රහානේ දැවීයයි
(Update) ලකුණු 243ක ඉලක්කයක් හඹාගිමින් සිටින ඉන්දීය කණ්ඩායම මේවන විට පන්දුවාර 12ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 62ක් රැස්කරගෙන සිටියි. නොදැවී කඩුල්ලේ රැදී සිටින ශිකර් දවාන් ලකුණු 26ක් (25) රැස්කරගෙන සිටියි. ඒ අනුව ඉන්දිය කණ්ඩායම කඩුලු 09ක් අතැතිව ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 181ක් පසුපසින් සිටියි.
ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස අජින්ක්‍යා රහානේ ලකුණු 31ක් (47) රැස්කරගෙන සිටියදි තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ මහේල ජයවර්ධනට උඩපන්දුවක් ලබාදී දැවීගියේය.
ඉන්දියාවට ලකුණු 243ක ඉලක්කයක්
ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.2 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 242ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම නගාසිටුවූ මහේල ජයවර්ධන තම 17 වැනි එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 118ක් රැස්කිරීමට සමත්විය. එය ඔහු ඉනිම් 28කට පසු වාර්තාකළ පළමු ශතකය විය. එම ශතකයත් සමඟ තම එක්දින ක්‍රිකට් දිවියේ ලකුණු 12000 කඩයිම පසුකිරීමට මහේලට හැකිවූ අතර, එම කඩයිමට ළගාවූ ලොව පස්වැනි මෙන්ම තෙවැනි ශ්‍රී ලංකා පිතිකරුවාද මහේල වෙයි.
මහේල 75 වැනි එක්දින අර්ධ ශතකය වාර්තාකරයි
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 30 අවසනවන විට කඩුලු තුනක් දැවී ලකුණු 138 රැස්කරගෙන සිටියි. ඉනිම ගොඩනැගීම සඳහා වැඩිදායකත්වයක් ලබාදෙන මහේල ජයවර්ධන මේවන විට ලකුණු 67ක් (80) රැස්කරගෙන සිටින අතර, ඔහු අද වාර්තාකරනු ලැබුවේ තම 75 වැනි එක්දින අර්ධ ශතකයි. ශ්‍රී ලංකා ඉනිමේ බිඳවැටුණු තුන්වැනි කඩුල්ල ලෙස මුලු ලකුණු 112දී තිලකරත්න ඩිල්ශාන් 24 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී ලකුණු 53කට දැවීගියේය. මෙය ඩිල්ශාන්ගේ 39 වැනි එක්දින අර්ධ ශතකයි.
මහේල - ඩිල්ශාන් ඉනිම ගොඩනගයි
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසන්වන විට කඩුලු දෙකක් දැවී ලකුණු 84ක් රැස්කරගෙන සිටියි. ශ්‍රී ලංකා ඉනිම ගොඩනගමින් සිටින ඩිල්ශාන් මේනව විට ලකුණු 43ක් (67) රැස්කරගෙන සිටින අතර, මහේල ලකුණු 34ක් (46) රැස්කරගෙන සිටියි. ඔවුන් දෙදෙනා මේවන විට තුන්වැනි කඩුල්ලට ලකුණු 77ක සබඳතාවක් ගොඩනගා ඇත.
පන්දුවාර 10ක් අවසන්වන විට ශ්‍රී ලංකාව 40-2
පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රි ලංකා කණ්ඩායම මේවන විට පන්දුවාර 10ක් අවසන්වී කඩුලු දෙකක් දැවී ලකුණු 40ක් රැස්කරගෙන සිටියි. නොදැවී කඩුල්ලේ රැදීසිටින තිලකරත්න ඩිල්ශාන් ලකුණු 20ක් (31) හා මහේල ජයවර්ධන ලකුණු 14ක් (22) රැස්කරගෙන සිටියි.
ඩිල්ශාන් සමගින් කුසල් ජනිත් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර,පසුගිය තරගයේදී මෙන් මෙම තරගයේදීද ආරම්භයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම ආරම්භවිය. පළමු පන්දුවාරයේ අවසන් පන්දුවේදී උමේෂ් යාදව්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක රිද්හිනම් සහා අතට උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්වීමට කුසල් ජනිත්ට සිදුවූ අතර, යාදව්ගේ දෙවැනි පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම කුමාර් සංගක්කාරටද ලකුණු නොලබා පිටියෙන් ඉවත්වීමට සිදුවිය.
ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර හයිද්‍රබාද්හිදී අද (09) ආරම්භවූ තීරණාත්මක තුන්වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව ඇත. ඒ පළමු තරග දෙකට ක්‍රීඩාකළ ධම්මික ප්‍රසාද් හා සුරාජ් රන්දීව් වෙනුවට නුවන් කුලසේකර හා චතුරංග ද සිල්වා කැඳවා ඇත. ඊට අමතරව ඉන්දීය කණ්ඩායමේද එක් වෙනස්කමක් සිදුව ඇති අතර, ඒ රවින්ද්‍ර ජඩේජා වෙනුවට ධවාල් කුල්කානි කැඳවා ඇත.
දෙරට අතර පැවැති පළමු තරග දෙක ඉන්දීය කණ්ඩායම ජයගත් හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායමට තවදුරටත් තරගාවලියේ රැදීසිටිමටනම් අද තරගය අනිවාර්යයෙන් ජයගත යුතුය.
ඉන්දීය කණ්ඩායම
ශිකර් දවාන්, අජින්ක්‍යා රහානේ, විරාට් කෝලි (නායක), අම්බාති රයිදු, රිද්හිනම් සහා, රවිචන්ද්‍රන් අශ්වින්, උමේෂ් යාදව්, ධවාල් කුල්කානි, ඉශාන්ට් ශර්මා, ආක්ෂාර් පටෙල්
ශ්‍රී ලංකා කණ්ඩායම
කුසල් ජනති පෙරේරා, තිලකරත්න ඩිල්ශාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස් (නායක), අශාන් ප්‍රියන්ජන්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සීක්කුගේ ප්‍රසන්න, ළහිරු ගමගේ, චතුරංග ද සිල්වා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

