ශ්‍රී ලංකා - ද අප්‍රිකා තරගය අද
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) විසින් සංවිධානය කරනු ලබන අයි.සී.සී ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගය අද (03දා) එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මේ අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින ආබාධය සමගින් තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් බොහෝදුරට පළමු තරගය ක්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතින අතර, ඒ හේතුවෙන් කණ්ඩායමේ නායකයාගේ වගකීම උපුල් තරංගට පැවරෙනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පුහුණු තරග දෙකෙහිදීම පිතිකරුවන් ලකුණු අතරට පිවිසිණි. එය ශ්‍රී ලංකා කණ්ඩායමට හිතකර තත්ත්වයකි. මේ හේතුව නිසා කාසියේ වාසිය හිමිකරගතහොත් ප්‍රථමයෙන් පන්දුවට පහරදීම නුවණට හුරුය. මේ වනවිට ලකුණු අතර සිටින උපුල් තරංග, දකුණු අප්‍රිකාවට එරෙහිව අවසන් වරට මුහුණදුන් තරගයේදීද විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් රැස් කළේය. ඔහු හෙට තරගයේදීද සාර්ථක වුවහොත්, එය විශාල ලකුණු සංඛ්‍යාවක් රැස්කිරීමට හෝ විශාල ලකුණු සංඛ්‍යාවක් පසුපස හඹා යෑමට මහත් රුකුලක් වේ. ඔහුගේ ආරම්භක පිතිකරු සහායකයා ලෙස නිරෝෂන් දික්වැල්ල කටයුතු කරනු ඇතැයි විශ්වාස කළ හැකිය.
ආරම්භක පිතිකරුවන් දෙදෙනාට අමතරව පිළිවෙළින් කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න සහ චාමර කපුගෙදර හෝ කුසල් ජනිත් පෙරේරා යන පිතිකරුවන් සමගින් හෙට තරගයේදීශ්රී ලංකා කණ්ඩායම තරග වැදීමට අවස්ථාවක් පවතී. මේ වනවිට එංගලන්තයේ පවතින කාලගුණ තත්ත්වය සහ තණතිලිවල ස්වභාවය මත කපුගෙදර මෙන්ම කුසල් ජනිත් සමගින් පිතිකරුවන් හත් දෙනෙකු ක්‍රීඩා කිරීමටද අවස්ථාවක් පවතී.
කෙසේ වෙතත් තුන් ඉදිරියව් ක්‍රීඩකයන් දෙදෙනෙකු ක්‍රීඩා කරන්නේද, නැතිනම් එක් තුන් ඉදිරියව් ක්‍රීඩකයෙකු සමගින් එක් නිත්‍ය දඟ පන්දු යවන්නෙකු යොදා ගන්නේද යන්න ශ්‍රී ලංකා කණ්ඩායමට විසඳා ගත යුතුව ඇති ගැටලුවකි. තවද වේග පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කරන්නෙ කවුරුන්ද යන්නත් තවමත් නිශ්චිතතාවක් නොමැත. ලසිත් මාලිංග සම්පූර්ණයෙන්ම සුවය ලබා සිටින්නේ නම් ඔහු නියත වශයෙන්ම හෙට තරගයට ක්‍රීඩා කරනු ඇත. එහෙත් ඔහුගේ සහායකයා කවුරුන්ද යන්න නිශ්චිත නොමැත. ඒ සඳහා සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් අතරින් කෙනෙකුට අවස්ථාවක් හිමිවීමට ඉඩ තිබේ.
හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන ද.අප්‍රිකානු කණ්ඩායම මෙම තරගාවලියට එක්ව සිටින්නේ ශූරතාව හිමිකරගනු ඇතැයි විශ්වාස කළ හැකි කණ්ඩායමක් ලෙසිනි. ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන තරගාවලි අතරින් ද. අප්‍රිකානු කණ්ඩායම ජයගත් එකම තරගාවලිය වන්නේද මෙම අයි.සී.සී ශූරයන්ගේ කුසලානයයි.
ඒ 1998 පැවැති පළමු තරගාවලියේදීය. එතැන් සිට මේ දක්වා අයි.සී.සීය සංවිධානය කරනු ලැබූ කිසිම තරගාවලියක ජයග්‍රහණය හිමිකර ගැනීමට ඔවුන් අපොහොසත් විය. ඒ මෙවැනි තරගාවලිහිදී අවසන් භාගයේදී ද.අප්‍රිකානුවන් අසාර්ථක වන බැවිනි. එහෙත් මෙවර තරගාවලියේ දී එසේ වේ යැයි කිව නොහැකිය. එහෙයින් ද.අප්‍රිකානුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීම වඩා යෝග්‍යය.
නායක ඒ.බී. ඩිවිලියර්ස්, හෂීම් අම්ලා, ක්වින්ටන් ඩි කොක්, ෆෆ් ඩු ප්ලසිස්, ජේ.පී ඩුමිනි, ඩේවිඩ් මිලර් ප්රමුඛ පිතිකරු ලැයිස්තුව විශාල ලකුණු සංඛ්‍යාවක් රැස්කළ හැකි සහ ඕනෑම ලකුණු සංඛ්‍යාවක් පසුපස හඹා යා හැකි පිතිකරු සංයුතියකි. කෙසේ වෙතත් ඔවුන්ගේ පිතිකරණ සංයුතියට සාපේක්ෂව පන්දු යැවීමේ සංයුතියේ යම් අත්දැකීම් අඩු බවක් දක්නට ලැබේ.
එහෙත් මෝර්නේ මෝකල් ආබාධයෙන් පසුව නැවත කණ්ඩායම සමගින් එක්ව සිටින බැවින් එය ඔවුන්ට ශක්තියකි. තවද ඉම්රාන් තහීර් නියත වශයෙන්මශ්රී ලංකා කණ්ඩායමට පීඩනයක් එල්ල කරනු ඇත. ඔහුට කඩුලු ලබා නොදීම ශ්‍රී ලංකාවට හිතකරය. එමෙන්ම කාගිසෝ රබාඩාද ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයකි.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (03දා) පස්වරු 3.00 ආරම්භවීමට නියමිතය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

