ක්‍රිකට් ආයතනයේ වැඩ නැති ලොක්කියන් වැඩිවෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයට වසර 02ක කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් (ඉහළ තනතුරුවලට) නිලධාරිනියන් කිහිපදෙනෙකු මෙතෙක් ක්‍රිකට් ආයතනයේ අපේක්ෂිත අරමුණු හා ඉලක්ක ළඟාකර ගැනීමට අපොහොසත්ව තිබේ. මෙම නිලධාරිනියන්ට ඉහළ වැටුප් ගෙවූවද, ඔවුන් සිදුකරන කාර්ය භාරයක් නොමැතිවීම හේතුවෙන් ක්‍රිකට් ආයතනයේ සේවකයන්ම ඔවුනට 'අයිස් පප්පලා' යනුවෙන් ආමන්ත්‍රණය කරන බව වාර්තාවේ.
මෙම නිලධාරිනියන් ක්‍රිකට් ආයතනයේ ලොකු පුටුවලට පැමිණ ඇත්තේ නිසි අධ්‍යාපන සුදුසුකම් සපුරාලීමකින් තොරව හා සම්මුඛ සාකච්ඡා (Interview) පැවැත්වීමකින් තොරව බවද අනාවරණය වේ.
මේ වනවිට මෙම නිලධාරිනියන් සේවයට වාර්තා කර පුටු රත්කරනවා හැරෙන්නට කරන කිසිදු කාර්යයක් හෝ සේවයක් නොමැති බව ක්‍රිකට් ආයතනයේ නිලධාරීහුම දෝෂාරෝපණ එල්ල කර තිබෙන අතර, සමහර අය 'පුටුව' ආරක්ෂා කරගැනීමට සමහරුන්ගේ ගුණ වර්ණනා කරන බවද හෙළිවේ.
මේ අතර කාර්යභාරයක් නොමැති මෙම නිලධාරිනියන් සිය මාසික වැටුප ලබාගැනීමට වැටුප් දිනයේ හිමිදිරි පාන්දර ක්‍රිකට් ආයතනයට පැමිණ කුමක් හෝ රාජකාරි කටයුත්තක් (අදාළ නොමැති කාර්යයන් පවා) සිදුකිරීමට පෙළඹී සිටියි.
එමෙන්ම ඔවුන් ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මාධ්‍ය හමු, ප්‍රියසාද හා උත්සවවලදී කැපීපෙනෙන චරිත බවට පත්වී ඇති අතර, කිසිදු වැඩක් නොකර 'අණ දෙන්නාගේ' භූමිකාව සිදුකරන බව ක්‍රිකට් ආයතනයේම සේවකයෝ පවසති. එම සේවකයන් පෙන්වා දෙන්නේ රටේ ක්‍රිකට් සංවර්ධනය කෙසේ වෙතත් මෙම 'අයිස් නෝනලාගේ' මුදල් නම් යහමින් සංවර්ධනය වන බවයි. මේ සඳහා ක්‍රිකට් ආයතනයේ සමහර නිලධාරීන්ගේද 'අනුහස්' ඔවුන් භාවිතා කරන බවද වාර්තා වේ.
ක්‍රිකට් ආයතනයේ සේවය කරන රු. ලක්ෂ 02කට වැඩි වැටුපක් ලබාගන්නා එක් නිලධාරිනියක් මේ දිනවල තමන්ට අයත් නොමැති රාජකාරී කටයුතුවල පවා නිතර වීමට උත්සාහ කර ඇත්තේ, ඇයගේ කොන්ත්‍රාත්තුව මෙම වසරේ දෙසැම්බර් මස අවසාන වන බව දැනගත් හෙයින් බවද වාර්තාවේ.
කෙසේ වෙතත් මෙම නිලධාරිනිය ක්‍රිකට් ආයතනයේ ඉහළම පුටුවක් දරන නිලධාරියෙකුගේ සහයෙන් අනෙක් සේවකයන්ට විවිධ තාඩන, පීඩන හා මානසික වධහිංසා කරන බවද මේ වනවිට නොරහසකි. මේ අතර ක්‍රිකට් ආයතනයේම සේවකයන් පිරිසක් මෙම නිලධාරිනියන් ක්‍රිකට් ආයතනයෙන් ඉවත් කිරීමට මෙහෙයුමක් අරඹා තිබෙන අතර, ඊට විධායක කමිටුවේ සමහර නිලධාරීන්ගේද සහය හිමිව තිබේ.
ක්‍රිකට් විධායක කමිටු නිලධාරියෙක් 'අද' පුවත්පතට පවසා සිටියේ මෙම කාර්ය භාරයක් නොමැති නිලධාරිනියන් ක්‍රිකට් ආයතනයට 'බරක්' බවත්, ඔවුන් තවදුරටත් ක්‍රිකට් ආයතනයේ සේවය කළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් ලෑල්ල පමණක් ඉතුරු කර අනෙක් සියල්ල කාබාසිනියා කරනු ඇති බවයි.
එනිසා බහුතර සේවකයන් හා නිලධාරීන් මෙම නිලධාරිනියන් ඉවත්කිරීමට දිගින් දිගටම උත්සහ කළත්, එය ව්‍යර්ථව ඇත්තේ ඔවුන්ට ඉහළ පුටුවල රැකවරණය නිරතුරුවම ලැබෙන හෙයිනි. මෙම කාර්යභාරයක් නොමැති නිලධාරිනියන් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතු අතර, ඔවුන්ගේ කාර්ය සාධන ඇගයීමක් කර ඔවුන්ව සේවයේ රඳවා ගැනීම හෝ ඉන් ඉවත් කිරීම සිදුකළ යුතු බව එහි සේවකයෝ හා නිලධාරීහු පවසති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

