත්ර සේනානායක, සීක්කුගේ ප්‍රසන්න, සුරංග ලක්මාල්
එංගලන්ත කණ්ඩායම
ඇලෙස්ටියාර් කුක්, මොයින් අලි, ජේම්ස් ටේලර්, ජෝ රූට්, රවී බොපාරා, ඉයන් මෝගන්, ජෝෂ් බට්ලර්, ක්‍රිස් වෝක්ස්, ක්‍රිස් ජෝඩන්, ජේම්ස් ට්‍රැඩ්වෙල්, ස්ටීවන් ෆින්
ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (13දා) ආරම්භවූ හයවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඊයේ සන්ද්‍යාවේ පල්ලෙකැලේ අවට ප්‍රදේශයට වර්ෂ සහිත කාලගුණයක් පැවැතියද මේ වනවිට එම සියල්ල පාලනය වී පෙ.ව.10.00 තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානමින් පවතියි.