සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර චෙස්ටර්-ලී-ස්ට්‍රීට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනට අද (29දා) තරගය නතර කරන විට ඉනිමක පරාජයෙන් බේරීම සඳහා දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05 ක් දැවී ලකුණු 309 ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුන් එංගලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 88 ක් පසුපසින් සිටියි.
නොදැවී කඩුල්ලේ රැඳී සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 54 ක් හා මිලින්න සිරිවර්ධන ලකුණු 35 ක් රැස්කරගෙන සිටි අතර, ඔවුන් දෙදෙනා 06 වැනි කඩුල්ලට ලකුණු 87 ක සබඳතාවක් ගොඩනගා සිටිති. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී සාර්ථක වූ නායක ඇන්ජලෝ මැතිව්ස් (80) හා කෞෂාල් සිල්වා (60) අර්ධ ශතක රැස්කරමින් දක්ෂතා දැක්වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (28දා) දිනය අවසන් කරන විට ලකුණු 91කට කඩුලු 08 ක් දැවී ඉතා අසරණ තත්ත්වයක පසුවූ අතර, අද දිනයේදී ලකුණු දහයක් ඇතුළත ඉතිරි කඩුලු දෙක දවාගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 101කට සීමාවූ අතර, ලකුණු 397 ක් පසුපසින් සිටිමින් නැවත දෙවැනි ඉනිම ආරම්භ කිරීමට සිදුවිය.
මෙය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එක් ටෙස්ට් තරගාවලියක තරග දෙකකදී ඉනිමක පරාජයෙන් බේරීම සඳහා (follow-on) පන්දුවට පහරදීමට සිදුවූ දෙවැනි අවස්ථාව වන අතර, අවසන් වරට 1993/94 තරග වාරයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව අභිමුව මෙලෙසින්ම දැවීගොස් ඇත.
රිවර් සයිඩ් ක්‍රීඩාංගණයේදී පසුගිය සිකුරාදා (27දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම තම පළමු ඉනිමට කඩුලු 08 ක් පමණක් දැවී ලකුණු 498 ක් රැස්කිරීමට සමත්විය.
එංගලන්ත ඉනිම විශිෂ්ට ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය අංක 07 පිතිකරු මොයින් අලි පන්දු 207කදී නොදැවී ලකුණු 155 ක් රැස්කිරීමට සමත් විය. මෙය අලි රැස්කළ දෙවැනි ටෙස්ට් ශතකය වන අතර, එම ශතක දෙකම ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කිරීම සුවිශේෂී වේ. එමෙන්ම මෙම එංගලන්තය වෙනුවෙන් අංක 07 පිතිකරුවෙකු ක්‍රීඩාකළ සිවුවැනි ඉහළම ඉනිම මෙය වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් නුවන් ප්‍රදීප් ලකුණු 107කට කඩුලු 04 ක් දවාළීය.
මෙම තරගයේදී රංගන හේරත් සිය 300 වැනි ටෙස්ට් කඩුල්ල දවාගැනීමට සමත්වූ අතර, එම කඩඉම පසුකළ තෙවැනි ශ්‍රී ලංකා පන්දු යවන්නා ඔහු වේ. එමෙන්ම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුලු 300 සීමාව අබිබවා ගිය 30 වැනි පන්දු යවන්නා මෙන්ම ලොව දෙවැනි වමත් දඟ පන්දු යවන්නා ඔහු වේ.
එංගලන්තය පළමු ඉනිම 498/9 (පන්දුවාර 132)
මොයින් අලි නොදැවී 155 (207, 4x17, 6x2), ඇලෙක්ස් හේල්ස් 83 (145, 4x9, 6x1), ජෝ රූට් 80 (119, 4x5), ජේම්ස් වින්ස් 35 (59, 4x4), ජොනී බෙයාස්ටෝව් 48 (57, 4x5), ක්‍රිස් වෝක්ස් 39 (76, 4x6), සුරංග ලක්මාල් 2/115 (29), නුවන් ප්‍රදීප් 4/107 (33), රංගන හේරත් 1/116 (29), මිලින්ද සිරිවර්ධන 2/35 (8)
ශ්‍රී ලංකාව පළමු ඉනිම 101/10 (පන්දුවාර 43.3)
කුසල් මෙන්ඩිස් 35 (62, 4x3), ළහිරු තිරිමාන්න 19 (80, 4x1), කෞෂාල් සිල්වා 13 (22, 4x2), රංගන හේරත් 12 (46, 4x2), ස්ටුවර්ට් බ්‍රෝඩ් 4/40 (13), ජේම්ස් ඇන්ඩර්සන් 3/36 (12.3), ක්‍රිස් වෝක්ස් 3/9 (7)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 309/5 (පන්දුවාර 84)
දිනේෂ් චන්දිමාල් 54* (98, 4x5), මිලින්ද සිරිවර්ධන 35* (57, 4x6), ඇන්ජලෝ මැතිව්ස් 80 (105, 4x9, 6x1), කෞෂාල් සිල්වා 60 (145, 4x6), දිමුත් කරුණාරත්න 26 (55, 4x2), කුසල් මෙන්ඩිස් 22 (12, 4x4), ජේම්ස් ඇන්ඩර්සන් 2/40 (16)