ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලිය - 2017 පළමු අදියර
'ශ්‍රී ලංකා සුපර් සෙවන්ස්' සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දිනාගැනීමට රොෂාන් වීරරත්නගේ නායකත්වයෙන් යුත් වත්මන් (2016) ශූර මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම සමත් විය. ඒ තරගාවලියේ කුසලාන අවසන් මහා තරගයේදී ජේසන් දිසානායකගේ නායකත්වයෙන් යුත් සොෆ්ට්ලොජික් වොරියර්ස් පරදා ලකුණු 19-05ක ජයක් හිමිකර ගනිමිනි.
මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පසුගියදා (09දා) පැවැති තරගය මීට පෙර (2016) වර්ෂයේ පළමු අදියරේ කුසලාන අවසන් තරගය සිහිගන්වන්නක් වූ අතර, තරගයේ පළමු අර්ධය අවසන් වනවිටදී මොබිටෙල් ඊගල්ස් ඉදිරියෙන් සිටියේ ලකුණු 07-05ක් ලෙසිනි.
තරගාවලියේ පලඟ ශූරතාව ඇක්සස් කිංග්ස් කණ්ඩායම හිමිකර ගත්තේ, අවසන් තරගයේදී වෝකර්ස් සී.එම්.එල්. වයිපර්ස් පරදා ලකුණු 31-07ක ජයක් හිමිකර ගනිමිනි. මෙහි බඳුන ශූරතාව ඊ.ඉසෙඩ්.වයි.
වොල්ව්ස් විසින් හිමිකර ගනිද්දී (අවසන් තරගයේදී කේ.බී.එස්.එල්. ඩ්‍රැගන්ස් 19-14 ක් ලෙස පරදා), පලිහ ශූරතාව එටිසලාට් පැන්තර්ස් (කාගිල්ස් ග්ලැඩියේටර්ස් ලකුණු 17-00ක් ලෙස පරදමින්) කණ්ඩායමට හිමිවිය.
මේ අතර තරගාවලියේ පාසල් ශූරතාව හිමිකර ගැනීමට ගල්කිස්ස විද්‍යා විදුහල සමත් විය. විද්‍යා විදුහල අතින් කුසලාන අවසන් මහා තරගයේදී ලකුණු 19-05ක් ලෙසින් පරාජයට පත් වූයේ මහනුවර ත්‍රිත්ව විදුහලයි.
මෙහි පලඟ ශූරතාව වෙනුවෙන් බම්බලපිටිය ශා. පීතර හා මහනුවර කිංග්ස්වුඩ් කණ්ඩායම් තරග වැදුණු අතර, එහිදී කණ්ඩායම් දෙකම ලකුණු 19 බැගින් ලබාගෙන සම තත්ත්වයට පත්වීම හේතුවෙන් පලඟ සමශූරයන් ලෙස කණ්ඩායම් දෙකම කිරුළු දිනා ගත්තේය. මෙහි බඳුන ශූරතාව, මරදාන ශා. ජෝශප් ලකුණු 20-14ක් ලෙස පැරදූ කටුගස්තොට ශා. අන්තෝනි දිනා ගත්තේය.
පසුගිය වර සමස්ත ශූරයන් වූ කොළඹ ඉසිපතන විදුහල මෙවර මහනුවර ධර්මරාජ විදුහලට ලකුණු 15-12ක් ලෙස පරාජය වීම නිසා පලිහ අනුශූරතාව පමණක් දිනාගත්හ.
මීට අමතරව තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාව යුද හමුදා කණ්ඩායම විසින් දිනාගනු ලැබුවේ, නාවික හමුදා කණ්ඩායම ලකුණු 24-00ක් ලෙස පරාජය කරමිනි. කණ්ඩායම් 04ක් පමණක් සහභාගි වූ මෙම අංශයේ පිළිවෙළින් තෙවැනි හා සිවුවැනි ස්ථාන හිමිකර ගත්තේ ගුවන් හමුදාව හා සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම්ය.
දෙදිනක් (08,09) පුරා මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැති තරගාවලිය ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැති අතර, මෙහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඩයලොග් ආසියාටා පෞද්ගලික සමාගම ක්‍රියා කරයි.
ඡායාරූපය - ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ ෆේස්බුක් වෙබ් අඩවිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

